වෛද්‍ය විද්‍ය­ත්මක ජන සංගී­ත­වේ­දය ලෙඩ සුව­යට ඔසු­වක් | සිළුමිණ

වෛද්‍ය විද්‍ය­ත්මක ජන සංගී­ත­වේ­දය ලෙඩ සුව­යට ඔසු­වක්

ආචාර්ය ලසන්ති මනරංජනී මෙරට සිටින ප්‍රවීණතම සංගීතවේදිනියක, ආචාර්යවරියක ලෙස හඳුන්වාදිය හැකිය. පරම්පරාවෙන් පරම්පරාවට සංගීතය උරුම කරගත් ඇය තම පියාගේ අඩි පාරේ යමින් සංගීතය හදාරා මේ වන විට දෙස් විදෙස් කීර්තියට පත්ව ඇත්තේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලීය බාහිර මාහාචාර්යවරියක මෙන්ම සාම්ප්‍රදායික සංගීතය පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ලෙසයි. ඇය සංගිතය පිළිබඳ ජාත්‍යන්තර ජූරීන් කිහිපයක සභිකාවකි. සංගීතය ඔස්සේ නව මං සොයා යන ඇය සමඟ සංගීත චිකිත්සාවේ නව දොරටු පිළිබඳ යෙදුණු කතාබහකි මේ.

* ඔබේ සංගීත දිවියේ ඇරැඹුමෙන්ම අපේ කතා බහ පටන් ගනිමු?

මම මිනුවන්ගොඩ ජාපාලවත්ත මහ විද්‍යාලයෙන් සහ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පී.ඒ.වික්ටර්, ශාන්තා රමනි ඩයස්, ලයනල් ලියනවත්ත, බී.වික්ටර් පෙරේරා යන දේශීය සංගීත ගුරුවරුන් යටතේ ගායනය හා වාදනය හැදෑරුවා.පසු කලෙක ජාතික සංගීත හා නැටුම්, වාද්‍ය විශාරද උපාධිය (ප්‍රථම පංති සාමාර්ථ) ලක්නව්හි භාත් ඛණ්ඩ විශ්වවිද්‍යාලයෙන් ද එම විශ්වවිද්‍යාලයෙන්ම සංගීත විශාරද උපාධිය ද කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා විශේෂවේදී (ප්‍රථම පංති ගෞරව සාමාර්ථ ) උපාධිය ද ලැබුවා.පසුව පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද (PGIAR - කැලණිය විශ්වවිද්‍යාලය) බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (M.Mus) ද ස්ලෝවීනියාවේ ලුබ්ලියානා විශ්වවිද්‍යාලයෙන් සංගීත චිකිත්සාව හා වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය යන විෂයයන් සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ද (Ph.D) ලබාගත්තා. පසුව බාහිර මහාචාර්යවරියක ලෙසත් මම කටයුතු කළා.ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලියේ උතුරු ඉන්දියානු සංගීත ආයතනයේ වයලීන වාදන ශිල්පිනියක ලෙසත් වසර ගණනාවක් මම කටයුතු කළා. ජන සංගීතවේදය හා වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීත‍වේදය පිළිබඳ පර්යේෂණ ලිපි රැසක් ද මම එළිදැක්වූවා. ඒ අනූව Music and Healing Retuals of Sri Lanka Their Relevance for Community Music Therapy and Medical Ethnomusicology මැයෙන් කෘතියක්ද සම්පාදනය කළා.

* ඔබ කතා කරන ජන සංගීතවේදය (Ethnomusicology) ඉතා පුළුල් විෂයක් ?

ඔව්. ජන සංගීතවේදයට දේශීය , කලාපීය, අන්තර් ජාතික ආදී වශයෙන් සීමා මායිම් පනවන්න බැහැ. එකකට එකක් උසස් හෝ පහත් ලෙස වර්ග කරන්නත් බැහැ. ඒ වගේම ජන සංගීතවේදියාට දේශීය සංගීතය ගැන මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ ද අවබෝධයක් තිබිය යුතුයි. බටහිර සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානි රාගධාරී සංගීතය වැනි එක් විෂය ධාරාවක් එයට ගොනු කරන්න බැහැ. බටහිර සම්භාව්‍ය, හින්දුස්ථානි, ජන සංගීතය ආදී සෑම ශෛලයක්ම එයට අයත්. එය විශ්ව සංගීතය පිළිබඳ හැදෑරීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

* වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදය (Medical Ethno musicology)ලෙස ඔබ අදහස් කරන්නේ ?

වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර ගත් විට වෛද්‍ය විද්‍යාත්මක ජනසංගීතවේදය ඊට වඩා වෙනස්. මේවා බොහෝ දුරට යොමු වන්නේ ඒ හා සම්බන්ධ විෂයයට හෝ විෂයයන්ට පමණයි.නමුත් ජනසංගීතවේදයේදී ප්‍රධානඅංශ 3ක් එකිනෙකට සම්බන්ධ වෙනවා. එ් සෞම්‍ය ප්‍රවර්ධනය, සංගීතය සහ සංස්කෘතික පසුබිමයි. මේ අංශ තුන පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීතවේදියාට අවබෝධයක් තිබිය යුතුයි. ඒ හා සිදුකෙරෙන පර්යේෂණ ද මේ අංශ තුනටම අදාළයි. මේවා අතර අන්තර් විෂයයික සම්බන්ධතාවක්ද පවතිනවා.

*වෛද්‍ය විද්‍යත්මක ජන සංගීතවේදය වෛකල්පිත ප්‍රතිකාර ක්‍රමයක්ද ?

ඔව්. මෙහි දී මුලින්ම රෝගියාගේ සංස්කෘතික ආගමික පසුබිම ගැන අවබෝධයකින් සංගීත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය තෝරාගත යුතුයි. මෙහිදී වඩාත් මූලික වන්නේ ඔහුගේ සංස්කෘතික,ආගමික පසුබිම හඳුනා ගැනීමයි. ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය නිවැරැදිව තෝරා ගත හැකි වන්නේ එවිටයි. බටහිර වෛද්‍ය විද්‍යාව හෝ ආයුර්වේදය වැනි ප්‍රධාන ධා‍රාවේ ප්‍රතිකාර ක්‍රම වලින් බැහැරව රෝගියාගේ ස්වභාවය අනුව විවිධ සංගීත සාම්පල යොදමින් ගැලපෙන සාම්පලය තෝරා ගත යුතුයි. එහිදී, ජන සංගීතය බටහිර රොක්, පොප් වැනි විවිධ සංගීත ශෛලීන් භාවිත කළ හැකියි. වැදගත් වන්නේ මේ අතරින් රෝගියාට ගැලපෙන ශෛලිය හඳුනා ගැනීමයි. රොක් සංගීතය ප්‍රිය කරන අයකුට ජන ගී භාවිත කිරීමෙන් ළුලක් නැහැ. බටහිර රටවලදී බොහෝ විට භාවිත කරන්නේ බටහිර සම්භාව්‍ය සංගීතයයි. සෙසු ආගමික සංස්කෘතික පසුබිම්වලටද මෙය අදාළයි.

* ඔබ වෛද්‍ය විද්‍යාත්මක ජන සංගීත‍ෙවදය පිළිබඳ පරීක්ෂණයක් සිදුකළා නේද?

ඔව්. ඒ පරීක්ෂණයේ දී මම වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සමඟ කතා කළා. ඒ අතර වෛද්‍ය රුවන් ඒකනායක මා සමඟ පැවැසුවේ මාසයකට වතාවක් රටේ පිළිගත් සංගීතඥයකු කාඩියොලොජි ඒකකයට ගෙන්වා වැඩ සටහනක් පවත්වන බවයි. හෘදය සැත්කමකින් පසු සුවය ලබා සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වන අය ද තමන්ට හෘදයාබාධය වැළැ‍ඳෙන විට කරමින් සිටි කාර්යය නැවත කිරීමේදී එයට බිය වෙනවා. ඔවුන් ශාරීරිකව සුවය ලැබුවත් මානසික සුවයක් ලබා නැහැ. මෙවැනි අයට සංගීත චිකිත්සාව මඟින් සැලසෙන යහපත විශාලයි. වැඩසටහනක් නිමාවේදී ඔවුන්ට නිකරුණේ බලා සිටීමට ඉඩ නොදී ප්‍රතිචාර ලබා ගැනීමත් සිදු වෙනවා. එම ප්‍රතිචාරය අත්පොළසන් දී සතුට ප්‍රකාශ කිරීමක්, ගීතය රස විඳීමෙන් පසු තමන්ට දැනුණු හැඟීම වදන්වලට පෙරළීමක් විය හැකියි. ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි මාරසිංහ මහතාද ගැබිනි මවුවරුන් සඳහා පිරිත් හා සංගීතය රස විඳීමට ඉඩ සලසමින් මානසික සැහැල්ලුවක් ඇති කර ගැනීමට ඔවුන් යොමු කළා.

* ආතතියටත් සංගීත චිකිත්සාව පිළියමක්ද?

එය සංගීත චිකිත්සාව සාර්ථකව භාවිත කළ හැකි අවස්ථාවක්. ආතති කළමනාකරණය කියල කියන්නත් පුළුවන්. අතිශයින් කාර්යබහුල හා සංකීර්ණ සමාජ වටපිටාවක සිටින බොහෝ දෙනකුට ආතතිය ප්‍රශ්නයක්.ආතතිය ඕනෑම වයසක සිටින අයකුට ඇති විය හැකි තත්ත්වයක්. හුදෙකලා වීම නොතකා හැරීම වැනි නොයෙක් තත්ත්ව නිසා අසරණභාවයට පත් වන්නන් ඉන් අසහනයට පත්ව සිය දිවි නසා ගන්නා මානසික තත්ත්වයකට පවා ඇද වැටෙනවා. එය වළක්වාගත යුතුයි. අදාළ පුද්ගලයාගේ මානසික තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් යුතුව පුද්ගලයා ප්‍රිය කරන සංගීත ශෛලිය හඳුනා ගනිමින් සංගීත චිකිත්සාව ඔහුට හෝ ඇයට ලබා දිය යුතුයි. ඔහුගේ පවුලේ පසුබිම හා සංගීත රුචිකත්වය ද අදාළ කරගත යුතු යි. ඉන්දියානු රාගධාරී සංගීතය ප්‍රිය කරන අයකුට බටහිර සම්භාව්‍ය සංගීතය රස විඳීමට සැලැස්වීමෙන් ඔහු තව තවත් ආතතියට ලක්විය හැකියි. චිකිත්සකයකු මේ පිළිබඳ මනා අවබෝධයකින්ක්‍රියා කළ යුතුයි.

* සංගීතය හදාරන හැමදෙනාටම සංගීත චිකිත්සකවරයෙක් වෙන්න හැකිද?‍

සංගීත චිකිත්සකවරයකු වෙන්න නම් එයට බලපත්‍රයක් ලැබිය යුතුයි. තමන් සංගීත චිකිත්සකයකු ලෙස හැඳින්වීමට බොහෝ දෙනා කැමැති වුවත් එම බලපත්‍රය ලබා ගැනීමෙන් තොරව පිළිගත් මට්ටමින් මෙහි නියැලිය නොහැකියි.

අදහස්