මිහිර විනෝ­දය ළම­යින්ට බෙද­න්නට පෙර පාසල් ගුරු­ව­රුන්ට ඉංග්‍රීසි පාඩ­මක් | සිළුමිණ

මිහිර විනෝ­දය ළම­යින්ට බෙද­න්නට පෙර පාසල් ගුරු­ව­රුන්ට ඉංග්‍රීසි පාඩ­මක්

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සලකා බැලුවොත් මම මේ කියන දේ අදාළ වන්නේ වැඩිපුරම කලා අංශයේ දරුවන්ට. මොකද කළමනාකරණ, වෛද්‍ය, ඉංජිනේරු ආදි විෂයයන් හැදෑරීමට කෙසේ හෝ ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිසා ඔවුන් ඒ අභියෝගයට මුහුණ දෙනවා. ඒත් කලා පීඨවල දරුවන් බහුතරයක් ඉංග්‍රීසි දැනීම ද්‍රෝහිකමක් ලෙස හිතන්න පුරුදු වී සිටිනවා. විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුසිසුවියෝ ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකය මඟින් මෙහෙයවන පන්තියට සහභාගී වූහ. එහිදී ගුරුතුමිය විවිධ ඡායාරූප ඉදිරිපත් කරමින් ඒවායේ පුද්ගලයන් පිළිබඳ මත විමසුමක් කළාය.

ගුරුතුමිය: මේ දෙන්නාගෙන් ලස්සන සුදු ගෑනු ළමයාද? කළු ගෑනු ළමයාද?

සිසුන්: සුදු ගෑනු ළමයා

ගුරුතුමිය: වඩා වැදගත් පෙනුමක් තිබෙන්නේ?

සිසුන්: කෝට් එක ඇඳලා ඉන්න එක්කෙනාගේ

ගුරුතුමිය: වැඩියෙන් ඉංග්‍රීසි කතා කරනවා ඇත්තේ?

සිසුන්: කොට ගවුම ඇඳපු සුදු ළමයා

ගුරුතුමිය: වැඩියෙන් උගත් කවුද කියලා හේතු සහිතව කියන්න?

සිසුන්: ඉංග්‍රීසිත් දන්න පෙනුමක් තිබෙන නිසා සුදු ළමයා වඩා බුද්ධිමත් ඒ වගේම උගත්.

“මෙන්න මේක තමයි අද බහුතරයක් විශ්වවිද්‍යාල සිසුසිසුවියන් අතර වගේම සාමාන්‍ය සමාජයේ වැඩි දෙනාගේ මතය. සුදු නම්, කෝට් අඳිනවා නම් ඉංග්‍රීසි පුළුවන්, වැදගත් කියලයි හිතන්නේ.” මධුභාෂිණී දිසානායක රත්නායක මහත්මිය පැවසුවේ තම අත්දැකීමක් පාදක කරගෙනය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරයි. වරක් ඇය එම අංශයේ ප්‍රධානියා වශයෙන්ද සේවය කළාය. එහිදී ඇය සරසවි සිසුන්ගේ 'ඉංග්‍රීසි භාෂා භීතිකාව' තුරන් කිරීමට විවිධ අධ්‍යාපනික ක්‍රමෝපායන් භාවිත කළ අතර එහි ඵලදායීත්වය පිළිබඳ ඇය අතින් ලියැවුණු ග්‍රන්ථය A thousand voiced choir නමින් එළි දැක්වුණි. Grammar through literature ග්‍රන්ථය ඇය රචනා කළේ සාහිත්‍ය භාවිතයෙන් විනෝදාත්මකව ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමය පිළිබඳ නිසි අත්වැලක් සැපයීම සඳහාය.

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය බොහෝ අවස්ථාවල සමත් වන්නේ අපේක්ෂකයන්ගෙන් සියයට හතළිහකට ආසන්න සංඛ්‍යාවකි. අපොස උසස් පෙළ විෂය ධාරාවලින් ඉහළම සමාර්ථ්‍ය ගන්නා සමහර සිසුන් පවා සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අසමත් වූ බවට හෝ අඩු සමාර්ථ්‍ය ලබා ගත් බවට ඇති සාක්ෂි ඕනෑතරම්ය. දස වසරකට අධික කාලයක් පාසල්වල ඉංග්‍රිසි බස ඉගෙන ගන්නා අප බොහෝ දෙනකු පොදු සමාජයේ ඒ බසින් සන්නිවේදනයට අසමත් වන්නේ ඇයි? මේ පැනයට මධුභාෂිණී දිසානායක රත්නායක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ පිළිතුර මෙසේ විය.

“අර මුලින්ම කියූ උදාහරණයෙන් ඇති කර තිබෙන ආකල්පය වගේම තවත් දේශපාලනික කරුණු රාශියක් එකට බැඳි තිබෙන නිසා මේ ශ්‍රී ලංකාවේ අමාරුම විෂයය ඉංග්‍රීසි බව කවුරුන් හෝ කීවොත් ඒකෙ වැරැද්දක් නෑ. මොකද අපි යටත් විජිතයක් වුණාම අපේ සතුරාගේ භාෂාව වන්නේ ඉංග්‍රීසි. ඉතින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය, රට විනාශ වුණේ ඉංග්‍රීසිය නිසා කියන සිතිවිල්ල හරියට ජානගත වෙලා වගේ අපේ ඇඟට, මනසට කැවිලා තියෙනවා. එහෙම පිරිසකට ඉංග්‍රීසි උගන්වද්දී අපි ඒ ආකල්පවලට නිවැරැදිව ආමන්ත්‍රණය කළේ නැත්නම් අපේ අරමුණ සාර්ථක කරගන්න බැරි වෙනවා.”

• පවතින සමාජයේ පන්ති භේදයත් මෙයට බලපානවාද?

පැහැදිලිවම! මොකද ඉංග්‍රීසි කතා කරන කළු හම සහිත අය නිසා තමයි මේ ප්‍රශ්නය තවත් ව්‍යාකූල වුණේ. අනෙක රටේ ප්‍රබලම තැන් ගෙන බැලුවොත් ඒවායේ බලය තහවුරු කරගෙන තිබෙන්නේ ඉංග්‍රීසි දන්න අය. ආර්ථික වශයෙන් බලය තිබෙන්නෙත් ඒ අයට. ඒ නිසා මහජනතාව කුලප්පු කරන්න නිදහස ගැන කෑ ගැහුවට, අපි නිදහසේ හැත්තෑ වසරක් සැමරුවාට, නියම විදිහට රට නිදහස් වෙලාද කියන එක විශාල ප්‍රශ්නයක්. හැබැයි අපි ඉංග්‍රීසි ඉගෙනගෙන ඒ සමාජයට ගිහින් එය වඩා සාධාරණ මට්ටමට ගේන්න පුළුවන් නම්... ඒ වෙනස අහිංසාවාදීව කරන්න බලන්න.එ

• චීනය, ජපානය වගේ රටවල සාර්ථකත්වය සමඟ සසඳන විට අපටත් ඉංග්‍රීසි නැතුව වැඩ කරගන්න බැරිද?

චීනය වගේ රටවල ස්වාභාවික සම්පත් විශාල වශයෙන් තිබෙනවා, විශාලම ජනගහනය ඉන්න රට. ඒ වගේම ජපානය වගේ රටවල ජනතාව සිතන විදිහේත් අපේ අය හිතන විදිහේත් ලොකු වෙනසක් තිබෙනවා. ජපානයේ සංක්‍රමණිකයන්ට දැඩි නීති තිබෙනවා. ඒ රටවල ආකල්ප වගේම මිනිසුන්ගේ ශික්ෂණය ඉහළයි. අනෙක අපේ ආයතන සියල්ලම පාහේ ඉංග්‍රීසියෙන් වැඩකරන්න පටන් අරගෙන ඉවරයි. ඒ නිසා දැන් අපට ආපසු හැරෙන්න බෑ.

• යමෙක් ඉංග්‍රීසි ඉගෙන නොගත්තොත් ඇති වන ලොකුම පාඩුව?

මම විශ්වාස කරන විදිහට කෙනෙකුට ඇති ලොකුම වාසිය තමන්ගේ දැනුම. අද වන විට ඒ දැනුමේ කේන්ද්‍රය බවට පත් වී තිබෙන්නේ බටහිර. ඒ නිසා ඒ දැනුම ලියැවී තිබෙන්නේ ඉංග්‍රීසියෙන්. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සලකා බැලුවොත් මම මේ කියන දේ අදාළ වන්නේ වැඩිපුරම කලා අංශයේ දරුවන්ට. මොකද කළමනාකරණ, වෛද්‍ය, ඉංජිනේරු ආදි විෂයයන් හැදෑරීමට කෙසේ හෝ ඉංග්‍රීසි උගත යුතු නිසා ඔවුන් ඒ අභියෝගයට මුහුණ දෙනවා.

ඒත් කලා පීඨවල දරුවන් බහුතරයක් ඉංග්‍රීසි දැනීම ද්‍රෝහිකමක් ලෙස හිතන්න පුරුදු වී සිටිනවා. මගේ A thousand voiced choir පොතට පාදක වුණේ ඒ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ අත්දැකීම්. ඔවුන්ට කෙළින් හිටගන්න, ඉංග්‍රීසියෙන් කෑ ගහන්න, සින්දු කියන්න, නටන්න ආත්ම විශ්වාසය ඇතිව තැනක ඉංග්‍රීසි භාවිත කරන්න අපේ ඒකකයෙන් ඉගැන්වූවා. එය කොතරම් සාර්ථක වුණාද කීවොත් අවසානයේ ඔවුන් බැනර් එල්ලන් හිටියේ තමන්ගේ පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන්න කියලා. ඉතින් ඉංග්‍රීසි ඉගෙන නොගත්තොත් ඇති වන ලොකුම පාඩුව දැනුම අහිමි වීම කියන දේ ඒ අයත් තේරුම් ගත්තා.

• සාහිත්‍ය මඟින් ව්‍යාකරණ ඉගැන්වීම තමයි ඔබේ Grammar through literature ග්‍රන්ථයේ අරමුණ?

ඇත්තෙන්ම සද්ද නැතුව පොතක් කියව ගන්න එක තමන්ගේ වැඩක්. සාහිත්‍ය තුළින් තමයි මූලික ව්‍යාකරණ උගන්වන්න පහසු. විශේෂයෙන් වැඩිහිටි අධ්‍යාපනයේදී එය වැදගත්. ඉංග්‍රීසි බැරිම කෙනෙකුට වුණත් කවියක්, සින්දුවක් කියන්න දෙන්න ඕනා. මහාචාර්ය රජීව විජේසිංහ සහ පාර්වතී නාගසුන්දරම් කියන විදිහට එය තමයි ඉංග්‍රීසියේ ප්‍රජාතන්ත්‍රවාදය. ඔවුන් විශ්වවිද්‍යාලයේ ඇති කළ ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඉතා දුෂ්කර පළාත්වලින් පැමිණි සිසුන් අද ලොකේ හොඳම විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි පිළිබඳ ආචාර්ය උපාධි පවා ලබාගෙන තිබෙනවා.

ඉංග්‍රීසි යම් තරමක් හෝ දන්නා අය යොදවා දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමත් වැදගත්. ඉංග්‍රීසි ඉගැන්විය යුත්තේ විනෝදයත් සමඟ. එය මහා බරක් ලෙස ඔළුවට දැනුණොත් ඉගැන්වීම සාර්ථක නෑ. අනෙක වැරැදි වුණොත් ඒවා භාවිතය සමඟ හදා ගන්න පුළුවන්. ඒ නිසා ඉංග්‍රිසි භාවිත කරන්න. ඒ පොතේ අරමුණත් එයයි.

• දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේදී ගුරුවරුන්ගේ දැනුම පිළිබඳ වඩාත් පරෙස්සම් විය යුතුයි නේද?

ඔව්. ඒත් හැමෝම හොඳටම ඉංග්‍රීසි ඉගෙනගෙන දරුවන්ට උගන්වන තුරු බලා ඉන්න බෑ. හරියටම ඉංග්‍රීසි දැනගත් කෙනෙක් ගුරු වෘත්තියට සීමා වෙයි කියලා හිතන්නත් අමාරුයි. භාෂාවක් ඉගෙන ගන්න, උගන්වන්න පහසු ළමා කාලයේ. ඒ නිසා එයට ඉඩ සැලසිය යුතුයි. එහිදී එක් එක් ගුරුවරයාගේ, ළමයින්ගේ මෙන්ම ප්‍රදේශවල පවතින තත්ත්වයන් සමාන නැති නිසා විවිධ ප්‍රමිතීන් මතු වෙන්න පුළුවන්. ඒවා පිළිගන්නත් අප සූදානම් විය යුතුයි. ඒ වගේම ගුරුවරුන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතුයි.එ

•සිංහල වැරැද්දුවට කමක් නෑ, ඉංග්‍රීසි වැරදුණොත් සමච්චලයට ලක් වෙනවා කියන සැකය අපට අදත් තිබෙනවා. එවිට ඔබ කියන විවිධ ප්‍රමිතීන් (different standards of English) ගැටලුවක් වෙයිද?

පළමුවෙන්ම කිව යුතුයි කෙනෙකුගේ බුද්ධි මට්ටමට ඉංග්‍රිසි බලපාන්නේ නෑ. අවුරුදු හතළිහ විතර පසු වුණ කෙනකුට ඉංග්‍රීසි වැරදීමකදී අන් අය හිනා වුණොත් එය ගණන් නොගෙන ඉන්න තරම් ආත්ම ශක්තියක් තිබෙනවා. හැබැයි තරුණ වයසේ අය ඒ හිනාවට ඔරොත්තු දෙන්නේ නෑ. ලැජ්ජයි. එනිසා මම මෙහිදී දෙපිරිසකගෙන් ඉල්ලීමක් කිරීමට කැමතියි. මුලින්ම ඉංග්‍රීසි කතාකරන්න බය වෙන්න එපා. වැරැදුණාට ලැජ්ජා වෙන්නත් එපා. කවුරුන් හෝ ඉංග්‍රීසියෙන් කතා කරද්දී ව්‍යාකරණ, උච්චාරණය වැරදුණා කියලා හිනා වෙන්නත් එපා. ඒ හිනාවෙන් නිගමනය වන්නේ සිනාසුණු කෙනාගේ මානසික මට්ටම මිස වැරැද්දූ කෙනාගේ තරම නොවෙයි. අනෙක ඉංග්‍රීසි දැනගැනීම සංස්කෘතික ද්‍රෝහිකමක් නොවන බව තේරුම් ගන්න.

දෙවැනි කරුණ ආයතනවලින් මම ඉල්ලන්නේ කැඩිච්ච ඉංග්‍රීසිවලට හිනා නොවී ඒ අයට අවස්ථාව දෙන්න. මොකද භාෂා දැනුම සාපේක්ෂයි. ඒ වගේම හැකියාව වර්ධනය කර ගෙන ඉණිමඟේ ඉහළට යන්න ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට පුළුවන්කම තිබෙනවා. අනෙක දැන් අපි පිළිගන්නේ ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ප්‍රමිතිය මිස බ්‍රිතාන්‍ය ප්‍රමිතිය නොවෙයි.

• සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉංග්‍රීසි සමතුන් ප්‍රතිශතය වැඩිකරන්නත්, නිදහසේ ඉංග්‍රීසියෙන් සන්නිවේදනයට රටේ දරුවන් හුරුකරන්නත් ඔබේ යෝජනාව කුමක්ද?

මෙය ආරම්භ කළ යුත්තේ පෙරපාසල් මට්ටමින්. මම ඉල්ලීමක් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අදාළ වගකිව යුතු නිලධාරීන්ගෙන් පුළුවන් නම් අපට අවස්ථාවක් දෙන්න පෙරපාසල් ගුරුවරියන්ට විශ්වවිද්‍යාලවලින් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹන්න.

අප කළ යුත්තේ ඔවුන්ට මහා ඉංග්‍රීසි දැනුමක් ලබා දීම නොවෙයි, දරුවන් සමඟ ඉංග්‍රීසි කවියක්, ගීතයක් කියමින් තාලෙට අංග චලනය කරන්න, ඉංග්‍රීසියෙන් කෑ ගහන්න, කතන්දර කියන්න, සරල දේවල් ඉංග්‍රීසියෙන් සන්නිවේදනය කරන්න පුළුවන් මට්ටමට පුහුණු කිරීමයි.

කුඩා දරුවන්ට ව්‍යාකරණ ඉගැන්වීමෙන් පලක් නෑ. කවුරුන් හෝ තමන්ට අවශ්‍ය දේ සන්නිවේදනය කරනවා නම් සියයට හැත්තෑ පහකින් අවශ්‍යතාව ඉටු වී හමාරයි. ඉංග්‍රීසි කියන්නේ පීනනවා වගේ වැඩක්. වතුරට බහින්නේ නැතිව පීනන්න බෑ. අනෙක අපේ වටේ වතුර හදා ගන්න එක, පොත් පත් කියවීමෙන්, ගුවන්විදුලියට සවන්දීම, ඉංග්‍රීසි චිත්‍රපට බැලීම වැනි දේවලින් අපම කරගත යුතුයි. ඒ පදනමෙන් ගියොත් 'ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන එක' නතර වේවි. සංස්කෘතික හීනමානය අවම වේවි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ වෙද්දී ඉංග්‍රීසි කතාකරන මට්ටම හුරුවක් ලැබේවි. එය ක්‍රියාත්මක කරන්න ලැබුණොත් අවුරුදු 20ක් යන්න කලින් රටේ සමස්ත දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම සාධනීය මට්ටමකට ගේන්න පුළුවන් බව මට විශ්වාසයි.

 

Comments