විසි වසරකට පෙර රටම කම්පනය කළ මොහොත | සිළුමිණ

විසි වසරකට පෙර රටම කම්පනය කළ මොහොත

 රට පනස් වැනි නිදහස් සමරුවට සැරසෙමිනි. ප්‍රධාන ආරාධිතයා බ්‍රිතාන්‍ය කිරීටය හිමි චාල්ස් කුමරුය. උතුරේ යුද්ධය මාරාන්තිකව ඇවිලී තිබුණු බව සැබෑය. මරණයේ බිහිසුණු සෙවණැලි මහ පාරේ බස් නැවතුමක් ගානේත්, අගුපිලක් ගානෙත් ඇඳී තිබුණ බව සැබෑය. ඒ සුළභ වූ මරණය රටේ දෛනික ක්‍රියාන්විතය මුලුමනින්ම බිඳ දැම්මේ නැත. යුද්ධයක ශිෂ්ට බවක් නැත. එහෙත් එක්තරා මොහොතක එල්.ටී.ටී.ඊ ය මනුෂ්‍ය සමාජයේ ශිෂ්ටයැයි සම්මත සියලු අනුමිතීන් සහමුලින්ම බිඳ දැම්මේය. දිනය 1998 ජනවාරි මස 25 වැනිදාය. වෙලාව උදෑසන 6 පසුවී විනාඩි පහක් ගතවූවා පමණය. එල්.ටී.ටී.ඊ ම්ලේච්ඡයෝ සිංහලයේ උත්තුංග අධ්‍යාත්මික සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික දළදා මාලිගාවට බිහිසුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.

බෝම්බ ලොරිය පැමිණියේ රජ වීදියේ සිටය. ඉලක්කය වූයේ මාලිගාව තුළට ඇතුළු වී මාලිගාව පුපුරුවා හැරීමය. එහෙත් ඒ මොහොතේ රාජකාරියේ සිටි පොලිස් කාන්තාවක් වාහල්කඩ ප්‍රවේශ දොරටුව වසා දැමුවාය. ලොරිය පිපිරී ගියේය. ඒ මාලිගාවට පිටින් වාහල්කඩ අභියසය. ලොරිය කුඩේ කුඩුය. එක් රෝදයක රිම් එකක් හමුවුණේ වැවේ එහා ඉවුරෙන්ය.

වාහල්කඩ සැරසී තිබුණේ මනරම් සෙල්මුවා කැටයමිනි. නුවර යුගයේ කළ මනරම් සඳකඩ පහණ, ඇත් රූ, පංචානරි රූ සහිත වාහල්කඩ ඇසුරෙහි වූ කැටයම් කුඩු පට්ටම් වී ගියේය. නාථ දේවාලය අවට වනස්පතීන් බිඳ වැටිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගය, මැද වහාල ගොඩනැගිලි, නාථ දේවාල පුදබිම, රාජ හස්ථි අනුරූ සහිත කෞතුකාගාරය, බිඳවැටිනි. මූලේන්ද්‍ර දේවචාරියා විසින් කළ පත්තිරිප්පුවේ මැද බාල්කය පුපුරා ගියේය. පල්ලෙ මාලේ බිත්ති ඉරි තැලී බදාම ඇද හැලිණි. බිතු සිතුවම් වැනසී ගියේය. පියස්ස මුළුමනින්ම පාහේ බිඳී ගොස් තිබිණි. එහෙත් පුදුමාකාර ආශ්චර්යය වූයේ දළදා වහන්සේ වැඩසිටි වැඩසිටිනා මාලිගාවේ බිත්ති සෙලවී ගියත් එහි විදුලි බුබුළකටවත් හානි වී නොතිබීමය. පුරාණ ඉදිකිරීම් තාක්ෂණයේ මහිමය එයය. වරිච්චි සහිත මැටි බිත්ති ඒ දැවැන්ත කම්පන තරංග අවශෝෂණය කර ගැනීමට සමත් විය.

· බෝම්බයටවත් නොනැවැත්වූ තේවාව

දළදා මාලිගාවේ තේවාව අධිපතිව වැඩසිටියේ මල්වතු පාර්ශවයේ මහා නායක ධූරන්ධර රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සී හිමිපාණෝය. එවකට අස්ගිරි පාර්ශ්වයේ මහ නායකත්වය දැරුවේ පලිපානේ ශ්‍රී චන්ද්‍රානන්ද හිමියන්ය. ඒ මොහොත මාලිගාවේ තේවාව පැවැත්වෙමින් තිබුණු මොහොතකි. තේවාව කරමින් සිටියෝ අම්පිටියෝ චන්ද්‍රරත්න හිමියෝය. උන්වන්සේට සීරීමක්වත් සිදුවූයේ නැත. බෝම්ය පිපිරී මාලිගව දෙදරා ගොස්ය. එහෙත් අම්පිටියේ චන්ද්‍රරතන හිමියෝ තේවාව නොනැවැත්වූහ. උන්වහන්සේ එය දිගටම පවත්වාගෙන ගියහ.

සාමාන්‍ය බෝම්බ පිපිරීමකදී සියල්ල ගිනි ගෙන මහා විනාශයක් වන්නේය. දැවයෙන් හා වරිච්චි මැටියෙන් තැනූ මේ ඓතිහාසික ගොඩනැගිල්ලට ගින්න පැතිරුණා නම් එහි අළුවත් ඉතිරි වන්නේ නැත. එහෙත් දිය අගල සහිත පිහිටීම නිසා ගින්න පැතිරී ගියේ මාලිගාව දෙසට නොව අනෙක් පසටය.

ඒ වනවිට අවට අමුසොහොනක් සේ දිස්විණි. වන්දනාවට පැමිණි උවසු උවැසියෝ 11 දෙනෙක් තැන තැන වැටී මිය ගොස් සිටියහ. 17 දෙනෙක් තුවාල ලබාය. ත්‍රස්තවාදීන් දෙදෙනාද මිය ගිය උන් අතරය. මාලිගාව පිටතින් පෙනෙන්නේ නටබුන් ගොඩක් ලෙසය. දෙනෝ දාහක් දෙනා මේ ව්‍යසනයෙන් කම්පනයට පත්වෙමින් මාලිගාව වෙත පැමිණෙමින් සිටියහ.

· මාලිගාවේ ආරක්ෂාව

වහල බිඳීගොස්ය. ජනෙල් උලුවහු කැබලි වීය. මාලිගාවේ පැවතුණ වටිනා සියලු දෑ සුරක්ෂිත කිරීම සඳහා දියවඩන නිලමේ තැන්පත් නිරංජන් විජේරත්නයෝ කටයුත මහා නායකය හිමිවරුන්ගේ අනුදැනුම මත කටයුතු කරමින් සිටියහ. වටිනා පුස්කොළපොත් ගුළ වහාම ජාතික ලේඛණාගාරය වෙත යැවිනි. වටිනා පූජා භාණ්ඩ වගකීම් සහිතව සුරක්ෂිත විය. මාලිගාව වටේ දැඩි හමුදා රැකවල් දැමිණි. කිසිවෙකුට මාළිගාව වෙත ඇතුළුවීමට ඇති ඉඩ කඩ ඇහිරිනි.

නොබෝ වේලාවකින්ම මල්වතු අස්ගිරි මහානායක මිහිවරුන්ගේ අනුශාකත්වය යටතේ දියවඩන නිලමේවරයාගේ සභාපතිත්තවය මත ප්‍රතිසංස්කරණ කමිටුවක් පිහිටුවනු ලැබිණි. මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, රජයේ සියලු තාක්ෂණික ඥානය සම්පින්ඩනය කළ වෘත්තීය ආයතන සහිත මේ කමිටුව සිය කටයුතු ආරම්භ කළහ. වර්ෂ 1998 ජනවාරි මස 25 දා උදෑසන 6 වනවිට දළදා මාළිගාව තිබූ ස්වරූපයට හැකි ඉක්මනින් විධිමත් ප්‍රතිසංස්කරණයක් කිරීමට කටයුතු මෙහෙයවීම කමිටුවේ ඉලක්කය විය.

ප්‍රතිසංස්කරණ කටයුත්තේ ආසන්නම මුල් ඉලක්කය වූයේ නොකඩවා දළදා තේවාව පවත්වා ගැනීම සඳහා පරිසරය සකස් කරගැනීමය. සුන්බුන් ඉවත්කර ඒ සඳහා ඉඩ සකසා ගැණුනි. පියස්ස නැති වහලෙන් තරු එළිය වැටෙද්දී, රාත්‍රී තේවාව පැවැත්විණි. බුද්ධ පූජාව, ගිලන්පස පූජාව, තේවාව එක් වාරයක්වත් අතපසු නොවිණි.

· දේශීය දැනුම

මේ සමගම දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණ අරමුදල පිහිටවනු ලැබුවේය. පළමු සති කීපය තුළ ප්‍රතිසංස්කරණය සඳහා ඇවැසි මුදල මෙන් තුන්ගුණයක මුදලක් මහජන ආධාර මත එකතුවිය. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුනෙස්කෝ මූල්‍ය ආධාරවත් ලබා ගත්තේ නැත. ප්‍රතිසංස්කරණය සිදුවූයේ දේශීය විද්වත් පර්ෂදයක මැදිහත් වීමෙනි. කිසිම විදේශික උපදේශන කණ්ඩායම් හෝ විශේඥයන් මේ කටයුත්තට දායක කරගත්තේ නැත.

බිඳී ගිය ගල් කැටයම් ප්‍රතිනිර්මාණය සදහා දේශීය ශිල්පීන් පිරිසක් සොයා ගැනුණි. මුල් හැඩය සොයා ගත නොහැකි සේ කැටයම් කැබලි වී ගොස්ය. මේ කැටයම්වල පූර්ණ දත්ත සහිත වාර්තාවල හිඟයක් තිබිණි. මේ අතර දියවඩන නිලමේවරයා ජැක් සුලෙයි නැමැති එක්තරා ප්‍රංශ ජාතික මිත්‍රයෙකු දකින්නට ගියේය. අදහාගත නොහැකි යමක් එහිදී හමුවිය. ඒ ඡායා රූප පෙළකි. වර්ෂ 1864 දී ඡායාරූපගත කළ එම ඡායාරූප පෙළෙහි වූයේ දළදා මාලිගාවේ වාහල්කඩත්, ඒ අසුරෙහි වූ සඳකඩපහණ, ඇත් රූ, පංචනාරී රූ සහිත කැටයම් සමූහයත්ය. ඉතා පැහැදිලි මේ ඡායාරූප ඔහු මිලදී ගෙන තිබුණේ ප්‍රංශයේ වෙන්දේසියකිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් කරගෙන මේ ඡායාරූප ස්කෑන් කරවා විශාලනය කර කැටයම් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගැනුණි.

ප්‍රතිසංස්කරණයේදී මතුවූ දැවැන්තම ගැටලුව වූයේ පත්තිරිප්පුවේ පුපුරා ගිය ප්‍රධාන බාල්කයට දේශීය දැව සොයා ගැනීමය. මේ පිළිබඳව සොයමින් සිටියදී එක් දිනක් වරාය කම්කරුවන් පිරිසක් පණිවුඩයක් දුන්නේය. ඒ බේරෙ වැවේ දිය මුහුදට බේරී යන, පැරණි කෞතුකාගාරයට නුදුරින් වසර සිය ගණනක් තිස්සේ කිවුල් දියෙහි පදම් වූ දැව කඳක් පිළිබඳවය. වහාම ඒ දැව කඳ ගොඩ ගැණුනි. ආශ්චර්යය වූයේ මේ දැව කඳ දිගින් පිපිරී ගිය බාල්කයේ දිගට හරියටම ගැලපීමය. අවශ්‍ය වූයේ අඟල් හතරකට ආසන්න ප්‍රමාණයක් යතු ගා පළල අඩු කරගැනීමය.

බිඳී ගිය සිතුවම් යළි ප්‍රතිසංස්කරණය කිරීම මධ්‍යම සංස්කෘතික අරමුදලට භාර විය. බිඳී ගිය වරිච්චි අතරින් මෙතෙක් සැඟවී තිබූ පුරාණ සිතුවම් තල මතුවිය. සමස්ථ සංරක්ෂණ අධීක්ෂණය පුරවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිණි. ඉදිකිරීම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත භාර දුණි. දේශපාලන භේද නොවීය. සමූහ ව්‍යායමයක ප්‍රතිඵලයක් ලෙස මහා ව්‍යසනයේ එකම සලකුණක්වත් නොතබා වසර දෙකක් තුළ ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය විය.

නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේ

අදහස්