මහින්ද බැසිල්ගේ අත්අඩංගුවේද? | සිළුමිණ

මහින්ද බැසිල්ගේ අත්අඩංගුවේද?

 ‘ඇත්ත තියෙද්දී වෙන දෙයක් පෙන්නන්න හදනඑක ද දේශපාලනය කියන්නේ’

’ඒ විදිහට දේශපාලනය ගැන හිතන සූරයෝ ගොඩක් ඉන්නවා’

‘ගම්මංපිල එක්කෙනෙක්ද?’

‘තමන්ගේ මුඛරිකම එහෙම නැතිනම් ගෙතීමේ හැකියාව යොදාගෙන තමන්ට ඕනැදේ ඇත්ත කියලා පෙන්නනඑක තමයි ඒ වගේ අය දන්න එකම දේශපාලනය’

‘ඉතිං එහෙම දේකින් කොහොමද රටට යහපතක් වෙන්නේ’

‘රටට යහපතක් වෙනවා කියනඑක හරි වෙන්න ඕනැ කියනඑක හරි ඒ අයගේ හිතේ තියෙන දෙයක් නෙමෙයි’

‘එහෙම අය තමයි දේශපාලනයේ වැඩි’

‘වැඩි නෙමෙයි අරක්ගෙන ඉන්නේ’

‘එතන ඉන්න අවංක මිනිස්සු අසරණයි’

‘අවංක මිනිස්සුන්ටත් වඩා දේශපාලනය තුළ අසරණ වෙන්නේ ඇත්ත’

‘ඔව් ගම්මංපිලලා මැජික්කාරයෝ වගේ තමන්ට ඕනෑ ඕනෑ දේ ඇත්ත කියලා මවලා පෙන්නනවා’

‘හැබැයි ඉතිං ඒවා ඇත්ත කියලා පිළිගන්න මිනිස්සුත් අවංකයි කියලා පිළිගන්න පුළුවන්ද?’

‘එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ’

‘ඒ කිව්වේ’

‘ඇත්ත වගේ පෙන්නන බොරුවක් ඇත්ත කියලා පිළිගන්න කැමති සත්‍යවාදියෝ වෙන්නබෑ’

‘ඒ කියන්නේ බොරුකාරයෝ’

‘ඔව් ලොකු බොරුකාරයෝ කරන්නේ තමන්ගේ පිටුපස්සෙන් පොඩි බොරුකාරයෝ රැල්ලක් ඇතිකිරීම’

‘එතකොට බොරුවට ජීවය දීම ද ජීඇල්ලා ගංමංපිලලා කරන්නේ’

‘ඔව් තමන් ළඟ තියෙන දේ තමයි ඒ අය පිටට දෙන්නේ’

‘එතකොට දැං මහින්දත් ඉන්නේ බැසිල්ගේ අත්අඩංගුවේද?’

‘බොරුවට තැන ලැබෙනකොට ලොකුම බොරුකාරයන්ට තමයි වැඩි බලයක් වැඩි තැනක් ලැබෙන්නේ’

‘එතකොට පෝට්ටුව බැසිල්ගෙද?’

‘මහින්දගේ කියලා පෙන්නන්න හැදුවට ඒක බැසිල්ගේ’

‘එතකොට මහින්දට මොකද වෙන්නේ’

‘බැසිල් තමයි දන්නේ’

හීනෙන් වුවත් මා වැඩිදුර යනබව දැනී කවුදෝ මාව ඇහැරෙව්වේය. ඒත් වුරුන්දැයි මම නොදනිමි. කෙසේ වුවත් අවදියෙන් සිටිනවිට නිදියන ඇත්ත, නින්ද ගියවිට ඇහැරෙන බව පෙනේ.

Comments