දරුවා කරපු වර­දට ඒ මනු­ස්සයා මොනව කර­න්නද? | සිළුමිණ

දරුවා කරපු වර­දට ඒ මනු­ස්සයා මොනව කර­න්නද?

උඹ මීට පස්සේ

‍ෙබ්බිලා ගැනත්

හෝදිසියෙන් ඉන්න ඕනෑ

දැක්කද.. ඊයෙ උදේ පාන්දර වලව්වට පිඹගෙන ආපු වාහනේ...?”

වෙලේ කඩේ මුදලාලි තේ බොයිලේරුවෙන් ලොකු ජෝගුවකට ‍ෙත් වත් කරන ගමන් අසන්නේ උද්යෝගයෙනි. තේ බීමට තුන්හතර දෙනෙක් ම ඒ වන විටත් ඇවිල්ලාය.

“මොන වලව්වටද මුදලාලි”

සුද්ධ කරපු පොල් ඉරටුවකින් දත් හාරන ගමන් තේගිරිස් අසන්නේ ඕනෑවට එපාවටය.

“මොන වලව්වද අහන්නෙ? මේ අහල පහල තව වලව් තියෙනවායැ...? ශ්‍රීජය වලව්ව බං...! ශ්‍රීජය වලව්ව...!”

“ආ... ඒක මිසක්කා... අපේ අප්පුච්චලා කාලෙ ඒකට කිව්වෙ නම් රත්නසේකර වලව්ව කියලා... ඕං ඔය පොඩි බේබි හාමු උපන්නට පස්සෙ නොවැ... අලුත් නම් කෑල්ල එක්කාසු කොලේ...”

ජයසිරි එහෙම කියන්නේ තේ වීදුරුව අතට ගනිමිනි. වීදුරුව රත්වෙලා නිසා ඔහු ඒක බංකු කො‍ෙන් තියන්නේ ඔලොක්කු හිනාවක් එක්කය.

“අ‍පොයි කොච්චර වුණත් මහ හාමු මහත්තයා ඉන්දැද්දි හරියට ගමත් එක්ක සම්බන්ධයි නොවෑ. ගම්මුලාදෑනිකම් එහෙමත් කොරාගෙන ගමටත් වැඩ කොරගෙන නෙ හිටියෙ. ඔය විල්ප්‍රඩ් හාමු තමා මහා උද්දච්චයා.. අන් මන්දා දරුවො දෙන්නා කොහොම හැදේවිද මන්දා.. අර නෙතු බේබි නං ටිකක් යහපත් පාටයි...”

“ඔය කතා අපට වැඩක් නෑ. දැන් මොකද වුණා කියන්නෙ ඊයෙ...”

“ඊයෙ මේ කඩේ ළඟින් දුං පිඹගෙන ගියේ නැතෑ මහා තඩි නැව් වාහනයක්.. මං හොස්ස පොවල බැලින්නං විල්ප්‍රඩ් හාමුගෙ නංගිගෙ මූණුවර දැක්කා... නංගියි මස්සිනයි ඒ ඇවිත් තියෙන්නෙ...”

“මුදලාලි සීනි කිලෝ එකකුයි පරිප්පු දෙසියපනහකුයි දීලා හිටියනං” ඒ අගිද නැන්දාය.... “ආ තව අල පන්සීයකුත්...”

“මොකෝ බං ඔච්චර හදිසි?... හිටපං ‍කො ඩිංගක්..”

“අපිට ඉතිං උඹලට වගේ හදිස්සියක් නෑ බං.. හෙට මට සිල්ගන්න තීනවා. ඉතිං මේ ඕනෑකොරන අඩුමකුඩුම ටික ගෙනිහිං දාලා නාලා කරලා හවස් අතේ යනවා අපේ ගම්පහ ලොකු දූලයි ගෙදර... සිල්ගන්න යන්නෙ කැලණි විහාරෙට ඒකයි...!”

“ඇත්තට.. අනේ සාදු.. අපටත් එක්කලා පිං පුරෝගෙන වරෙල්ලකො එහෙනං... ආං... මේ බඩුටික...”

මුදලාලි අනිත්වැඩ පැත්තක තියෙද්දි අගිද නැන්දාගේ කටයුත්ත ඉෂ්ට කර දෙන්නේ ඇගේ හදිස්සියට ගරු කරලා වගේය.

“මොකක්ද මුදලාලි අර කියන්න ගියේ විල්ප්‍රඩ් හාමුගෙ නංගියි මස්සිනයි ගැන...”

අගිද නැන්දා බඩු පාර්සලයත් ගුලි කරගෙන බංකුවක වාඩිවෙද්දි තේගිරිස්ට හිනාය.

“ඇයි.. මොකෝ බං උඹේ හදිස්සියට උණේ? ඈ”

“අනේ මේ උඹ අනුන්ගෙ සීනි නොකිර හිටහංකො. හැබෑට මුදලාලි.. මාත් ටිකක් කනින් කොනින් සිද්ධියක් දන්නවා...”

දැන් මුදලාලි එකවරම තේ කහට අට දහයක් ම දමන්නේ මැෂිමක් ගානටය. ඒ එන්න එන්නම ගනුදෙනුකරුවන් වැඩිවුණු නිසාය.

“මට බං.. ආරංචිය ලැබුණෙ ඔය රත්නපුරේ වලව්වෙ ඉන්න එකම දෝණියන්දෑ මෙන්න මේ ආලවට්ටමක් හදාගෙන පැනලා ගොහිල්ලා කියලා...”

“ආ... හරි නේන්නම්... මටත් ආරංචියි.. ඒ බේබි නෝනා පාත්තයෙක් එක්ක පැනලා ගියා කියලා..!”

අගිද නැන්දාගේ ඒ කතාවත් එක්කම තේ බිබී හිටපු හතර දෙනෙකුගේ ම කටවල්වලින් ‘සරූස්’ ගා තේ කහට පැන්නේ හිනාව වළක්වන්ට ගොහිල්ලාය.

“මොකක්? කොහොමද බං ‘පාත්තයො’ එක්ක පැනලා යන්නේ..”

“නොද්දකිං... ඉතරක් උඹලට ඒක නෙතේරෙන හැටි.. පාත්තයො කියන්නෙ බං පාතරැටියො.. උඩ රැටියො නෙමේ..”

“දැන් අගිද හාමි අක්කෙ උඹලට ඕපාදූපයක් කියෝගන්න තියෙනං හදිස්සියක් නෑ නේද බං... අපිත් හොඳ පාත්තයො තමා.. අපි දකුණේ නියම වැඩ දන්න මිනිස්සු තමා හරිය...?”

මුදලාලි කියන්නේ හිනාවේගෙනය.

“මං යනෝ යන්න බං... මං වරදක් කිව්වෙ නෑනෙ.. අපේ මනුස්සයත් පාත්තයෙක් තමා...”

නිතඹ පද්ද පද්දා අගිද හාමි යන්නේ කට්ටියම හිනාගන්වමින්ය.

මුදලාලිත් හොඳට ම හිනාවෙයි.

“හා අගිද හාමිට ඉතිං අපට වඩා කිට්ටු ආරංචි එන්නේ. එයායිගෙ නංගිගෙ පුරුෂයා ඉන්නෙත් ඔය රත්නපුරේ පැත්තෙ නෙවැ.”

“ඊයෙ විල්ප්‍රඩ් හාමුට හොඳටම කේන්ති ගොහිල්ලා ඉතිං.. එයැයි නංගිට තමා දෙස් දෙවොල් තියලා තියෙන්නෙ දුවව හරියට හදාගත්තෙ නැතිව වරිගෙ නහලා දැම්මා කියලා... නංගිටයි මස්සිනාටයි දෙන්නට බොහොම බරපතළ විදියට කඩාගෙන පැන්නලු. ලජ්ජා නැතිව තව ඒක කියන්න ආවද කියලත්...”

“අම්මච්චියේ...”

ලීලාවතී කම්මුලට අත තියාගනීයි.

“මට අර එහේ ඉන්නා කුමාර කොලුවා කඩේට ආපු වෙලාවෙ කිව්වා විල්ප්‍රඩ් හාමු කිව්වලු රටම පීරලා හරි කෙල්ලව ආපහු වලව්වටම එක්කරං එන්න කියලා..”

ආයෙමත් මුදලාලිය.

“ඒ මොන එහෙකටද බං පැනලා ගිය එකියක් ආයෙ ගෙන්න ගන්නෙ... මොකෝ කාටවත් බන්දලා දෙන්න කියලයැ...”

“ගේ අස්සෙ නාකි වෙන්න දුන්නත් කාරි නෑ කියලනෙ ඔය හාමු කියලා තියෙන්නෙ... අපිට ඕවා තේරෙන්නෙ නෑ ඉතිං වලව් උද්දච්චකම් තේරෙන්න ඒ ඒ කට්ටියටම තමා...”

“අනේ අපි දන්නෙ නෑ ඕං. නඩුත් උංගෙ බඩුත් උංගෙ... හහ්හා...” ආප්ප පුච්චන ලයනල් එකපාරටම තාච්චි දෙකකට ආප්ප මිශ්‍රණ දමා කරකවන ගමන් කියන්නේ ඇසුත් කරකවන ගමන්ය.

*************

මෝටර් රථයෙන් බැස ගේට්ටුව අසල සිට පාසල කරා ඇවිදගෙන යන ගමන් ශ්‍රීමාල්ට හා ජයමාල්ට කතාකරන්ට දේවල් එමටය. ඒ කිසිම දෙයක් ගැන විවෘතව කතාකරන්නට ගෙදරදී ඉඩක් නැති නිසාය.

“මට නම් එපා වෙලා තියෙන්නෙ අයියෙ... මේ වලව් කතන්දරේ කොල්ලන්ට හරි විහිළුවක්ම වෙලා... බැරිවෙලාවකවත් මගේ කටින් කියවුණොත් මං ගෙදර ගිහිල්ලා මේක කරගෙන එන්නම්කො කියලා... නලින් හිනාවෙනවා... හා... හා.. උඹට අමතක වුණාද.. ගෙදර නෙමේ වලව්ව... වලව්ව කියලා. ඊළඟට කොල්ලො ඔක්කොම හිනාවෙනවා. හිනාවෙලා හිනාවෙලා කඳුළු එනකම්ම හිනාවෙලා පස්සෙ කියනවා ‘සොරි.. අනේ අපි විහිළුවක් නෙ කළේ’ කියලා..”

“දැන් ඔක්කොටම හපන් මට බය රත්නපු‍රේ සමන්ති අක්කගෙ වැඩෙත් ආරංචි වෙලාද දන්නෙ නෑ. මං ඉඳලා ඉවරයි එහෙම වුණොත් නං... අපේ ක්ලාස් එකේ ඉන්න දිලිප්ලගෙ තාත්තා අපේ අප්පච්චිලත් එක්ක පුදුම වයිරෙකින් ඉන්නේ.. මොකක්දෝ ඉඩම් නඩුවක් හින්දා. එයාගෙ බාප්පා ඉන්නේ රත්නපු‍රේ ඔය ඉසව්වෙමයි...”

ශ්‍රීමාල් පන්තියේ පාඩම් කටයුතු කරද්දිත් හිටියේ බර කල්පනාවකය. උසස්පෙළ විභාගය සඳහා වැඩකටයුතු අධිකය. බාහිර පංති වලට හැමදෙනාම පාහේ ගියත් තමාට යන්නට ලැබෙන්නේ සීමිත පංතියකට විතරක්ය. පාසලේදී පිරිමි ළමයින් පමණක් ඇසුරු කරන්නට සිදුවන නිසා බොහොමයක් පිරිමි ළමයි පෞද්ගලික පන්තිවලට යෑමට කැමතිය. ශ්‍රීමාල්ගේ ළඟම මිතුරන් දෙදෙනෙකු ම මේ උපකාරක පන්තියකදී හමුවූ කෙල්ලන් දෙදෙනකු සමඟ ආදරයෙන් පැටලිලාය. ඔවුන් දෙදෙනාගේ කතා ලතා කියුම් කෙරුම් සියල්ලම දැන් වෙනස් වෙලා බව ශ්‍රීමාල්ට තේරෙයි. ඔහුට ඒ ගැන දුකය. ඒ මිතුරු දමේ දුරස්කම නිසා ඇතිවූ දුකක් මිස වෙන දෙයක් නිසා යැයි කිව නොහැක. ආදරවන්තියක් හොයාගෙන දෙමාපියන්ගෙන් දුරස් වී ඉගෙනීමේ කටයුතුවලටද බාධා කරගන්නට ශ්‍රීමාල්ට උවමනාවක් නැත.

සති අන්තයේදී ‍ගෙදරට ඇවිත් ටියුෂන් දෙන ගුරුවරයාම මල්ලිගේ පාඩම් කියාදීමටත් යොදාගැන්ම එක අතකට හිතට සැනසිල්ලකි.

“මං ඔයාට මගේ නෝට්ස් ඔක්කොම දෙන්නම් ඒ ගැන කිසිම දුකක් හිතන්න එපා. ඔයාගෙ අප්පච්චිලගෙ හණමිටි අදහස් වලට විරුද්ධවෙලා වැඩක් නෑනේ. අවනත ‍වෙලා මොළේ පාවිච්චි කරලා ගොඩ එන එක විතරයි ඔයාටයි මල්ලිටයි කරන්න තියෙන්නෙ...”

හිතමිතුරු සිරිනාත එහෙම කියද්දී ශ්‍රීමාල්ගේ ඇස්වලට කඳුළු පිරේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ මෙහෙම දේවල්වලට යැයි සිතෙද්දී ඒ කඳුළු අතරින් හිනාවක් ද මතු වෙයි.

“ඔයා දන්නෙ නෑ සිරි, අපේ රත්නපුරේ සමන්ති අක්කයි මලින්ද අයියයි දෙන්නාම පුංචි කාලේ ඉඳන් හරිම තද විදියට පාලනය වුණේ ඒ සුදු නැන්දගෙනුයි මාමාගෙනුයි. දවසක් මලින්ද අයියා මොකක්දෝ වැරදි වැඩක් කරලා එයාව ගහක බැඳලා දිමි ගොටුවක් කඩලා දාලා පැය බාගයක්ම තිබ්බලු. එහෙව් මනුස්සයා අපේ රත්නපුරේ මමා! එයා බැඳපු සුදු නැන්දා තමා අපේ අප්පච්චිගෙ නංගී.”

“ඉතින් සුදු නැන්දාවත් ඕවගෙ දඬුවම්වලට විරුද්ධ වෙලා නැද්ද? බලාගෙන ගියාම සමන්ති අක්කලා හිතුවක්කාර වෙන එක අහන්න දෙයක්යැ.. ඒ අතින් බලනකොට අපේ අම්මලා තාත්තලාට නම් මල් තියලා වැන්දත් මදි... ඒ මිනිස්සු අපි වෙනුවෙන් සල්ලි හම්බකරන්න මොන තරම් යුද්ධයක් කරනවද... ඒත් අපට මොනතරම් ආදරේද.. අනික අපේ පවුලෙ හය දෙනෙක්!”

සිරිනාත ගැන ශ්‍රීමාල්ට වගේම ජයමාල්ටත් දුකය. එදා පාසල් ඇරිලා වාහනය එනකම් සෙල්ලම් පිට්ටනියේ අඹගහ යටට වෙලා වාඩිවෙලා ඉඳිද්දි ශ්‍රීමාල්ට ඉබේටම කියැවුණේ සිරිනාත ගැනය.

“බලන්න... එයා ටවුමෙ‍ මේ වගේ ලොකු ඉස්කෝලෙකට ආවට සපත්තු මේස් එහෙම හරියට පිරිමහගෙන අඳින්නෙ.. යුනිෆෝම්.. කලිසම් එහෙමත් පාට පිච්චිලා... බලන්නකො අපේ අප්පච්චිලාගෙ ලාච්චුවලට දවසකට මොනතරම් සල්ලි කන්දරාවක් පිරෙනවද? බැංකුවකට දානකම් ඒ සල්ලි ඔහේ උඩබලාගෙන ඉන්නවා.. මට හිතෙනවා කීය කීය හරි සල්ලි ගහලා මේ සිරිනාතලා වගේ අයට උදව් කරන්න.. අනේ ඇත්තට..!”

ශ්‍රීමාල්ගේ කතාවට ජයමාල්ගේ ඇස් උඩ යයි. කට ඇදවෙයි.

“හෑ... අනේ... මේ අයියෙ..! ඔයා ඒපාර නූතන සරදියෙල්ගෙ පාට් එකද ඇක්ට් කරන්නෙ.. අනේ මේ නිකා ඉන්න අයියෙ... කොච්චර ට්‍රයි කළත් තියෙන තැනකින් ටිකක් අරගෙන නැති තැනකට දීලා තාවකාලික පැලැස්තරයක් දාලා සමාජෙ සම කරන්න බෑ අයියෙ..”

“හා.. මල්ලි ඔයා දැන් හරි දියුණුනෙ.. මේ දවස්වල කවුද ආස්සරේ කරන්නෙ.. ආ... හා.. හා..යං.යං ඔය එන්නෙ අපේ රාජකීය රථ රාජයා.. මේ ඩ්‍රැයිවර් ළඟදි ඔය අනංමනං කතා බෑ හරිද... ඔක්කොම ගිහිල්ලා අප්පච්චිගෙ කනේ තියාවි...”

*********

ඈත කඳු මුදුන් උඩින් රත්තරන් පාටට හිරු එබිකම් කරයි. ‘ශ්‍රීජය පායේ’ මහ මිදුලට වගේම දිග ආලින්දයටත් ඒ රත්රන් පාට හිරු රැස් වැටිලාය. වලව්වේ මැද මිදුලේ මල් පාත්තිවලට සාත්තුකරන ගමන් ජන්තු හෙමිහිට ආලින්දය පැත්තට ඇස් යොමු කරන්නේ නිර්මලා මැණිකේ හාමු ආලින්දය පැත්තට යනවා දුටු නිසාය.

රත්නපුර වලව්වේ සිද්ධ වෙච්ච අලකලංචිය ජන්තු වගේම සිරියාගේ හිතත් සසල කරලාය. තමුන්ගේ එකම දුව මලක් වගේ හදා වඩා ආරක්ෂා කළ එකම දුව පවුලේ කුලුඳුල් දරුවා මේ වගේ ආතක් පාතක් නැතිව පිටස්තර පිරිමියෙකු එක්ක පලා යෑම ඒ දෙමාල්ලන්ට මොන තරම් දුකක් කනගාටුවක් දෙනවා ඇත්ද?

“සුදු මැණිකෙ හාමු පපුව පැළිලා මැරුණෙ නැතිවා පුදුමයි. දැක්කනේද වැලහින්නක් වගේ අඬා දොඩාගෙන ආපු හැටි...” එදා රෑ සිරියා ඒ ගැන කතා කළේ හරිම කම්පාවෙනි.

“..මට නං කනගාටු එච්චරට විස්සෝපෙන් ආපු ඒ හාමුට අපේ ලොකු හාමු කඩාපැනලා තර්ජන ගර්ජන කොරාපු එකට... අපේ හාමුගෙ ඉතිං තියෙන්නෙ වලව් ඌෂ්ෙණ් මිසක්කා දරු කැක්කුම් නෙමේනෙ.. අනේ අම්මපා.. එදා අර අපේ හාමු තමුන්ගෙ සිංහ බස්තමෙන් අර සුදු මැණිකෙ හාමුගෙ ඔළුව පැලුවෙ නැතුවා විතරයි.. දුව ලව්වා වරිගෙ නැහෙව්වා කියලා.. දරුවා කොරපු වැඩේට ඒ මනුස්සයා මක්කොරන්නද බං... අනික සුදු මැණිකෙ හාමුගෙ සුවාමියාටවත් නැති වේගයක්නෙ.. අපේ ලොකු හාමුට ආවෙ.. හඃ..”

ජන්තුට ඒ දෙබස් හොඳහැටි මතකය. දැන් ලෝකෙ කොහෝ හිටියත් සමන්තා බේබි හාමු ආපහු වලව්වට කුදලාගෙන ඒවි... ඒකෙ ආයෙ දෙකක් නැත.

“ඒයි.. ජන්තුවා! මෙහාට ආවානං!”

කල්පනාවලියෙන් මිදිලා ජන්තු එක සීරුවට ආලින්දයට දිව යයි.

ආලින්දයේ හාමු ‍ජෝඩුව බර කතාවකය.

“‍හොඳට කන් දීගෙන හිටපං.. ඔය ටෙලිපෝන් එක නාද වෙ ද්දි අපට කියන්නෝනැ... වලව්වෙ කොයි අස්සක මුල්ලක හිටියත් උඹට ඒ සද්දෙ ඇහෙන්නෝන තේරුණාද?....”

ජන්තුවා “එහෙයි එහෙයි” කියන්නේ කන්දෙක ම අත් දෙකින් පිසදමමින්ය. මීට පස්සේ ඉතින් තමුන්ගේ ශරීරයේ තියුණුම ඉන්ද්‍රිය විය යුත්තේ තමුන්ගේ කන්දෙක බව ලොකු හාමුගේ අනාඥාවෙන් ඉස්තිරි කරගෙන වගේය.

ඊළඟට විල්ප්‍රඩ් හාමු ආසනයෙන් නැගී සිටින්නේ රජකෙනෙකු සිංහාසනෙන් නැගිටිනවා වගේය. සිංහ ඔළුව සහිත බස්තම ඉදිරියට හා යටිඅතට තාලයකට වනමින් ඔහු ආලින්දයේ එහාට මෙහාට ඇවිදිනවාය.

“ඒ එක්කම උඹට තව වැඩක් පැවරෙනවා... ජන්තු... මීට පස්සෙ බේබිලා දෙන්නා ගැන හෝදිසියෙන් ඉන්න ඕනෑ. හරිද..!”

“එහෙමයි හාමු...”

එවිටම මැණිකෙ හාමුත් ආසනයෙන් නැගිටලා පැතිකවුළුව අල්ලාගෙන තවත් යමක් කියයි.

“මට අපේ මහත්තයාට කියන්න බැරි වුණා.. අපේ පොඩි පුතාට අයි‍යගෙ කාමරේම ඇඳක් දාලා හදලා දෙන්න කියලා මට කිව්වා..!”

“මොක! ඒ අහවල් දේකටද?”

දැන් ලොකු හාමු එකතැන නැවතී ටිකක් සද්දෙන් කියයි.

“මේකයි.. අපෙ මහත්තයා.. එයාට පාඩම් අහගන්න වැඩවලටත් ඒක ලේසියි කියන්නෙ.. අයියාගෙන් ගොඩාක් පාඩම් අහදැනගන්න ඕනලු...”

“හ්ම්.. ඒක මිසක්කා..”

දැන් හාමුගේ සැර බාල වෙයි.

“එතකොට ලොකු පුතා ඒකට කැමතිද?”

“අනේ ඔව් අපෙ මහත්තයා... එයත් කිව්වා මල්ලිට පාඩම් කියා දෙන්න වගේ ම දෙන්නාටම රෑට පාඩම් කරන්නත් ඒක හොඳයි කියලා...!”

“මයෙ මොකෝ... එහෙනං.. ජන්තු... එහෙනං උඹ අදම පොඩි බේබි හාමුගෙ ඇඳ ඒ කාමරේට දාන්න ලෑස්ති කරපං!”

“එහෙමයි ලොකු හාමු...”

“එහෙනං ඒ වැඩේ අද දවල් නෙමෙයි හෙට දවල්ට... හරිද?”

“එහෙමයි ‍ලොකු හාමු...”

දැන් ජන්තු එතැනින් සමුගෙන සාලය මැදින් යන්නේ සාලයේ කෙළවරක කැටයම් ටී‍පෝව මත ඇති දුරකතනය දිහාත් බලන ගමන්ය.

“එතකොට මැණිකෙ.. මැණිකෙ විතරක් තනියමනෙ කාමරේ...?” විල්ප්‍රඩ් හාමු මෘදු බැල්මකින් බිරිය දෙස බලයි.

දරුවන් ‍ටිකක් ලොකු මහත් වුණාට පස්සේ තමුන් දෙදෙනා එක කාමරයක නිදාගැනීම හොඳ නැතැයි සිතුණු හැටි දෙදෙනාට ම මතකය. එනිසාම ඒ කාමරයේ ඇඳ පොඩි පුතාට දී තමා වෙනම තනිකාමරයකට නිදාගන්නට ආපු හැටි විල්ප්‍රඩ් හාමුටත් මතකය.

“කොහොමත් අපෙ මහත්තයා, මටත් හිතිලා තිබුණෙ... පොඩිපුතා දැන් පුංචි ළමයෙක් නෙමේනෙ... එයාට වෙනම කාමරයක් දෙන්න ඕනෑ කියලා මටත් හිතුණා... දැන් කමක් නෑ එයාලා දෙන්නාම කැමතිනෙ එක කාමරයක් බෙදාගෙන ඉන්න...”

“හ්ම්... හ්ම්... මේ සාගරයක් වගේ වලව්වෙ... ඕනෑරම් ඉඩකඩ...! කමක් නෑ.. ඒ දෙන්නාගෙ සහෝදර බැම්මටත් ඉඩකඩ දෙන එක අපේ යුතුකමක්නේ...!”

විල්ප්‍රඩ් හාමුගේ මුවගට හීනියට හිනාවක් නැගෙයි.

ඒ එක්කම සාලයේ නිදා හිටිය කෙනෙක් අවදිවෙයි.

“ට්‍රීං... ට්‍රීං.... ට්‍රීං....!”

ලබන සතියට

Comments