ආවා සොයා ආදරේ | සිළුමිණ

ආවා සොයා ආදරේ

අවුරුදු අසූවක් වයස වැඩිහිටියාටත් අවුරුදු පණහක් වයස ජීවිතයේ සැඳෑ සමයට ළං වූ අයටත් අවුරුදු තිස්පහක මැදිවියේ මුල සිටින්නාටත් අවුරුදු විස්සක යෞවනයාටත් අවුරුදු හතක අටක ගැහැණු පිරිමි ළමුන්ටත් එක සේ හිතට අල්ලන චිත්‍රපටයක් හැදීම ආශ්චර්යයකි. ආවා සොයා ආදරේ එවන් චිත්‍රපටයක් යැයි සිතේ. මෙහි තිරනාටකය සහ අධ්‍යක්ෂණය වෙනින් කාගේවත් නොවේ, ලෙනින් මොරායස්ගේය.

 

අපට සිතෙන ඇත්ත අප කියන්නේ නැත්නම් ඒකෙන් වැඩක් නැත. අපට හිතෙන ඇත්ත අප ලියන්නේ නැත්නම් ඒ පෑනෙන් වැඩක් නැත. අපට ඉබේටම හිතෙන දේ ඔස්සේ අපි දිගටම හිතාගෙන යන්නේ නැත්නම් ඒ හිතෙන් වැඩක් නැත. එහෙත් අද බොහෝ සේ ඇත්තේ එවැනි කටවල්ය. එවැනි පෑන්ය. එවැනි හිත්ය.

කටෙන් කියන දේ සීමා කරමින් අප විසින් ම සාදාගත් කොටු තිබේ. හිතෙන් හිතෙන දේ සීමා කරගෙන අපේ හිතෙන්ම සාදාගත් කොටු තිබේ. ඒවා අපේ ආරක්ෂාවට සාදාගත් දේ ය. මේ උත්සාහය එවන් සීමාවකින් සීමා නොවීමටය. ආවා සොයා ආදරේ ළමා චිත්‍රපටයක් වශයෙන් වුව ද සුදුසු යැයි කීමටය.

දැන්නම් සාමාන්‍ය චිත්‍රපටවලට වඩා ළමා චිත්‍රපට බහුලය. වැඩිහිටියන් ද බලන්නේ ළමා චිත්‍රපටය. වැඩිහිටියන් ඒවා බලන්නේ ද තමන්ට ඕනෑවට වඩා ළමයින්ට පෙන්වීමටය. කෙසේ වුවත් අපි පොඩිකාලයේ මෙසේ ළමා චිත්‍රපට තිබුණේ නැත. ඒ කාලයේ මතක හැටියට ළමා චිත්‍රපට හැටියට හැදුණේ මඩොල්දූව සහ හඳයා පමණි.

මා මේ කියන්නේ හැත්තෑව දශකය හා අසූව දශකය මුල පිළිබඳවය. අප වැඩිහිටියන් සමඟ ගියේ සාමාන්‍ය චිත්‍රපට නැරඹීමටය. ඒවා අපට අද ළමා චිත්‍රපටවලට ද වඩා ළමා චිත්‍රපට විය. ආවා සොයා ආදරේ එවන් චිත්‍රපටයකි.

අවුරුදු අසූවක් වයස වැඩිහිටියාටත් අවුරුදු පණහක් වයස ජීවිතයේ සැඳෑ සමයට ළං වූ අයටත් අවුරුදු තිස්පහක මැදිවියේ මුල සිටින්නාටත් අවුරුදු විස්සක යෞවනයාටත් අවුරුදු හතක අටක ගැහැනු පිරිමි ලමුන්ටත් එක සේ හිතට අල්ලන චිත්‍රපටයක් හැදීම ආශ්චර්යයකි. ආවා සොයා ආදරේ එවන් චිත්‍රපටයක් යැයි සිතේ. මෙහි තිර නාටකය සහ අධ්‍යක්ෂණය වෙනින් කාගේවත් නොවේ, ලෙනින් මොරායස්ගේය.

මේ චිත්‍රපටයේ කතා පුවතක් නැත. යම්හැඟීම් ධාරාවක් උදෙසා කතාවක් ගැටගසා ඇත. එනම් මෙහි කතා පුවත යථාර්ථවාදී නොවේ යැයි කිව හැකිය. එහෙත් එහි දැක්වෙන හැඟුම් යථාර්ථවාදී නොවේ යැයි කිව නොහැකිය.

මාලිනි ෆොන්සේකා මේ චිත්‍රපටයේ නිලන්තිය. ඈ ගැමි තරුණියකි. ඈ සංකේතවත් කරන්නේ අශෝකමාලාගේ සිට සිංහල ගැමි තරුණියයි. දුටුගැමුණු රජතුමාගේ රන්එතනා ද ඇය විය හැකිය.

අප්පුවාගේ සිරිමල්එතනාද ඇය විය හැකිය. සීගිරි චිත්‍රවල සිටින්නේ ද ඇය විය හැකිය. කැලෑහඳේ සිටින්නී ද ඇය විය හැකිය. කෙසේ හෝ අද මෙන් කොට ගවුමට හෝ උඩරට සාරියට හෝ ඉංග්‍රීසි භාෂාවට හෝ හිර නොවූ යුවතියන් අපේ රටේ සිටින්නට ඇත. නරිබෑනා නාට්‍යයේ ගම දුව මෙන් කැලයේ දර කඩන්ට ගොස් ඇහැළමලින් පිරිණු ගස් දැක ගී කීවා සේ ආවා සොයා ආදරේ චිත්‍රපටයේ නිලන්තිට කඳු මුදුන් ඔස්සේ වලාකුළු දකිනවිට‘පාවෙලා නිල්වලා යනුබලා’කියා ගයන්නට සිතෙයි. කෙසේවුව ද එහි දී නිලන්තිගේ රුව මාලිනි ෆොන්සේකාගේය. හඬ ඇංජලින් ගුණතිලකගේය.

තාලය සරත් දසනායකගේය. ඉංග්‍රීසියට ගවුමට හෝ ඔසරියට හිර නොවුණු මේ අහිංසකත්වය ළමයින්ගේ සිත් සේ ම අහිංසකය. ආවා සොයා ආදරේ මෙසේ ළමා සිත් ඔස්සේ ධාවනය වෙයි. නොඑසේනම් වයස කුමක් වුවත් මිනිස් සිතටපොදු අහිංසකත්වය ඔස්සේ ධාවනය වෙයි. ඒ කාලයේ බොහෝ වැඩිහිටි චිත්‍රපට ළමා චිත්‍රපට වූවේ එසේය. එහෙත් අද ඇතැම් ළමා චිත්‍රපටවල පවා මේ අහිංසකකම නැත.

මාලිනි ගේ නැතිනම් නිලන්තිගේ හා ගාමිණිගේ ආදරය ද ‘ළමා’ආදරයකි. මේ චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකාගේ චිත්‍රපටයේ නම ද ගාමිණිමය. උන්මාද චිත්‍රාට දීඝගාමිණි සේ නිලන්තිට ගාමිණිය. මා ළමා ආදරයක්යැයි කීවේ මේ ආදරයේ ඇත්තේ කාටවුවත් බලා සිටිය හැකි ආදරයක් වන හෙයිනි. ආවා සොයා ආදාරේ චිත්‍රපටයේ ජෝතිපාලගේ හඬට ළමයින් වුව ද නැලවේ. ජෝතිගේ හඬට නැලවෙන්නේ නිලන්තිහෝ ගාමිණි පමණක් නොවේ. නාට්‍ය නරඹන වැඩිහිටියන්ට ද වඩා ළමයින් නැලවේ. ‘අහිංසක ආදරයේ බල මහිමයයි.’

මේ චිත්‍රපටයේ ගාමිණිගේ ඇත්තේ ද ළමා නැටුම්ය. එනම් අමුතු ඉගෙනගත් පද නටන්නේ නැත. හිතේ ඇති සතුටට පණදීම පමණක් කරයි. ළමයින් නැටුම්වල දී කරන්නේ ද එයයි. සිතේ ඇති සතුට ටසරිලන පරිදි ඇඟ නැටවීමයි.

ගාමිණි කරන්නේ ද එයමය. ඒ නිසා ආවා සොයා ආදරේ වැඩිහිටියන් සමඟ ළමුන්ට ද චිත්‍රපටයක් වීම පුදුමයක් නොවේ. ගාමණීගේ නැටුම් චලනයන්ගෙන් මතුවන්නේ ලෙනින් මොරායස් සරත් දසනායක ජෝතිපාල සහ මාලිනී එක්ව මවන්නට හදන සතුට සමඟ එක්වීමය.

‘රන්මසු රන්කිරි ගරුඬ තලාවක සැලෙන නදින් ඔබ අමතන්නේ’යැයි ලෙනින් මොරායස්ගේ චිත්ත රූපයට සරත් දසනායකගේ සංගීතයට ජෝතිගේ ‘ළමාපිවිතුරු’හඬට ගාමිණී මෙන් ම මාලිනි ද නටන්නේ ළමා නැටුමකි.

ළමයා වැඩිහිටියා තුළ ද සැඟවී සිටියි. දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයා මිනිසා තුළ සැඟවී සිටින ළමයා එළියට ගනියි. ලස්සන චිත්‍රපටයක් බිහිවන්නේ එවිටය. ‘ආවා සොයා ආදරේ’එවැන්නකි.

මෙහි ඇන්තනී සී. පෙරේරාගේ එකවර චරිත දෙකක නොව චරිත පහකට පෙනී සිටින ජවනිකාවක් ඇත.

ඇන්තනි සී. පෙරේරාගේ තාත්තා ද අත්තා ද මුත්තා ද බිරිය ද ඇන්තනි සී. පෙරේරාය. එය ලෙනින් මොරායස්ගේ මැජික් සංදර්ශනයකි. ඇන්තනී සී. පෙරේරාට ද රඟෙපෑමට ඇත්තේ විශ්මිත හැකියාවකි. එනම් ඔහුගේ රංගනය මැජික්ය.

කෙසේ වුවත් මේ ඩබල් ට්‍රිබල් ඇක්ටින් කතා නොදන්නා පොඩි ළමයින්ට වුව ද මේ ඇන්තනි සී. පෙරේරා බව ම හසුවේ. විහිළුව ඇත්තේ එහිය. එහි බැරෑරුම් අර්ථය වන්නේ විවිධ වයසින් විවිධ තනතුරුවලින් පෙනීසිටිය ද අප එකම විහිළුකාරයන් බව විකාරකාරයන් බව මේ ජවනිකාව තුළින් පෙනීයාමය. එබඳු දාර්ශනික අර්ථ ලෙනින් මොරායස් මතු කරන්නේ ෙප්‍ර්ක්්ෂකයාට දර්ශනය හඳුන්වා දීමට නොවේ.

රසය හඳුන්වා දීමට ද නොවේ. රසය මතුකිරීමට ලෙනින් මොරායස් දරන අහිංසක හා අවංක උත්සාහය තුළ මෙබඳු විශ්මිත ජවනිකාවන් බිහිවේ. වයස කුමක් වුවත් වත්පොහොසත්කම කුමක් වුවත් උගත්කම කුමක් වුවත් තනතුර කුමක් වුවත් එපමණක් නොව ස්ත්‍රී පුරුෂභාවය ද කුමක් වුවත් එක ම විහිළුකාරයෝය.

ළමයින් ද මේ ජවනිකාවට සිනාසෙන්නේ ඔවුන්ට ද එය තේරෙන නිසාය. නැතිනම් ළමයින්ට ද තේරෙන පරිදි මේ දාර්ශනික අර්ථය ලෙනින් මොරායස් ඉදිරිපත් කර ඇති නිසාය. සැමියාගේ ද බිරිඳගේ ද තාත්තාගේ ද අත්තාගේ ද මුත්තාගේ ද භූමිකාවන්ට එක කැමරාව ඉදිරියේ එකට පණ පොවමින් ඩබල් ඇක්ටින් සිනමා තාක්ෂණය ඔස්සේ ඇන්තනි සී. පෙරේරා ළමා චිත්‍රපටයකට අවශ්‍යම වන්නා වූ තවත් එක් ජවනිකාවක් ඉදිරිපත්කරයි. එනම් ළමයින් බොළඳ කතාවන්ට පමණක් නොව නුවණක්කාර කතාවන්ට ද ඇලූම්කරති. ඔවුන්ට ඒවා තේරේ.

ළමයි මෝඩයෝ නොවෙති. එහෙත් බොහෝ ළමා චිත්‍රපට හදන්නේ ම ළමයින් මෝඩයන් ලෙස සිතමිනි. කෙසේ හෝ මගේ අදහසනම් හොඳ නිර්මාණ ළමා හෝ වැඩිහිටි ලෙස වර්ග කිරීම අපහසු බවය.

හොඳ කතන්දර ද එසේය. වෙස්සන්තර ජාතක කතාව වුව ද වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද සමීපය. එහි ගම්භීර අර්ථ දරුවන්ට ද හොඳින් වැටහේ.

‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ චිත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නේ සිද්ධියක් පසු පස සිද්ධියකට වඩා සින්දුවක් පසු පස සින්දුවක් ඔස්සේ වීමයි. මා එය හැඟුම් චිත්‍රපටයක් යැයි කීවේ ඒනිසාය. කතා පුවත බිඳ නොවැටෙන්නේ හැඟුම් ධාරාව බිඳ නොවැටීම නිසාය.

හැඟුම් ධාරාව නොබිඳී පවත්වා ගැනීමට සමත්වන්නේ වෙනින් කවුරුවත් නොවේ ලෙනින් මොරායස්ය. ඒ නිසා එක සින්ඳුවක් අවසන් වී විනාඩි කිහිපයකින් තවත් සින්ඳුවක් ඒම දැකිය හැකිය. සින්ඳුවක් විසින් ම තවත් සින්ඳුවක් ඉල්ලා සිටින්නාක් වැන්න.

මෙහි දී ලෙනින් මොරායස් කරන්නේ චිත්‍රපටයක් හදන්නට හැදීම නොවේ. ආදරය සොයා යාමයි. චිත්‍රපට රූපරාමු කැමරා කෝණ සංගීතය ජෝතිගේ හඬ මාලිනිගේ මුහුණ ඔස්සේ ආදරය සොයා යාමයි. එසේ සොයා යන ඔහුට ආදරේ හමුවේ. නැතිනම් එහි සුන්දර පිවිතුරු පිළිබිඹුවක් හමුවේ.

අප රිදී තිරය ඔස්සේ නරඹන්නේ එයයි. ලෙනින් මොරායස්ට සෙවූ දෙය හමුවේ. ආවා සොයා ආදරේ යැයි නිතැතින්ම කියැවෙන්නේ එයයි. කෙසේ වුවත් ආදරය සොයා යනවා වෙනුවට ආවා යැයි කීමේ ආශ්චර්යයක් ඇත. එනම් ආදරය හමුවන්නේ එය සොයාගෙන කොහේවත් ගියොත් නොව තමා ළඟටම පැමිණීමෙනි. එනම් තමා තුළම ආදරය හඳුනා ගැනීමෙනි. සොයා ගැනීමෙනි. ආවා සොයා ආදරේ එලෙසින් ම අප තුළ ම පවතින ආදරය අපට මුණගස්වයි. ඒ නිසා ද එය ළමා චිත්‍රපටයක් වන්නේ යැයි කිව හැකිය.

 

Comments