සියවසකට වැඩි තුන්ගුස්කා අභිරහස | සිළුමිණ

සියවසකට වැඩි තුන්ගුස්කා අභිරහස

1908 වසරේ ජුනි 30වැනිදාට හිරු පහන් විය. වෙනදා මෙන්ම කිසිදු වෙනසක් නැතිව හෝරා කිහිපයක කාලයක් දවසෙන් ගත වී ගියේය. ඔරලෝසුවේ කටු කෙමෙන් කෙමෙන් උදෑසන හතේ කණිසම සටහන් කරමින් ඉදිරියට ඇදෙන්නට විය. සයිබීරියාවේ වනවරා ප්‍රදේශයේ නිවෙසක ජීවත් වුණු මධ්‍යම පාන්තික ගම්වැසියෙක් එවෙලෙහි විවේක සුවයෙන් පසු වූයේය. ඔහු සිටියේ සිය නිවෙසේ ඉදිරි දොර අද්දරට වන්නට පුටුවක් මත කල්පනාවක නිමග්න වෙමිනි. ඔහුගේ නිස්කලංක සුවය පමණක් නොව අවට පරිසරයේ සියල්ලමද උඩු යටිකුරු කරමින් එකෙනෙහිම හැලහොල්මනක් නැති පරිසරයේ මහා පිපිරුමක් ඇති වූයේය.

මේ පිපිරුමත් සමඟ ඇතිවුණු සිද්ධි දාමය මිනිසාට හොඳාකාරවම පෙනිණ. තමන් සිටි තැනින් උතුරු පැත්තට වූ ඉහළ අහස දෙකොටසකට බෙදී ගිය හැටි හෙතෙම පැහැදිලිවම දුටුවේය. එසැණින් මහා ගිනි ජාලාවක් පුළුල්ව සහ ඉහළට නැඟෙන්නට විය. ඔහු සිටි ස්ථානයට උතුරු දෙසින් වූ වනාන්තර බද පෙදෙසින් ඒ ගිනි ජාලාව නැඟෙන බවක් ඔහු දුටුවේය. අහස කොටස් දෙකක් කළ පැල්ම තව තවත් වැඩෙන බවක් ද පෙනෙන්නට විය. මුළුමහත් උතුරුකරයම ගිනි ජාලාවකින් වැසී යන සැටියක් ඔහු ඊළඟට දුටුවේය. දැඩි උණුසුමක් ඔහුගේ සිරුරට දැනිණ. ඒ උණුසුම දරාගන්නට බැරි තරම් වූයේය. හරියටම කිවහොත් එය, සියලඟ ගින්නෙන් දැවෙන කල දැනෙන තරමේ රස්නයකි. මේ තරම් දැඩි රස්නයක් එන්නේ කොතැනින්දැයි බැලූ විට එක්වරම ඔහුට පෙනී ගියේ එය උතුරුකරයෙන් ඇදී එන සැටියකි. තවත් ටික වෙලාවක් ගතවන විට මහා ශබ්ද නැඟෙන්නට විය. ඒ ශබ්ද සමාන වූයේ කුමකට හෝ කළ තඩි බෑමකටය. ශබ්දයේ සැර කෙතරම් ප්‍රබල වීද කිවහොත් මිනිසා නතර වූයේ හිඳගෙන හුන් තැනින් මීටර කිහිපයක් එහාට විසි වීමෙන් පසුවය. ශබ්දවලින් පසු ගල් වරුසාවක් වසින්නාක් මෙන්ද කාලතුවක්කු සිය ගණනකින් ගිනි බිඳෙන්නාක් මෙන්ද පොළොව වේගයෙන් ඒ මේ අත වැනෙන්නාක් මෙන්ද ඔහුට දැනී ඇත.

මා මතු දැක්වූයේ ප්‍රබන්ධ කතාවක කොටසක් නොව පෘථිවිය මත සිදුවුණු මහා පිපිරුම් දාමයක් මිනිසකුට දැනුණ ආකාරය ගැනය. 1908 වසරේ ජුනි 30 වැනිදා පෙරවරු 7.17ට පමණ මේ පිපිරුම් සිදුවූයේ සයිබීරියාවේ තුන්ගුස්කා ගඟ ආසන්නයේ පිහිටි ප්‍රදේශයකය. පිපිරුම් හඬ කිලෝමීටර 750ක් ඈතින් පිහිටි නගරවලට පවා ඇසී ඇත. හදිසියේ ඇතිවුණු මේ ව්‍යසනය හේතුවෙන් නැගෙනහිර සයිබීරියාවේ ටයිගාහි වර්ග කිලෝමීටර 2150ක පමණ වනාන්තර ප්‍රදේශයක් විනාශ වී ගිය බව වාර්තාවල දැක්වේ. වෙනත් ආකාරයකට කිවහොත් පිපිරුම සිදුවුණු ස්ථානයේ සිට සැතපුම් 31ක අරයක් සහිත පෙදෙසකට හානි පැමිණ තිබුණේය. විනාශයට පත් ශාක සංඛ්‍යාව මිලියන 80කට අධික බව පසුව අනාවරණය විය. පිපිරුම් නිසා ඇතිවුණු කම්පන තරංග වායුගෝලය තුළත් මහ පොළොවේත් පැතිරි ගිය බව විද්‍යාඥයෝ සනාත කරති. පොළොවේ පැවැති කම්පන තරංග රිච්ටර් මාපකයේ 5ක් ලෙස සටහන්ව තිබිණ. එපමණ කම්පනයක්, විශාල නගරයක් වුව විනාශයට පත් කරන්නට සෑහේ. එසේ වුවද මේ පිපිරුමෙන් එවැනි හානියක් සිදු නොවීය. එයට ප්‍රධානම හේතුව වූයේ පිපිරුම බලපෑවේ මිනිසුන් ඉතා අඩුවෙන් වාසය කරන දුෂ්කර ප්‍රදේශයකට වීමය. එනිසා මිනිසුන් කිසිවකු ජීවිතක්ෂයට පත් වූයේද නැත. කෙසේ වුවද මේ අරුම පුදුම සහ භයානක පිපිරුම් මාලාවෙන් දින ගණනක් යන තුරු යුරෝපයේත් ආසියාවේත් රාත්‍රී අහස අඳුරු ස්වභාවයක් ගෙන තිබිණ.

පිපිරුම ඇතිවන්නට හේතුව උල්කාෂ්මයක බලපෑමක් වන්නට ඇතැයි රුසියානු ජනමාධ්‍යය සේවා පසුදාම වාර්තා කර තිබුණේය. නමුත් අන්තර් ජාතික ජනමාධ්‍ය සේවා පවසා සිටියේ ගිනිකඳු පිපිරීමක් සිද්ධියට හේතුවන්නට ඇති බවකි. කෙසේ වුවද රුසියා සහ සයිබීරියා මාධ්‍යවේදීහු සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් තොරතුරු එකතු කරගන්නට යුහුසුළුව සිටියහ. ඔවුන් එකතු කරගත් ඒ තොරතුරු පසු කාලයකදී මේ සිද්ධිය පිළිබඳව කෙරෙන අධ්‍යයන කටයුතුවලට ඉතා හොඳ අත්වැලක් විය. බැහැරින් කෙනෙකුට පිපිරුම සිදුවුණු ප්‍රදේශයට ළඟාවීම බෙහෙවින්ම දුෂ්කර විය. එනිසා ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂකයන්ට එකල එහි ළඟාවන්නට ඉඩක් නොලැබුණු තරම්ය. එහි ළඟාවන්නට පැවැති බාධාවන් සහ රුසියා දේශපාලනය මේ සිද්ධියේ අක්මුල් සෙවීම නවතා දැමූ බවත් ඊළඟට කිවයුතුව ඇත.

එනිසා කාලයක් යනතුරු සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විද්‍යාත්මක පර්යේෂණ සිදු වන බවක් දක්නට ලැබෙන්නේ නැත. පළමු ලෝක යුද්ධය, රුසියානු විප්ලවය සහ රුසියානු සිවිල් යුද්ධය ඊට බොහෝ දුරට හේතු විණි යැයි අනුමාන කරන්නට පුළුවන. විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමට පළමුවෙන්ම පෙලඹෙන්නේ ඛනිජ විද්‍යාඥයකු හැටියට කටයුතු කළ රුසියානු ජාතික ලියොනිඩ් කුලික්ය. හෙතෙම ඊට යොමුවන්නේ 1927 වසරේදී බව වාර්තාවල දැක්වේ. ඒ අනුව විද්‍යාත්මක පර්යේෂණයක් කර තොරතුරු අනාවරණය කිරීම ඇරඹෙන්නේ සිද්ධියෙන් දහ නව වසරකට පසුව බව පෙනේ.

1927 වසරේ මාර්තු 27වැනිදා විද්‍යඥ කුලික්, සයිබීරියාවේ වනවරා ප්‍රදේශයට ළඟා වූයේය. හෙතෙම ප්‍රදේශයෙන් දත්ත ඒකරාශී කරගැනීම ඇරඹුවේ අප්‍රේල් 13වැනිදා සිට බව දැක්වේ. වර්ග කිලෝමීටර 830ක ප්‍රදේශයක් පුරා දිරාපත් වෙමින් තිබුණු දැව කඳන් කෙරෙහි ඔහු විශේෂ අවධානයක් යොමුකළේය. මේ ආකාරයට ඒකරාශිකර ගත් දත්ත ආශ්‍රයෙන් 1927 වසරේදීම සිය නිගමන ඉදිරිපත් කරන්නට විද්‍යඥ කුලික්ට හැකිවිණ. ඔහු එහිදී කියා සිටියේ පිපිරීම නිසා ඇතිවුණු දෑ කිසිවක් ඒ වනවිට අදාල ප්‍රදේශවල මහා පොළොව මත දක්නට නොලැබෙන බවකි. එනිසා සිද්ධියෙන් පොළොවට පතිත වුණු ඝන ද්‍රව්‍ය කිසිවක් තිබේද ඒවා පොළොවේ වැළලී ඇතිවාට සැකයක් නැති බව හෙතෙම පෙන්වා දුන්නේය. තව දුරටත් ඔහුගේ නිගමනවලින් කියැවුණේ මෘදු තත්ත්වයෙන් යුත් කිසිවක් වී නම් ඒවා එපමණ කලක් පවතී යැයි කියා අනුමාන කරන්නට බැරි බවකි.

1934 වසරේදී සෝවියට් විද්‍යාඥයෝ පිරිසක් තුන්ගුස්කා පිපිරුම් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට යොමු වූහ. ඔවුන් සිය පර්යේෂණ අවසානයේදී කියා සිටියේ උල්කාශ්මයක් නොව ධූම කේතුවක් නිසා පිපිරුම් ඇතිවුණු බවකි. මේ නිගමනයට එරෙහිව නැඟෙන තර්කයට පදනම වැටෙන්නේ ධූමකේතුවක වැඩිපුරම අයිස් දැකිය හැකිවීම මතය. ධූම කේතුවක බලපෑම නිසා පිපිරුම් ඇතිවුණි නම් පිපිරුම අවස්ථාවේදී එහි ඇති අයිස් අනිවාර්යයෙන්ම ජල වාෂ්ප බවට හැරී අතුරුදහන් වේ. එවිට කිසිවක් ශේෂ නොවන බව විද්‍යඥයන්ගේ මතයයි. ඒ අනුව ධූම කේතුවක බලපෑම නිසා තුන්ගුස්කා පිපිරුම ඇති වූයේ යැයි නිගමනය කිරීම අතාර්කිකය.

තවත් සමහර විද්වතුන් පෙන්වා දුන්නේ ප්‍රදේශයේ ඇති ආවාට හෝ පෘථිවියට අයත් නොවන දේ හෝ පර්යේෂණයට ලක් විය යුතු බවකි. මේ පදනමෙහි පිහිටා කටයුතු කළ ඇතැම් විද්‍යාඥයන්ට චෙකෝ විලෙහි සම්භවය ගැන සොයා බැලීම හොඳ නිමිත්තක් විය. චෙකෝ විල නිර්මාණය වුණේ තුන්ගුස්කා පිපිරුමෙන් ඇතිවුණු ආවාටයක් හේතුවෙන් යැයි සමහර විද්වත්හු තර්ක ඉදිරිපත් කරති. නමුත් චෙකෝ විලේ සම්භවය ගැනත් තවම එකඟතාවක් නැත. එයට වඩාත් ප්‍රබල හේතුවක් වී තිබෙන්නේ 1908 තරම් කාලයේදී සයිබීරියාව ඉතා සියුම්ව සිතියම්ගතව නොතිබීමයි. 1908 වසරට පළමුව චෙකෝ විල තිබුණාද නැතිද යන්න ගැන එනිසා හරියටම කිසිවක් කියන්නට බැරිව ගොස් තිබේ. එනයින් චෙකෝ විල තුන්ගුස්කා සිද්ධිය සමඟ ඈඳාගන්නට ඉඩක් ලැබෙන්නේද නැත.

තුන්ගුස්කා පිපිරුම සිදු වී සිය වසකට අධික කාලයක් දැන් ඉක්ම ගොස් ඇත. මේ කාලය තුළ පිපිරුම සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වුණු බව සැබෑවකි. නමුත් ඒ කිසිදු මතයකින් තුන්ගුස්කා පිපිරුම හරියටම විග්‍රහ කරගන්නට බැරිවිය. තුන්ගුස්කා පිපිරුම සම්බන්ධයෙන් විද්‍යාඥයන් සියලුදෙනා පිළිගන්නා කාරණා කිහිපයක් ද තිබේ. පිපිරුමට හේතුව පැයට සැතපුම් 33,500ක වේගයෙන් පෘථිවියේ වායුගෝලයට විසිවුණු කිසියම් ආකාශ වස්තුවක් විය හැකිය යන්න ඒ අතර ඇති එක් කාරණයකි. අනෙක් කාරණය වන්නේ ඒ අන්දමින් සිදුවුණු පිපිරීම, හිරෝෂිමාවට හෙළුෑ බෝම්බය තරමේ බෝම්බ 185ක් එකවර පිපිරී යෑමෙන් ඇතිවන පීඩනයට සහ තාපයට සමානය යන්නයි. කෙසේ වුවද පිපිරුම සම්බන්ධයෙන් උත්තර නැති ප්‍රශ්න කිහිපයක් මානව සංහතිය හමුවේ තවමත් ඇත. පිපිරුමට හේතුව මෙන්ම අහස දෙකොටසකට බෙදුනේ ඇයි යන ගැටලු ඒ අතර තිබේ. මේ ගැටලු විසඳා ගන්නට අදටත් විවිධ විෂය ක්ෂේත්‍රවල විද්‍යාඥයෝ පර්යේෂණ කරති.

මංජුලා විජයරත්න

Comments