වසරකට 16,000 ක් පිළිකාවට ගොදුරු වෙති | Page 2 | සිළුමිණ

වසරකට 16,000 ක් පිළිකාවට ගොදුරු වෙති

මුඛ පිළිකාව හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයන් ති‍ෙදනකු මරණයට පත්වන බව මුඛ හණුක හා මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය වාර්තා කරයි. මුඛ පිළිකාව මෙරට පිරිමින්ට ඇතිවන පිළිකා අතර මුල් තැන හිමිවෙයි. කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතර මුඛ පිළිකාව 5 වැනි තැන ගනී.

වසරකට ලංකාවේ පුද්ගල මරණ 10000 ක් සිදුවෙන අතර ඉන් 1100 කට හේතුව මුඛ පිළිකා ය. වසරකට මෙරට පිළිකා රෝගීන් 16000 ක් හඳුනාගනු ලබන අතර එයින් 2500 ක් මුඛ පිළිකා රෝගීහු වෙති. දුම්කොළ හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, පුවක්, බුලත්, හුණු සහ රසකළ බුලත් විට බාබුල් බීඩා සැපීම මුඛ පිළිකාවට හේතුවෙයි. මේවා භාවිතා කරන පුද්ගලයකු මුඛ පිළිකාවට ගොදුරු වීමට ඇති හැකියාව සාමාන්‍ය පුද්ගලයකු මුඛ පිළිකාවට ගොඳුරු වීමට ඇති හැකියාව මෙන් හැට ගුණයකින් ඉහළය.

මින් පෙර මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරු වූයේ වයස අවුරුදු 50 – 60 ඉක්මවූවන් වුව ද වර්තමානය වන විට යෞවනයන් හා අවුරුදු 30 – 50 අතර පුද්ගලයන් අතර මුඛ පිළිකාව බහුලව දැකිය හැකි බව මුඛ හණුක හා මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි. මුඛ හනුක හා මුහුණ පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ අන්තර්ජාතික දිනය පසුගිය 13 දාට ‍යෙදී තිබිණ. ඒ නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී රත්නායක මහතා මේ බව අනාවරණය කෙළේ ය. වත්මන් තරුණ පරපුර මෙන් ම ඇතැම් පාසල් සිසුන් ද බාබුල් බීඩා ගංජා සිගරට් හා මත් බුලත්විට භාවිතයට හුරු වී ඇති අතර පාසල් ළමයින් අතර මේවා ප්‍රචලිත කිරීමේ කූඨ ව්‍යාපාර රැසක් ද පවතින බවත් රත්නායක මහතා පැවැසීය. මේ අනතුරෙන් දරුවන් බේරා ගැනීමට දෙමවුපියන් හා පාසල් බලධාරීන් වගබලා ගත යුතු බව ද වෛද්‍යවරයා පැවැසීය.

කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළහොත් මුඛ පිළිකාව නිට්ට‍ාවට සුව කළ හැකි බව මහරගම දන්තායතනයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා පවසයි. මත්ද්‍රව්‍ය දුම්කොළ බුලත් පුවක් හුණු, දුම්කොළ භාවිතය ඇති අයහපත් චර්යාවලින් බැහැරවීම මුඛ පිළිකාවෙන් වැළකීමට ඇති හොඳම පිළියම බව ද වෛද්‍ය අමරසිංහ පවසයි.

මුඛයේ ඇතිවන සුදු හෝ රතු ලප, කල් ගතවූ සුව නොවන තුවාල ගෙඩි හෝ ඉදිමුම්, හකු ඇටය ආශ්‍රිත වෙනස්වීම් හෝ වේදනා මුඛ පිළිකාවක මූලික ලක්ෂණ විය හැකි ය. මේවා දුටු වහාම වෛද්‍ය උපදෙස් පැතීම මෙන් ම නිතිපතා මුඛ සෞඛ්‍ය රැක ගැනීමත් පිළිකා වළක්වා ගැනීමට ඉවහල් වන බව ද වෛද්‍යවරයා පවසයි. 

Comments