පරිසර හිතැති නිපැයුම් සමඟ THINK GREEN | සිළුමිණ

පරිසර හිතැති නිපැයුම් සමඟ THINK GREEN

වර්තමානයේ මුළු මිහිතලයටම මහත් පිළිලයක්ව පවතින නොදිරන පොලිතින් සහ ප්ලාස්ටික් මෙරට භාවිතය නීතියෙන්ම තහනම් කිරීමට ඉකුත් පළමු වැනිදා සිට වත්මන් රජය ගත් තීන්දුව ඉතාම කාලෝචිත සහ ඥානාන්විත ක්‍රියාදාමයක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් නොදිරන පොලිතින්වලින් නිෂ්පාදනය කළ ගෘහාශ්‍රිත භාවිත කළ පොලිතින් බෑග්, සිලි මලු ආදිය වෙනුවෙන් විකල්ප මේ වන විට තවමත් එතරම් ප්‍රචලිතව නොමැත.

එම නිසා දූෂණයෙන් තොර හිතකාමී පරිසරයක් ගැන සිතන සෑම පුරවැසියෙක්ම නොදිරන පොලිතින් අවභාවිත කරමින් එදිනෙදා ප්‍රයෝජනය සඳහා පරිසර හිතකාමී නිෂ්පාදනවලට පෙළඹිය යුතු කාලය දැන් එළැඹ තිබේ. එවැනි පරිසර හිතකාමී හෙට දවසක් ගැන හිතන අයවලුන් සඳහා විසඳුම් සෙවීමට වෙහෙසන චරිතයක් ලෙස ඉන්දික රණසිංහ තරුණයා හැඳින්විය හැක.

කෑගල්ලේ වෙසෙන ඉන්දික මේ වන විට විශේෂයෙන්ම ගෘහාශ්‍රිත භාවිත කළ පොලිතින් වෙනුවෙන් විකල්ප හඳුන්වා දෙමින් පරිසර හිතකාමී රටක් නිර්මාණය කිරීමට දැඩි වෙහෙසක් ගනී.

මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ණ සහාය ඇතිව එකෝ සොලූෂන්ස් (Eco Solutions) නමින් කුඩා ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන ඉන්දික අප සමඟ මෙසේ කතාබහට එක්විණි.

“මට අවශ්‍ය පරිසර හිතකාමී රටක් නිර්මාණය කිරීමට දායක වීමටයි. එම නිසා මා සතු දැනුමින් ප්‍රයෝජනයක් ගැනීමට ඉවත දමන ඩෙනිම් කලිසම් කෑල්ලකින්, විසි කරන සීනි හෝ හාල් උරයකින්, කඩෙන් ගෙනෙන පෝර උරයකින් අපට පුළුවන් ඉතාම අලංකාරවත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් කරන්න. ඊට අමතරව පරිසර හිතකාමී නිර්මාණ ගැන මගේ තියෙන දැනුම අන් අය සමඟ බෙදා ගැනීමට නොමිලේ සම්මන්ත්‍රණ, දේශන රටපුරාම පවත්වනවා. රටේ යම් මතයක් තියෙනවා එකෝ ප්‍රෙන්ඩ්ලි නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට කළ නොහැකි බවට. ජනයා තුළ තිබෙන අන්න එවැනි මිථ්‍යා මත දුරු කරන්නත් අපි කටයුතු කරනවා. මෙන්න මෙවැනි කර්තව්‍යයන් රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස තින්ක් ග්‍රීන් (Think Green) නමින් වැඩසටහනක් දියත් කර තිබෙනවා.”

එවැනි කර්තව්‍යයක අරමුණ ද පැහැදිලි කළ ඉන්දික, “පරිසර හිතකාමී රටක් වගේම සමාජයක් ගොඩ නඟමින් පරිසර හිතකාමී නායකයන් දැයට දායාද කිරීමයි මගේ එකම අරමුණ.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර කළමනාකරණ උපාධිධරයකුද වන 39 හැවිරිදි ඉන්දික මෙවැනි පරිසර හිතකාමී නිර්මාණ සඳහා යොමු වූ අයුරුද පැහැදිලි කළේය.

“මම මුලින් කළේ මුද්‍රණ ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු. හැබැයි මං පොඩි කාලේ ඉඳන්ම පරිසරයට හරිම ආදරෙයි. නිතරම පරිසරය ගැන හිතමින් පරිසර හිතකාමී කටයුතුවලටමයි හිත යොමු කළේ. එහෙම ඉන්නකොට තමයි මට මෙවැනි දේකට හිත යොමු වුණේ. මුල ඉඳන්ම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට, කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කළා. තව මං අවුරුදු පහක් පමණ කොළඹ ඇඩ්වර්ටයිසින් ආයතනවල ග්‍රැෆික් ඩිසයිනින් සහ නිර්මාණ සැලැසුම් ශිල්පියෙක් ලෙස වැඩ කළා. ඒ 2000 සිට 2005 පමණ කාලෙ. ඒ කාලේ දැකපු දේවල්වලින් තමයි මට මේ වගේ කර්තව්‍යයට වැඩිපුරම හිත ගියේ. ඇත්තටම මගේ බිරිය නිලුකා කරපු ටෙක්ස්ටයිල් ඩිසයිනින් රැකියාවත් මේ කටයුත්තේදී මට ලොකු පිටිවහලක් වුණා.”

ඒ අනුව 2003 වර්ෂයේදී කුඩාවට ආරම්භ කළ එකෝ සොලුෂන්ස් ව්‍යාපාරයේ මේ වන විට 15 දෙනෙකු පමණ සේවය කරති. මධ්‍යම පරිසර අධිකාරිය, වාණිජ මණ්ඩලය ආදි රාජ්‍ය ආයතන හා සම්බන්ධව කටයුතු කරන ඉන්දික, “අපි ලංකා වාණිජ මණ්ඩලයට එක දිගට අවුරුදු 10ක පමණ කාලයක සිට පරිසර හිතකාමී නිෂ්පාදන සපයනවා. ලංකා වාණිජ මණ්ඩලය අන්තර්ජාතික සමුළුවලට ඉදිරිපත් කරන්නේද අපේ නිෂ්පාදනයි. එසේම තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ කාර්යාල වැනි මෙරට බොහෝ ආයතන රැසකට අපේ නිෂ්පාදන සපයනවා. ඊට අමතරව අපි වර්තමානයේ කරන ලොකුම කාර්යභාරය තමයි ගෘහාශ්‍රිතව භාවිත කළ නොදිරන පොලිතින්, ප්ලාස්ටික්වලට විකල්ප සකසා ගන්නෙ කෙසේද යන්න උපදෙස් දෙමින් කියා දීමයි. අද රටේ නොයෙක් ආකාරයේ කාන්තා සමිති, ව්‍යවසායක සංගම් තියෙනවානේ. එමෙන්ම පාසල් වගේම එක් එක් රාජ්‍ය, පෞද්ගලික ආයතනවලටත් පොලිතින් ප්ලාස්ටික් භාවිතයෙන් තොරව පරිසර හිතකාමී වටපිටාවක් ගොඩනඟා ගන්නෙ කෙසේද කියා උපදේශන සේවා පවත්වනවා.”

එවැනි කර්තව්‍යයන් සඳහා රටේ ඕනෑම තැනකට ගොස් තම සේවය නොමිලේම සැපයීමට ඉන්දික කැපවී සිටින බවද කීවේය. ඒ සඳහා ඉන්දිකට විශාල සහයෝගයක් ලබා දෙනුයේ මධ්‍යම පරිසර අධිකාරියයි.

“පරිසර අධිකාරිය සෑම විටම මාව උනන්දු කරනවා මගේ දැනුම රටපුරා ව්‍යාප්ත කරන්න. මොකද අද අපේ රටට පමණක් නොවේ ලෝකයටම තර්ජනයක්නේ මේ පොලිතින්, ප්ලාස්ටික්. මට ආයතනික මට්ටමෙන් විශාල නිර්මාණ කිරීමට තරම් වත්කමක් හෝ නිෂ්පාදන ධාරිතාවක් නැහැ. ඒත් මගේ එකම බලාපොරොත්තුව නිවාසාශ්‍රිත මිලියන ගණනක් වන ජනයා වෙනුවෙන් පොලිතින් භාවිතයට විකල්ප හඳුන්වා දීමයි. මේ දේවල් බැරි කෙනෙක් නැහැ. යම් තරමක නිර්මාණශීලි හැකියාවක් තියෙනවානම් පහසුයි” රජය හෝ වගකිවයුතු ආයතන වෙතොත් මහා පරිමාණ විසඳුම් සෙවීමේ ඕනෑම කාර්යයකට තමාගේ දැනුම මෙන්ම සේවය ද ලබාදීමට ඉන්දික නොපැකිළිව ඉදිරිපත් වන බව ද පවසා සිටියේය.

වර්තමානයේ රට-තොට ඇවිදින විට අපේම මිනිසුන්ගෙන් පරිසරයට වී තිබෙන ව්‍යසනය දකින විට මහත් කම්පාවක් ඇතිවන බව පවසන ඉන්දික රටේ ජනයාද ආකල්පමය වර්ධනයක් ඇතිකරගෙන පරිසර විනාශය අවම කරගැනීමට දායක වන ලෙස ඉල්ලා සිටී. ඒ සඳහා ජනයා සෑම විටම පරිසර හිතකාමී නිෂ්පාදන භාවිත කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

“මං හිතනවා මගේ ශක්ති ප්‍රමාණයෙන් විශාල කාර්යභාරයක් පරිසර අධිකාරිය සමඟ එකතු වී පරිසර හිතකාමී රටක් ගොඩනැඟීම වෙනුවෙන් කරනවා කියා. රටේ කොතැනක හෝ පොලිතින් ප්ලාස්ටික්වලට එරෙහිව යම් වැඩසටහනක්, ව්‍යාපෘතියක් කරනවානම් ඒ සඳහා මාගේ උපරීම සහාය ලබා දෙන්න මම සෑම විටම සැදී-පැහැදී සිටිනවා.” ජීවන ගමන සඳහා මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කළත් ඉන්දික සෑම විටම උනන්දු වන්නෙ පරිසර හිතකාමී රටක් ගොඩනැඟීමටයි.

අවසානයේ රටේ ජනයාට ඉන්දික පවසන්නෙ, “පරිසරයට අහිතකර කිසිදු දෙයක් තමන්ගේ අවට පරිසරයට මුදා නොහරින්න. එහෙම හැම කෙනෙක්ම කටයුතු කළොත් අනාගතයේ සැම දෙනාටම හිතකර පරිසරයක් ගොඩනැඟීම අපහසු කාර්යයක් නොවන බව පවසන ඉන්දික, අප කුමනාකාරයේ විසඳුම්, නිර්මාණ රටට එළිදැක්වූවත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකල්පවල විනයක් ඇතිවනතුරු අප කරන කියන දෙයින් පළක් නොවන බව ද පවසා සිටියේය.

යම් පමණක දැනුම් සම්භාරයක් සතු ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් පරිසර හිතකාමී ගමන් මල්ලක් නිර්මාණය කර ගැනීම පහසු කටයුත්තක් බව අවධාරණය කරන ඉන්දික රණසිංහගේ සේවය අවැසිනම් 0716244202 අමතන ලෙස ඉල්ලා සිටී.

 අමිල මලවිසූරිය

Comments