ලංකාවේ දැන්වීම් කලාව තවත් දියුණු විය යුතුයි | Page 2 | සිළුමිණ

ලංකාවේ දැන්වීම් කලාව තවත් දියුණු විය යුතුයි

'රෑට ගෝනි බිල්ලා එනව නම් එයා නිදගන්නෙ කීයට ද?', 'හොඳ බාස් දෙක වැඩේ','සනීපෙට ඩේටා' වැනි නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් ඔබ කොතෙකුත් රසවිඳ ඇතිවාට සැක නැත. තත්පර ගණනකින් අවසන් වන මේ ආකර්ෂණීය නිර්මාණයන් හි පිටුපස බොහෝ දෙනෙක් සිටිනවා. ඒ අතරින් වැඩිම බරක් ගන්නේ එහි අධ්‍යක්ෂවරයා. මේ දවස්වල කවුරුත් රසවිදින මේ ජනප්‍රිය දැන්වීම් කිහිපයේම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශානක ගලබොඩයි. ශානක තරු රැසකට එළිය දෙන තවත් තරුවක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

 

*ඔබ අද ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්. මේ ක්ෂේත්‍රයට එක් වෙන්න හිතුවේ ඇයි?

ඒ දේ සිදුවුණේ අහම්බෙන් වගේ. මගේ ගම නුවර. සාම්ප්‍රදායික පවුලකින් තමයි පැවත එන්නේ. පොඩි කාලෙ ඉඳලම මගේ ආශාව වුණේ Artist කෙනෙක් වෙන්නයි. ඒ කාලෙ මම හරියට චිත්‍ර ඇන්දා . අදටත් අඳිනවා. Paintings වලින් තිබූ තරගවලින් පවා මම ජයග්‍රහණය කළා. අම්ම තාත්තගේ බලාපොරොත්තුව වුණේ කවදාහරි මම ඉංජිනේරුවරයෙක් වෙනවා දකින්නයි. ඒ වෙනුවෙන් ගණිත අංශයෙන් තමයි මට ඉගෙනුම ලබන්නට සිදු වුණේ.

ඒ වුණත් මගේ හිතේ ලොකු වුවමනාවක් තිබුණේ කලාව වෙනුවෙනුයි. මම චිත්‍ර ඇන්දා සංගීතය හැදෑරුවා. ගායනා කළා. ඒ හැමදේම මම මතක ඇති කාලෙ ඉඳලම කළා. මම පාසල් ගියේ නුවර කිංස්වුඩ් විදුහලට.මගේ අප්පච්චි රජයේ සේවය කළා. උසස් පෙළ හැදෑරුවට පස්සේ ඊළඟට කරන්නේ කුමක්ද කියලා මම හිතුවා. ගෙදරින් කිව්වේ විදෙස්ගත වෙන්න කියලයි. ඒත් මගේ ආසාව තිබුණේ Film Industry එකට යොමු වෙන්නයි.

*ඒ සිතුවිල්ලත් එක්ක ඔබ කොළඹ එනවා?

ඔව්.ඒ අනුව මුලින්ම දැන්වීම් ආයතනයක සේවයට එක් වෙනවා. ඒ Vista Advertising Company එකට. Event cordinater කෙනෙක් විදිහට වැඩ කරනවා. එහි අත්දැකීම් ලබන අතරවාරයේ මම චිත්‍රපට සම්බන්ධව වැඩි දුර අධ්‍යාපනය ලබනවා. Colombo University Digital Vedio Production and Animation ඉගෙන ගන්න ගමන් Advertising Ferm එකේ වැඩකරනවා. රෑට Film Technics Study කළා. පසුව මම කරමින් සිටි රැකියාවට වඩා වෙනස් විදිහට ටෙලිවිෂන් එකට එක්කාසු වෙන්න මට හැකි වුණා. RlR Production House එකේ දි සංජය විතානගේ සහ සාරංග මෙන්ඩිස් , සහන් මට හමුවෙනවා. ඒ අය සමඟ එක්කාසු වෙලා වැඩකරන්න මට හැකි වෙනවා. සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔවුන් සමඟ මම වැඩ කරනවා. මේ අයත් සමඟ Tele Drama Broadcast solution වැඩකටයුතුවලට සම්බන්ධ වෙනවා. මේ විදිහට T.v, Film වලට සම්බන්ධවෙලා ටික කලෙකින් T.V Commercial සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ කරන්න පටන් ගත්තා. ඒ අනුව ලංකාවේ වගේම International Directors ලා සමඟ මම වැඩ කරනවා.

*ඔබේ පළමු වැනි Commercial එක මතකද?

මගේ පළමුවැනි Commercial එක වුණේ 'නෙහාරා ෂැම්පු' ඇඩ් එක. මේ දැන්වීම අදටත් ප්‍රේක්ෂක මතකයේ පවතිනවා. හුඟක්ම මගෙත් එක්ක ෆීල්ඩ් එකේ වැඩ කරන අයගෙන් මෙයට ප්‍රතිචාර ලැබුණා. ඒ සමඟ මගෙත් හිත තවත් දිරිමත් වුණා. ඉන්පසුව මම X-Ten production House එකට එක්කාසු වෙනවා එහි නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයෙක් විදිහට . ඉන් පසු අවුරුද්දකින් පමණ නැවත මම Freelance Directorකෙනෙක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. අදවන තුරු මම ෆීල්ඩ් එකේ එලෙස කටයුතු කරනවා.

*විදෙස් ගත නොවී එදා ඔබ ගත් තීරණය නිසා ඔබේ ජීවිතේ වෙනස්ම මඟකට යොමු වෙනවා?

මම බලාපොරොත්තු වුණා වගේම ඉතාම අඩු වයසින් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්නට මට අවකාශ ලැබුණා. ගොඩක් දෙනකුට නොලැබෙන අවස්ථාවක් එය. අදවන විට මගේ අරමුණ සාර්ථක වී තිබෙනවා.

* ඔබේ අනාගත බලාපොරොත්තු?

මගේ කැමැත්ත චිත්‍රපටයක් නිර්මාණය කරන එකයි. අපිට Film School එකක් නැහැ. නමුත් මම බොහෝ දේවල් මගේ රැකියාවෙන් ඉගෙන ගත්තා. ඒ අත්දැකීම් කෙනෙකුට ලෙහෙසියෙන් අත්කර ගන්න බැහැ. ඒ ලැබූ පන්නරයත් එක්ක මට මගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ ආශාව ඉටුකරගන්න ලැබේවි.

*ඔබ කලා ක්ෂේත්‍රයේ ලැබූ ජයග්‍රහණ මොනවාද?

මම ලැබූ ලොකු වාසනාවක් තමයි 2015 දී මම නිර්මාණය කළ 'The Possession' කෙටි චිත්‍රපටය Cannes film festival එකේ කෙටි චිත්‍රපට අංශයේ 'short film corner' කියන අංශයට තේරුණා. එය මට ලොකු අත්දැකීමක් වුණා. මේ වන විට මම දැන්වීම් 100කට වඩා කරලා තිබෙනවා. කාලෙන් කාලෙට ඒවා හිට් වෙනවා.

*මේ ක්ෂේත්‍රය ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම ඔව්. නමුත් මේ ක්ෂේත්‍රයට ලැබිය යුතු පහසුකම් නම් ඉතාම අල්පයි. ලංකාවේ දැන්වීම් කලාව තවදුරටත් දියුණු විය යුතුයි. මොකද මම ලෝකෙ වටේ ට්‍රැවල් කරනවා. එවිට මම දකිනවා ලෝකෙ බොහෝ රටවල්වල කලාවට මොන තරම් සහයෝගයක් දෙනවද කියලා. ඇත්තටම මීට වඩා අපේ රටේ මේ කලාව දියුණු විය යුතුයි. එයට වගකිව යුතු අංශ ක්‍රියාත්මක විය යුතුයි.

Comments