වැල­න්ට­යින් වෙනු­වෙන් තිළිණ වන ආද­රයේ පැහැ­යන් පන­හක් | Page 2 | සිළුමිණ

වැල­න්ට­යින් වෙනු­වෙන් තිළිණ වන ආද­රයේ පැහැ­යන් පන­හක්

ආදරයේ පැහැය කුමක් ද? 2015, 2017 සහ 2018 වසර තුනේ දී හොලිවුඩය ආදරය පැහැයන් පනහකින් වර්ණවත් කරමින් ඇත. මුලින් ම වැලන්ටයින් දිනය වෙනුවෙන් තිළිණ කෙරුණේ ‘ෆිෆ්ට් ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ 2015 පෙබරවාරි 11 වැනි දිනය. 2017 පෙබරවාරි 10 වැනි දින ෆිෆ්ට් ෂේඩ්ස් ඩාකර් තිළිණ විය. මෙවර ඔවුන් ආදර වන්තයන් මුසපත් කරන්නේ පෙබරවාරි 9 වැනි දින තිරගත වන ෆිෆ්ට් ෂේඩ්ස් ෆ්‍රීඩ්’ සිනමා පටයෙනි. මේ ෆිෆ්ට් ෂේඩ්ස් සිනමා පට මාලාවේ තෙවැන්න හෙවත් අවසන් සිනමා පටයයි.

ඊ.එල්. ජේම්ස් ගේ ‘ෆිෆ්ට් ෂේඩ්ස් ෆ්‍රීඩ්’ නවකතාව පාදක කරගනිමින් ඒ න මින් ම මෙවර සිනමා පටය ජේම්ස් ෆෝලේ විසින් අධ්‍යක්ෂණය කරන ලදී.

ඇනා හා ක්‍රිස්ටියන් මධු සමයේ සතුට භුක්ති විඳිමින් ආදර කතාවට සුන්දර ආරම්භයක් ලබාදෙයි. ක්‍රිස්ටියන් ඇනාට ව්‍යාපාර කටයුත්තක් භාර දෙන්නේ එම සොඳුරු මතකයන් සමඟ පසුවෙද්දීය. එක් රැයක ක්‍රිස්ටියන් විනෝද ගමනක් යන අතර හොඳම මිතුරිය කේට් සමඟ ඇනාද පිටතට යාමට තීරණය කරයි. එහි ඇනාගේ පැරැණි ප්‍රධානියා ජැක් හයිඩ් ද සිටියි. ජැක් වරක් ඇනා මෝහනය කර අතවර කිරීමට තැත් කළ අයෙකි. දැන් ඔහු ඇයට වෛර කරයි. ඇනා පැහැර ගැනීමට ජැක් උත්සාහ ගත්තද ඇනාගේ ආරක්ෂක කණ්ඩායම ඊට ඉඩ නොදෙයි. ක්‍රිස්ටියන් මේ සිදුවීමෙන් පසු ඇනාගේ අනුවණකම ගැන ප්‍රකෝප වන අතර දැඩි ආධිපත්‍යයකින් ඇය පාලනය කිරීමට ගනී.

සොඳුරු ආදර කැදැල්ලට කණකොකා හඬන්නේ ක්‍රිස්ටියන්ට ඇනා ඔවුන් දෙදෙනාගේ කුළුඳුල් දරුවා ගැන ඔහුට පැවසූ විටය. ඇනා ගැබ් ගැනීම ගැන ඔහු කෝපයට පත්වෙයි. බීමත්ව හැසිරෙන ඔහු තම විප්‍රකාර හැසිරීමට හේතුව වැඩිමල් පෙම්වතිය එලීනා සමඟ පැවැති සම්බන්ධය බව හෙළි කරයි. ඇනා ක්‍රිස්ටියන් සෙනෙහසේ අන්දරය සුඛාන්තයක් වේවිද? ශෝඛාන්තයක් වේවිද? පිළිතුර දැන් ඉහළ ම ආදායම් ලබමින් තිරගත වන ‘ෆිෆ්ට් ෂේඩ්ස් ෆ්‍රීඩ්’ අවසානය විසින් ඔබට ලබා දෙනු ඇත.

මෙහි සුරූපී පෙම්වතිය, බිරිය ලෙස රඟන්නේ ඩැකෝටා ජොන්සන්ය. ඇය අන්තර්ජාතිකව හඳුනා ගත්තේ ‘ෆිෆ්ට් ෂේඩ්’ සිනමාපට මාලාවෙනි.

එම සිනමා පට මාලාවේ ‘ෆිෆ්ට් ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ සිනමා රංගනයට ඇය පීපල්ස් චොයිස් අවෝඩ් සම්මානය දිනා ගත්තාය. තවමත් විසි අට හැවිරිදි ඩැකෝටා පවසන්නේ මෙහි ආදර ජවනිකා සැබෑම අභියෝගයක් වූ බවය. බොහෝ ප්‍රේමාලිංගන රූගත කෙරුණේ එකම දර්ශන තලවලය. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට ඒකාකාරී බවක් නොදැනෙන්නට හා පෙම් චර්යාවන් වෙනස් කරමින් රංගනයේ යෙදීම නළු නිළි යුවළට ම සැබෑම අභියෝගයක් විණි.

ප්‍රථම සිනමා පටයේදී ඩැකෝටා ජොන්සන් සහ ජැමී ඩෝනන් (ක්‍රිස්ටියන් ග්‍රේ) නන්නාඳුනන පුද්ගලයන් වූ නමුදු මේ ඔවුන් පෙම්වතුන්, අඹු සැමියන් ලෙස රඟන තෙවැන්නය. ඒ නිසා දෙදෙනා දැන් එකිනෙකාට ගරු කරන සැබෑම මිතුරන්ය. ඒ නිසා ඩැකෝටාට හා ජොන්සන්ට ඉතා සමීපව ප්‍රේමාලිංගනයෙහි යෙදීම ගැටලුවක් වී නැත.

මෙහි ක්‍රිස්ටියන් ග්‍රේ චරිතය රඟන ජැමී ඩෝනන් දෙදරු පියකි. තමන් විවාහකයකු වූ නිසාත් ඩැකෝටා පෙම් සබඳතා ගණනාවක් ම පවත්වා ඇති නිසාත් ‘අතිශය පෞද්ගලික පෙම් ජවනිකා’ රඟපෑම ගැටලුවක් නොවූ බව ඔහු පවසයි.

එලීනා නම් ක්‍රිස්ටියන්ගේ වැඩිමහලු පෙම්වතියට පණ දෙන්නේ කිම් බාසින්ගර්ය. සැබෑ ජීවිතයේදී ද ජැමී තිස්පස් හැවිරිදි වන අතර කිම් හැට හතර හැවිරිදිය. ඇය 1997 දී එල්.ඒ. කොන්ෆිඩෙන්ෂල් සිනමා පටයේ රංගනයට හොඳම සහාය නිළිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වූවාය. එරික් ජොන්සන් ඇනාගේ ප්‍රේමණීය සතුරාවූ ජැක් හයිඩ් ලෙස රඟයි.

මැක්ස් මාටිනි (ක්‍රිස්ටියන්ගේ ආරක්ෂක), බ්‍රාන්ට් ඩෝගර්ටි (ඇනාගේ ආරක්ෂකයා), ඇරියලේ කෙබල් (ගෘහ නිර්මාණ ශිල්පිනිය), ෆේ මාස්ටර්සන් (ගේල් ජෝන්ස්), ලියුක් ග්‍රිම්ස් (එලියට් ග්‍රේ), එලොයිස් මම්ෆර්ඩ් (කැතරින් කැවානා), රීටා ඕරා (මියා ග්‍රේ), මාර්සියා ගේ හාඩ්න් (ග්‍රේස් ට්‍රෙවිලියන්) ආදී රංගවේදීහු සෙසු චරිත නිරූපණය කරති. සිනමා පටයේ සංගීතය ඩැනී එල්ෆ්මන්ගෙනි. ඔහු ඇකඩමි සම්මාන සඳහා සිව්වරක් ම නිර්දේශ වූ අමෙරිකානු ගායකයෙකි. තනු නිර්මාණකරුවෙකි. ගේය පද රචකයෙකි.

‘ෆිෆ්ට් ෂේඩ්ස්’ සිනමා පට මාලාවේ පළමු වැන්න ‘ෆි‍ෆ්ට් ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 40 ක් වූ අතර ලද ආදායම ඩොලර් මිලියන 571 කි. ‘ෆිෆ්ට් ෂේඩ්ස් ඩාකර්’ දෙවැන්නට ඩොලර් මිලියන 55 ක් වැයවී ඇති අතර ඩොලර් මිලියන 381.1 ක ආදායමක් ලැබී තිබේ. තෙවැන්නේ පිරිවැය ඩොලර් මිලියන 55 කි. වැඩි දෙනෙක් පවසන්නේ ‘ෆිෆ්ට් ෂේඩ්ස් ‍ෆීඩ්’ සෙසු ෆිෆ්ට් ෂේඩ්ස් සිනමා පටවලට ද වඩා ආදායම් වාර්තා පිහිටුවීමට ඉඩ ඇති බවයි. සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර පැය හයකදී එය මිලියන දාහත් වාරයක් නරඹා තිබේ. යූ ටියුබයේ වැඩිම ඉල්ලුමක් ඇති සිනමාපට අතර මේ සිනමා පටයේ නම ද ඉහළින් ම සඳහන්ය. මෙය මෑත වසරවල තිරගත කළ සිනමා පටමාලා අතරින් ජනප්‍රිය සිනමාපට මාලාවකි. මෙහි ප්‍රධාන තරු යුවළට අංක හතක ගෙවීමක් නිෂ්පාදකයන් විසින් සිදුකර තිබේ.

සිනමා පටය අමෙරිකාවේ හා කැනඩාවේ රූගත කෙරෙන්නේ ‘පීටර් රැබිට්’ සජීවිකරණ සිනමාපටය හා ‘ද 15 : 17 ටු පැරිස්’ සිනමාපටය සමඟ යුද වදිමිනි. මිනිත්තු 120 ක් පුරා තිරයේ දිග හැරෙන, සරාගී ප්‍රේමණීය සිනමා වෘත්තාන්තයට එම සිනමා පට දෙකට අභියෝගයක් විය හැකිද යන්නට පිළිතුරු දීමට තව ටික කාලයක් ගත වනු ඇත. ඒ තවම සිනමා පටය තිරගතවී සතියක්වත් ගතවී නැති නිසයි.

පළමු හා දෙවැනි සිනමා පටවලට වඩා තෙවැන්න වෙනස් මුහණු වරක් ගන්නා බව ප්‍රධාන නළු නිළියන් විසින් පවසා තිබිණි. පළමු ද්විත්වයේ සරාගී දසුන්වලට ප්‍රමුඛත්වයක් දී තිබුණ ද තෙවැන්නේදී ත්‍රාසය ද කුළු ගැන්වෙයි.

Comments