මේ ජීව­නයේ මුළු සංසාරේ උදා­රයි... උදා­රයි... උදා­රයි... ආදරේ... // | Page 2 | සිළුමිණ

මේ ජීව­නයේ මුළු සංසාරේ උදා­රයි... උදා­රයි... උදා­රයි... ආදරේ... //

ජනප්‍රිය හා සම්මානනීය ගායන ශිල්පියකු මෙන්ම දෙස් විදෙස් බහුතර රසික ප්‍රජාවකගේ ගෞරවණීය ආදරයට පාත්‍ර වූ එච්.ආර්.ජෝතිපාල නම් වූ කලාකරුවාගේ 82 වැනි ජන්ම දිනය හෙටට(පෙබරවාරි 12) යෙදී තිබේ.මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

 ‘සංගීත මඬලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණ ගී ශිල්පියාණෝ සීගිරි ලෙනේ හී රූ අප්සරාවන් ඇන්දා වූ ඒ සිත්තරාණෝ කවු ගී ලියූ වෝ පිළිරූ නෙළුවෝ වෙන් වී ගියත් ලෝ නියාවෙන් ආකාස තලයේ ඔවුහූ සරන්නෝ දෙවි දේවතාවුන් විලාසෙන්”එච්.ආර්.ජෝතිපාල නම් වූ ආදරණීය කලාකරුවා විසින් ගායනා කළ එම ගීතය මගින් අපට පහදා දෙන්නේ විශිෂ්ට ගණයේ කලාකරුවකු වුවද යම් දිනක ලෝක ධර්මයට අනුව වෙන්ව යාමට සිදු වන බවත් එසේ තාවකාලිකව වෙන්ව ගියද නැවතත් දෙව්දේවතාවුන් විලස ඉපිද ඉහළ අකාස තලයේ සැරිසරන බවත්ය.දේශීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදු කළ එච්.ආර්.ජෝතිපාල නම් වූ කලාකරුවා ද අප අතරින් වෙන්ව ගොස් මේ වන විට දශක තුනක් ඉක්මවා ඇත. එසේ දීර්ඝ කාල පරිච්ඡේදයක් භෞතික සිරුරින් වෙන් වුවද එතුමාගේ ජීවමාන හඬ නිරතුරුවම අපට ගුවන් විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ අසන්නට ලැබෙයි.

එසේම පෙර දවසේ දී ජෝතිපාලයන් විසින් ගායනා කළ ගීතවලට අද දවසේ දී බොහෝ රසික රසිකාවියන් වඩාත් ඇළුම් කරන්නේ අඩුතරමින් ඔහුගේ සුමියුරු වූ කටහඬෙහි යාවක් හෝ අසන්නට ය.අපේ රටේ පමණක් නොව විදේශ රටවල්වල වෙසෙන බොහෝ ශ්‍රී ලාංකික රසික රසිකාවියෝ එච්.ආර්.ජෝතිපාලයන් විසින් ගායනා කළ ගීත ඇසීමට දැඩි සේ ප්‍රිය කරති.මේ අනුව දෙස් විදෙස් රසික රසිකාවියන්ගේ එම අව්‍යාජ ඉල්ලීම ඉටු කිරීම උදෙසා වර්තමානයේ දී ඇතැම් ගායකයන් ඉදිරිපත් වී සිටීමත් විශේෂත්වයක්. එමෙන්ම වාර්තාවලට අනුව වර්තමානයේ දී එච්.ආර්.ජෝතිපාලයන්ගේ ගීත බහුලවම ගායනා කර තිබෙන්නේ ප්‍රවීණ ගායකයන්.

කෙටි කාලයක් තුළ දී සුපිරිතරු බවට පත් වූ ආධුනික ගායකයන් ද ස්වකීය ජනප්‍රියත්වය තහවුරු කර ගැනීමේ දී එච්.ආර් ජෝතිපාලයන්ගේ ගීත ගායනා කරන අවස්ථා දක්නට ලැබේ.එනමුදු ජෝතිපාලයන් විසින් ම ගායනා කරන ලද ගීත තවමත් ඉහළ මට්ටමකින් සංරක්ෂණය වී තිබියදී වෙනත් කවර හෝ ගායකයකු විසින් එතුමාගේ ගීත ගායනා කරන විට වර්තමානයේ දී ඇතැම් විද්යුත් නාළිකා මගින් එවැනි ගීත පමණක් බහුලව ප්‍රචාරය කර එම ගායකයන් හට කිසියම් අනුබලයක් ලබා දීම අනුමත කළ නොහැකියි. වර්තමානයේ බොහෝ විද්යුත් නාළිකා ජෝතිපාලයන්ගේ ගීත බහුලව ප්‍රචාරය කරල විශාල ආදායමක් උපයා ගන්නා අවස්ථා දක්නට ලැබේ. එබැවින් දශක ගණනාවක් එකසේ ජනප්‍රිය වූ එච්.ආර්.ජෝතිපාලයන්ගේ ගීත තව දුරටත් සංරක්ෂණය කර අනාගත පරපුර වෙත යොමු කිරීම විද්යුත් නාළිකා සතු යුතුකමක්.

ඕනෑම ශෛලියකින් ගීත ගායනා කිරීමේ නිපුණතාවකින් සිටි ඔහු ගීතයක සෑම වචනයක්ම නිවැරැදිව උච්ඡාරණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.ජෝතිපාලයන් ගීතයක වචනවලින් මතුවන අර්ථය තීව්‍ර කිරීම සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු කිරීමට සමත් වූ අසහාය ගායකයෙකි.

මේ අනුව අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ගීතයක අන්තර්ගතයේ ඇති අර්ථාන්විත බව මැනවින් වටහා ගෙන රිද්මයට ගීත ගායනා කරන අතලොස්ස අතරට ජෝතිපාලයන් ද නියත වශයෙන්ම අයත් වන බව අවිවාදයෙන් පිළිගත යුතුය. එමෙන්ම ඔහු ගීත ගායනා කරන විට ගීතයේ රිද්මය පමණක් නොව එහි භාවමය හැඟීම් ද උද්දීපනය කරයි.ගීතයක අපූර්වත්වය ඉහළට රැගෙන යන මෙම ද්විත්ව අනන්‍යතාව සුරක්ෂිත කරගෙන කිසිදු ආයාසයකින් තොරව ගීත ගායනා කළ ජෝතිපාලයන් ගේ කෞෂල්‍යයට සම කළ හැකි ගායකයකු අදටත් බිහි වී නොමැතිය. සිංහල සිනමාව තුළ ද දීර්ඝ කාලයක් පසුබිම් ගායනය තුළින් අති විශාල සිනමාලෝලීන් පිරිසක් වෙතට සමීප වීමට සමත් වූ ජෝතිපාලයන් කෙටි කාලයක් තුළ රිදී තිරයට උචිත චතුර ගායකයකු ලෙස ද නමක් දිනා ගත්තේය. වරක් සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන් ජෝතිපාලයන්ට පිහිටා ඇත්තේ සිනමාවේ තිරයට උචිතම හඬක් බව පවසා තිබෙනවා.

දුගී දුප්පත් අසරණයින් වෙනුවෙන් තමන්ගේ ඇඳිවත පවා පරිත්‍යාග කිරීමට යුහුසුළු වූ ජෝතිපාලයන් මුදල් ඉපයීම පමණක් එකම පරමාර්ථය කර නොගත් අව්‍යාජ කලාකරුවෙකි. එසේම එතුමා මුදල් වලට වහල් වී කිසිසේත් කලාව පාවා නොදුන් උදාර මනුෂ්‍යයෙකි.මේ අනුව වර්තමානයේ දී මුදල්වලට පමණක් ගිජු වී ජනප්‍රිය වීමට කෙටි මාර්ග සොයන නවක ගායක ගායිකාවන්ට ජෝතිපාල කලාකරුවා මහඟු ආදර්ශයකි.

 

Comments