ඔයාගෙ හස්බන්ඩ් ඔයාට ආද­රෙ­යිද | සිළුමිණ

ඔයාගෙ හස්බන්ඩ් ඔයාට ආද­රෙ­යිද

කඩ හිමියා රැගෙන ආ බන්දේසිය මත රසකැවිලි රැසක් විය. ඒ වනවිට කල්කටාවට පැමිණ එතරම් කාලයක් නොවූයෙන් හල්වා හැරෙන්නට අනෙකුත් රසකැවිලි නම් වශයෙන් හඳුනා ගන්නට නොහැකි වූ අයුරුත්, කඩහිමියාට

ස්තුති කළ රාඝව් ඉන් කැවිලි කීපයක්ම ගෙන තමා අත තැබූ අයුරුත් ෆියෝනාට සිහිපත් විය. කිසිදු විමසීමකින් තොරව රසකැවිලි වල රස බැලූ පසු රාඝව් තමා අතින් ඇදගෙන වැස්සේම කඩයෙන් පිටතට පැමිණියේය.

“තෙමෙනවා. ”

ඒ වනවිටත් වැස්ස නතරව නොතිබුණෙන් ෆියෝනා පැවසුවාය.

“වහිනකොට තෙමෙනවා තමයි. ඉස්සර වෙලා ඔය අතේ තැවරිලා තියෙන පැණි හෝද ගන්නවා. ”

රාඝව් පැවසුවේ මුවගට නැගි සිනාව සඟවා ගැනීමේ උත්සාහය ඇතිවය.

“ඇයි එයා අපි හැමෝටම සංග්‍රහ කරන්න ගත්තෙ? ”

වැසි දියට අල්ලා අතෙහි තැවරුණු පැණි සෝදා හරින ෆියෝනා ඇසුවාය.

“වර්ෂා මංගල් සමරන්න. මං දැක්කා ගෝලයෙක්ව එළියට යවලා මිනිහා රසකැවිලි ගෙන්න ගන්නවා.”

“පුදුමයි. වැස්සට මේ තරම් ආදරයක්? සැළකිල්ලක්?”

“නැතිව? කාලයක් නැතිව ඉන්න දෙයක් ලැබුනමයි ඒ දේ කොච්චර වටිනවද කියලා දැනෙන්නෙ? විශේෂයෙන්ම වර්ෂාව? බලන්න ෆියෝනා මේ වැස්ස මොන තරම් නම් ආශීර්වාදයක්ද කියලා. හෙට උදේ වෙනකොට මුළු කල්කටාවම අලුත් ප්‍රාණයක් ලැබුණා වගේ තියේවි. වැස්සෙන් පණ ලබපු ගහකොළ පොළව දකිද්දි මොන තරම් සතුටක්ද කියලා හිතන්න.”

ෆියෝනා රාඝව් දෙස බලා සිටියාය. ඔහු ද තමා මෙන්ම සොබා දහම විඳින්නකු වීම ගැන ඇය සතුටු වූවාය.

“ඔයා තෙමෙනවා නේද?”

වැසි දියෙන් තෙත් බරිතව සිටින රාඝව් දෙස බැලූ ඇය ඇසුවේ අනුකම්පාවෙනි.

“ඇයි මං විතරක්? ඔයත් තෙමෙනවා.”

“මං තෙමෙන්න ආසයි. ”

“ආසයි ආසයි කියලා වැස්සට තෙමිලා ලෙඩ වුණොත් අර මනුස්සයා මටයි අක්කටයි බනීවි. ”

“අර මනුස්සයා කිව්වෙ?”

“වෙන කාටවත් නෙමෙයි. ඔයාගෙ ස්වාමි පුරුෂයාට.”

ඒ වනවිට වැස්සේම මෝටර් රිය අසළට පැමිණ තිබුනෙන් රාඝව් මෝටර් රථයේ දොර හැරියේය. හිසකෙස් වලත්, ඇඳුමෙහිත් වූ වතුර මිරිකා හළ ෆියෝනා හිඳ ගත්තාය.

“මට එක දෙයක් කියන්න ෆියෝනා.”

“අහන්න රාඝව්.”

“ඔයාගෙ හස්බන්ඩ් ඔයාට ආදරෙයිද? ”

මෝටර් රිය පණ ගන්වන රාඝව් ඇසුවේය. ෆියෝනාට හඬ නගා සිනා පහළ වුව ද, රාඝව් ඉදිරිය බලාගෙන රිය පදවනු විනා සිනාසුනේ නැත.

“ඔයා පුදුම ප්‍රශ්නනෙ අහන්නෙ? ආදරේ නැත්නම් අපි අතරෙ විවාහයක් සිද්ද වෙන්නෙ කොහොමද? ”

“නෑ ෆියෝනා. ආදරය නොකරත් සමහර උදවිය විවාහ වෙලා ඉන්නවා. දෙන්නම හිතින් විඳව විඳව එක වහළක් යටට වෙලා මුළු ජීවිතේම ගත කරනවා. ”

“ඔයා දන්නවද ඒ වගේ අයව?”

“නැත්නම්? දන්නවා. දන්නවා විතරක් නෙමෙයි. එයින් එක පාර්ශවයක් කියපු දුක් ගැනවිලිත් මම කාලයක් අහගෙන ඉඳලත් තියෙනවා. ”

“හැබෑට? ”

රාඝව්ගේ මුහුණෙහි එවේලෙහි වූයේ ශෝකයක් බව ඒ අවස්ථාවේ පමණක් නොව පසුවද, ෆියෝනාට සිතිණ. මෝටර්රථයෙන් පිටත මහා වැසි ඇද හැලෙයි. ෆියෝනා වැස්ස දෙස බලා සිටියාය. සැබෑවටම මේ වැස්ස ආශීර්වාදයක් මෙනි. මේ වනවිට වැස්ස වැඩි වී තිබුනද, වැස්සේ තෙමෙමින් සතුටෙන් දිව යන මිනිසුන් සහ ගැහැනුන් දෙස ඇය බලා සිටියාය.

“ෆියෝනා. කොහොමද ඔයා කාපු රසකැවිලි?”

රාඝව් හදිසියේම ඇසුවේය.

“රසයි. ඒත් මං අඳුනගත්තෙ හල්වා විතරයි. ”

“හල්වා විතරක් නෙමෙයි. එතන මෝහන් භොග්, රසගුල්ලා, ෂෝර් භාජා එහෙමත් තිබුණා.”

“ඇත්තට? ආයෙම වෙලාවක මට ඒවා පෙන්නලා නම් කියලා දෙන්න.”

“මං ඔයාට හදලා දෙන්නම්.”

“රාඝව්ට රසකැවිලි හදන්නත් පුළුවන්ද?”

“මට බැරි දෙයක් නෑ. හොඳයි. අද රෑට මං ඔයාට කීර් කාදම් හදලා දෙන්නම්.”

පොරොන්දු වු ලෙසම එදින රාත්‍රියේ රාඝව් කීර් කාදම් සාදා තිබිණ. මධ්‍යයෙහි පැණි රසැති මිශ්‍රණයක් යොදන ලද රසගුල්ලා වැනිම වූ කීර් කාදම් ඉතා රසැති රසකැවිල්ලක් විය.

“මේක බෙංගාලයේ සම්ප්‍රදායික රසකැවිල්ලක්.”

තමා කීර් කාදම් රස විඳින ආකාරය දෙස බලා සිටි ස්මිතා පැවසුවාය.

“අපේ විශේෂ අවස්ථා හැම එකකදිම මේ රසකැවිල්ල හදන්න අමතක කරන්නෙ නෑ.”

එවේලෙහි ස්මිතා ඔවුන්ගේ සම්ප්‍රදායික රසකැවිලි වර්ග කීපයක් පිළිබඳවම පැවසුවද, දැන් ඒවායේ නම් අමතකව ගොසිනි.

“අමතක වුණත් මං ඒ හැම දෙයක් ගැනම ඩයරි එකේ ලියා ගත්තා. ”

දිනපොත පෙරලා බැලිය යුතු යයි සිතුණද, දිනපොත සහිත බෑගය අවුස්සා බලන්නට ඇයට නොසිතිණ. ෆියෝනා නැගිට ජනේලය අසළට ගියාය. ඒ වනවිට නිසල විල සංගීත ආශ්‍රමයෙන් නැගුණු ගී හඬ නතරව තිබිණ.

මිදුල මධ්‍යයෙහි වූ දැවැන්ත අඹ ගස යට සිට ගත් බාළක බාළිකාවන් කතා කරමින් සිනාසෙමින් සිටින අයුරු ඇය බලා සිටියාය.

“ඉන්ටවල් වෙන්න ඇති.”

අරවින්ද් පෙනෙන තෙක් මානයක නොවූයෙන් ඇයට සිතිණ.

“අනුමානයක් නෑ. අරවින්ද් ගිහින් තේ හදා ගන්නවා වෙන්න ඇති.”

ෆියෝනා මිදුලෙහි තැන් තැන් වල සිටගෙන කතා බහ කරමින් සිටින බාළක බාළිකාවන් දෙස මහත් උනන්දුවෙන් බලා සිටියාය. නොඅනුමානවම ඔවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් විය යුතුය. දුකක් කරදරයක් නොමැති සුන්දර මුහුණු දෙස බලා සිටින්නට ආශා සිතෙයි.

“මටත් එහෙම කාලයක් තිබුණා. මට විතරක් නෙමෙයි. හැමෝටම ඒ විදියෙ සමනළ වයසක් තියෙනවා. ඒ කාලෙදි කවුද හිතන්නෙ විවාහය දුකක් කියලා? ඇත්තටම මට වැරැදුණාද?”

විවාහ වූ මුල් යුගයෙහි නොපෙනුනද, දැන් දැන් අසාර්ගේ දුර්ගුණම මතු වී පෙනෙන්නේ කවර හේතුවක් නිසාදැයි ෆියෝනා කල්පනා කළාය. දැන් දැන් ඔහු හා තමා අතර මහා දුරස්ථ භාවයක් ඇති වී ඇති බව පෙනේ. ඒ දුරස්ථ භාවය තමා හා අසාර් ආගන්තුකයින් බවට පත් කරනු ඇත්ද? දිගු සුසුමක් හෙලූ ෆියෝනා ජනෙල් තිරය ඇද දැමුවාය. තේ කෝප්පයක් පිළියෙල කර ගැනීමට මුළුතැන්ගෙට

යා යුතුයයි සිතා කාමරයෙන් පිටව යාමට සිතුවද, උඩු මහලෙහි පියගැට පෙළ නැග එන පිරිමි පාවහන් යුවළක හඬ විසින් ඇය නතර කරනු ලැබීය.

ලබන සතියට

අදහස්