අවංක අපේක්ෂකයන් තෝරා පත් කර ගන්න | සිළුමිණ

අවංක අපේක්ෂකයන් තෝරා පත් කර ගන්න

 ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ 2018පෙබරවාරි 10වැනි දින පැවැත්වීමට නියමිතය. නව ඡන්ද ක්‍රමය යටතේ සභා 341කින් සභිකයන් 8, 356 දෙනෙක් තෝරා පත් කර ගැනීමට නියමිතය; මෙය අවසන් මැතිවරණය හා සසඳන විට සභිකයන් 3870 දෙනකුගේ වැඩි වීමකි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වයේ (පැෆ්රල් සංවිධානයේ) විධායක අධ­්‍යක්ෂවරයා මෑතක කළ සාකච්ඡාවක දී කියා සිටියේ විවිධ අපරාධකරුවන් විශාල සංඛ්‍යාවකට මැතිවරණයට තරග කරන්නට නාමයෝජනා ලැබී ඇති බවයි. පැෆ්රල් සංවිධානය තවදුරටත් පවසා සිටියේ මේ වන විට ලැබී ඇති පැමිණිලි 243කින් 182ක්ම තහවුරු කොට ගෙන ඇති බවත්, එයින් 61ක් එක්සත් ජාතික පක්ෂයටත්, 60ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට/එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, 48ක් අළුතෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදු පෙරමුණටත් අදාළ වන බව යි. ඊට අමතරව දේශපාලන පක්ෂද ඇතුළුව කූට දේශපාලනයේ යෙදෙන්නෝ ඔවුන්ගෙන් තරග වදින අපේක්ෂකයින්ට ඡන්ද ලබා ගැනීම සඳහා ඡන්ද කොට්ඨාශවලට ‘අල්ලස් දී‍මේ’ සහ ඒවා ‘නොමඟ යැවීමේ’යෙදී සිටින බව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වන ඔස්ට්‍රේලියානු සහයෝගිතාව (AAGGSL) 2015ජනාධිපතිවරණයේ දී සහ 2016මහ මැතිවරණයේ දී නීතියේ පාලනය, වඩා පිරිසිදු ආණ්ඩුවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට, විශේෂයෙන්ම මැතිවරණ අක්‍රමිකතා වළක්වන බවට දෙන ලද බරපතළ පොරොන්දු ගැන අවධාරණය කර සිටියි.

ප්‍රාදේශීය සභා යනු මූලිකවශයෙන් පාදේශීය ගැටලු කළමනාකරණය කරන්නට සහ ප්‍රජා අවශ්‍යතා සඳහා සැලසුම් කරන්නට ලබා ගත් වරයක් සහිතව ප්‍රදේශය මත පදනම් වූ නියෝජිත ආණ්ඩු වෙයි. එම ප්‍රදේශයේ වසන ජන ප්‍රජාවන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් වැඩසටහන් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම‚තමන්ගේම වූ රෙගුලාසි සහ අතුරු-නීති සකස් කිරීම හා විවිධ සේවාවන් ගණනාවක් සැපයීම සම්බන්ධයෙන් ඒවා වග කියන්නට බැඳී සිටිති. ප්‍රදේශයේ මාර්ග සහ පාලම්, පොදු වීදි ආලෝකණය, ජලාපවහන, විනෝද සහ විවේක පහසුකම්, පුස්තකාල, උද්‍යාන සහ ගෙවතු, ප්‍රජා ආරක්ෂාව සහ පොදු පහසුකම් වැනි ප්‍රජා යටිතල ව්‍යුහ සහ වත්කම් කළමණාකරනය කිරීම කාර්යක්ෂම ලෙස කළ හැක්කේ පළාත්බද ජන ප්‍රජාවන් සහ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් සහ ඔවුන් සහභාගි කරවා ගැනීමෙන් පමණි. සභිකයන් තම නගර සහ නුවරවල අවශ්‍යතාවයන් ඉටු කරන්නට හැකි අන්දමේ පුළුල් මනසකින් යුත්, නිදහසේ සිතන පරාර්ථකාමී අය විය යුතුය.

ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වන ඔස්ට්‍රේලියානු සහයෝගිතාව, එවැනි මෙහෙවරකට සුදුසු නැති අපේක්ෂකයන්, විශේෂයෙන්ම සාපරාධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් තෝරා පත් කර නොගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. අවශ්‍යතාවය වන්නේ දැනුමෙන් සහ උද්යෝගයෙන් යුතුව තමන්ගේ පළාත් පාලන ඡන්ද කොට්ඨාශයේ පවතින තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා අවංකව සහ අව්‍යාජ ලෙස දායක විය හැකි අපේක්ෂකයින් තෝරා පත් කර ගැනීමයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට කිසිදු අදාලත්වයක් නොමැති කරුණු වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, ජාතික ආරක්ෂාව, ඒකීය රාජ්‍යය වැනි මධ්‍යම ආණ්ඩුවේ පාලනය හා සම්බන්ධ ගැටලුවලට කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදෙන ලෙස අපි සියලු දේශපාලන පක්ෂවලින් වැඩි දුරටත් ඉල්ලා සිටිමු. අපට අවශ්‍ය අවසානම දේ වන්නේ තමන්ටම වාසි සළසාගැනීම වෙනුවෙන් හිතාමතා කරන කතාවලින් තත්ත්වය ව්‍යාකූල කර දමන තමන් ගැන මපමණක් කල්පනා කරන දේශපාලනඥයන්ය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසන් සභාවෙන් ද ඉල්ලා සිටිමු.

ඕස්ට්‍රේලියාවේ මෙල්බ(ර්)න් නුවර,
ශ්‍රි ලංකාවේ යහපාලනය සඳහා වන ඔස්ට්‍රේලියානු සහයෝගිතාව AAGGSL

Comments