යල්පිනූ ආකල්පවලින් බැහැර විය යුතු ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන | සිළුමිණ

යල්පිනූ ආකල්පවලින් බැහැර විය යුතු ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන

 ලෝක කාලගුණ විපර්යාසයන් මෑත කාලය තුළ ශ්‍රී ලංකාවට ද තදින් බලපාමින් පවතී. එනිසා පැරණි යල මහ දෙකන්නය අනුව බෝග වගා කිරීම දුෂ්කර වී ඇත. සමහර විට අධික වර්ෂාව ද සමහර විට අධික නියඟය ද නිසා වගා හානිය බරපතළ ලෙස සිදුවේ. මේ නිසා ලෝකය පුරා වගේම ශ්‍රී ලංකාවේ ද ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බරපතළ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ජනගහනයට ප්‍රමාණවත් ලෙස ආහාර නිෂ්පාදනය සිදුවී තහවුරු කර ගැනීමත් ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහතික කර ගැනීමත් අත්‍යවශ්‍ය වී තිබේ.

ඒ අනුව ආහාර නිපදවීමේ ජාතික වැඩසටහනක් 2015 වසරේ දී රජය මගින් ආරම්භ කළ අතර එය 2018 වසර දක්වාම පවත්වාගෙන යෑමට අදහස් කර ඇත. මෙම කාර්යය භාර වී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයටයි. එහෙත් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදනය හා උපදේශකත්වය යටතේ ඊට අයත් දෙපාර්තමේන්තු හා වෙනත් ආයතනයන් මගින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන මගින් බලාපොරුත්තු වන්නේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, අතිරේක ආහාර බෝග දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මගින් ආනයනය අවම කිරීම හා දේශීය ගොවියාගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමයි.

රජයේ මෙම බලාපොරුත්තු සාධනයේලා අංශ කිහිපයකින් පියවර ගන්නා අතර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම හා ඵලදායිතාව ඉහළ නැංවීම එම අංශයන් වේ. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම යටතේ ගෙවතු වගාව ප්‍රචලිත කරන අතර එමගින් ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ඒ අරමුණ ඇතිව පසුගිය මාසයේ මුල් සතියේ දී දීප ව්‍යාප්තව ගෙවතු වගා වැඩසටහන් ව්‍යාප්ත කිරීමේ සතියක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කර ගෙවතු වගාව ප්‍රචලිත කරන්නට උත්සාහ කරන ලදි.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ ගෙවතු පන්ලක්ෂයක් සංවර්ධනය කිරිම ඉලක්ක කරගනිමින් ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන 2016 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන තුළින් පවුලේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සපුරා ගැනීමට හැකිවන අතර රටේ සමස්ත ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කර ගැනීමටද උපකාරිවේ. ගෙවත්තේ පවතින තිරස් හා සිරස් ඉඩ ප්‍රමාණයන් භාවිතා කිරීමෙන් භූමියේ ඵලදායිතාව වැඩිකරගත හැකි අතරම ආහාර බෝග මගින් භුමි අලංකාරය කිරිමේ ක්‍රමවේදය හඳුන්වාදීම තුළින් ගෙවතු වගා ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තුවේ. තවද මෙම ගෙවතු සංවර්ධනය තුළින් පවුලේ ආහාර සඳහා යන වියදම අවම කරගැනීමට හැකිවන අතරම කෘෂිරසායන භාවිතයෙන් තොර බැවින් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීමටද හැකිවේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ලා පවතින ඕනෑම ආණ්ඩුවක් වගකීමකින් තොරව තෝරා ගන්නේ ගෙවතු වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් බව ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලි වේ. රාජපක්ෂ යුගය තුළ ආර්ථික සංවර්ධන අමාත්‍යාශය යටතේ විශාල බරක් තබමින් ක්‍රියාත්මක කළේ "දිවි නැගුම" සංවර්ධන වැඩසටහනයි. ඒ යටතේ ද හඳුනාගත් ගෙවතු සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සදහා රජයේ ආධාර ලබාදුනි. අතීතයේ දී ද මෙවැනි ගෙවතු වගා වැඩසටහන් ඕනෑ තරම් ක්‍රියාත්මක කරන්නට ඇත. "අපි වවමු රට නගමු" එවැනි තවත් එක් වැඩසටහනකි. එහෙත් එම වැඩසටහන්වල ආර්ථිකමය දායකත්වය පැහැදිලි හා ස්ථිර සාර නොවේ.

බෝග නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ නැංවීම හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතාව ඇති කිරීමේ වැඩසටහන්වල ඉලක්කය වුවත් එම ඉලක්කයන් ජය ගැනීම එතරම් පහසු නොවේ. මේ තත්ත්වය තුළ මතු වන පොදු චිත්‍රය වන්නේ රජය බර තබා ක්‍රියා කර ආහාර සුරක්ෂිතතාව සඳහා කටයුතු කළත් මෙම තෝරා ගත් ක්ෂේත්‍ර භෝගයන්ගේ නිෂ්පාදනයේ වර්ධනයක් දකින්නට නොලැබෙන බවයි.

එසේම එම තෝරා ගත් ක්ෂේත්‍ර භෝග වගාවන්ගේ ඇස්තමේන්තු ගත කළ සාමාන්‍ය අස්වැන්න සලකා බැලූවිට ද කැපී පෙනෙන සුලු වර්ධනයක් පෙන්නුම් කරන කිසිම භෝග වගාවක් නොමැත. ඒ අනුව පැහැදිලි වන්නේ එම තෝරා ගත් ක්ෂේත්‍ර භෝග වගාවන්ගේ ඵලදායිතාව අදාළ වසර පහක කාලය තුළ කැපී පෙනෙන ලෙස වෙනස් වී නොමැති බවයි. මීට වඩා වැඩි වෙනසක් වත්මන් ආණ්ඩුව විසින් ද දියත් කර ඇති ආහාර සුරක්ෂිතතාව සඳහා වූ වැඩසටහනෙන් ද අපේක්ෂා කළ නොහැක. ඊට හේතුව මීට පෙර ක්‍රියාත්මක කළ වැඩසටහනකට වඩා කිසිම වෙනසක් මෙම වැඩසටහනෙහි ද දක්නට නොවීමයි.

ආහාර සුරක්ෂිතතාව සඳහා වූ ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන ද දිගින් දිගටම ක්‍රියාත්මක කර ඇතත් ලංකාවේ ආහාර නිෂ්පාදනය ඉහළ මට්ටමක තබා ගැනීමට එය හේතුවේ යැයි කිව නොහැක. ගෙවතු වගා කිරීමට තරම් සමාජයට අතිරේක කාලයක් සොයා ගැනීම දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා පෙලඹෙන්නේ විශ්‍රාම සුවයෙන් සිටින්නන්, ඌන රැකියලාභීන් හෝ විනෝදයට හා කාලය කා දැමීමට යමක් කළ යුතු යැයි සිතන පිරිස ය. මෙය වැඩි වර්ධනය කර යම් නිෂ්පාදන වර්ධනයක් හෝ වෙනත් ප්‍රතිලාභ හෝ පතා සංවර්ධනය කළ හැකි වුවද සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ දැමීමට තරම් ශක්තිමත් ක්ෂේත්‍රයක් ලෙස ගෙවතු වගා වැඩසටහන් සැලකිය නොහැකිය.

මේ අංශයන් දෙකම ආසාර්ථක වන්නේ කුඩා පරිමාණයේ නිෂ්පාදනවල නිෂ්පාදන වියදම අධික වන නිසයි. සාමාන්‍යයෙන් ලංකාවේ සහල්, රතු ලූනු, ලොකු ලූනු, අර්තාපල්, සීනි, ආදී බොහෝ පාරිභෝගික ද්‍රව්‍යයනයන්ගේ නිෂ්පාදන මිල අධිකය. ඊට හේතුව වන්නේ ආහාර නිෂ්පාදනයේ දී තාක්ෂණය අවම ලෙස භාවිතා කිරීම, කුඩා වෙළෙඳපළක් සදහා අඩු පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම හා යෙදවුම් මිල අධිකවීමයි. එනිසා මෙම ආහාරමය පාරිභෝගික ද්‍රව්‍යවල මිල ලෝක වෙළෙඳ පළේ මිලට වඩා අතිශයෙන් ඉහළ මට්ටමක පවතී. එනිසා දේශීයව මෙම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය පිරිවැය අධික වන කටයුත්තකි. ආහාර සුරක්ෂිතාව සඳහා ඒ ඒ ආහාර බෝග ශ්‍රී ලංකාවේම වවා ඒවායෙන් ස්වයං පෝෂිත විය යුතු යැයි ආකල්පයක් ශ්‍රී ලාංකිකයන් තුළ පවතී. මෙය ආර්ථික ජාතිකවාදී හැඟීමක් නිසා මතු වන අදහසක් වන අතර පශ්චාත් නූතන තත්ත්වයක් තුළ ප්‍රායෝගික අදහසක් නොවේ. සෑම රටවැසියකුටම අවශ්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කිරීමෙන් හෝ රටේ අපනයන ආදායමෙන් අවශ්‍ය ආහාර ආනයනය කිරීමට ශක්‍යතාවක් තිබේ නම් හෝ ඒ ආකාර දෙකේම එකතුවකින් ආහාර අවශ්‍යතාව සම්පූර්ණ වේ නම් හෝ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු වේ.

ඒ නිසා ආහාර සුරක්ෂිතතාව සඳහා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යල් පිනූ ආකල්පයන්ගෙන් බැහැර විය යුතුය.

අබරන්

Comments