මෝඩ ගායකයා | සිළුමිණ

මෝඩ ගායකයා

එක්තරා කාලයක පොහොසත් එහෙත් තරමක මෝඩ පුද්ගලයෙක් හිටියා ඔහුගේ නම ආතර්. මොහු සින්දු අහන්න වගේම සින්දු කියන්නත් හරිම කැමැතිය. එහෙත් ඔහුගේ කටහඬනම් මිහිරි නැහැ හරිම ගොරෝසුයි. එහෙත් ඒ කටහඬින් ඔහු මිතුරන් පිරිවරාගෙන සින්දු කියනවා. මේ මිතුරනුත් ආතර්ව රවට්ටමින් ඔහුගේ සින්දු හරිම ලස්සනයි කියමින් ඔහු ලවා සින්දු කියවලා හොර රහසේ සිනා වෙනවා.

සින්දු කියන අතරේම ආතර් සංගීතය ඉගෙන ගන්නත් යනවා. ගුරුවරුනුත් ඔහුගෙන් ලැබෙන මුදල් නිසා දිගින් දිගටම ඔහුට සංගීතය උගන්වනවා. දැන් ආතර් හිතන්නේ තමා ඉතා දක්ෂ ගායකයකු ලෙසයි. ඉතා අමාරු නෘත්‍ය ගී පවා ඔහු ගොරහැඩි හඬින් ගයද්දි මිතුරන් ඒ අසා හොර රහසේ සිනා වෙනවා. එහෙත් කාලයක් මෙසේ ඇතැම් අසීරු ගී අපහසුවෙන් ගයද්දි ඔහුගේ කටහඬ හොඳටම ගොරෝසු වී අසා සිටීමට බැරි මට්ටමට ආවා. ඒ නිසා මිතුරන් ආතර්ගේ මේ ගී ගායනයෙන් ගැලවීමට මඟක් සැලසුම් කළා.

“ආතර්, උඹේ කටහඬ නම් හරිම ලස්සනයි. ඒත් ඒ කටහඬ අපි විතරක් අහලා වැඩක් නැහැනේ. ඒ නිසා උඹ ඈතට ගිහින් අනෙක් අයටත් ඇහෙන්න සින්දු කියපන්. ඒ අයත් සින්දු අහලා සතුටු වුණාවේ ” කියා මේ මිතුරන් දිනක් ආතර්ට පැවසුවා. අනේ! මේ කතාවට රැවටුණු ආතරුත් දිනක් ගී ගයමින් ඈත ගම්බද පළාතකට ගියා. ආතර් ගිය නිසා මිතුරන් සැනසිලි සුසුම් හෙළුවා.

දැන් ආතර් ඒ පළාතේ ඉඳගෙන සින්දු කියනවා. මේ පළාතේ කුරුල්ලෝ ඒ සින්දුවලට ඇහුම්කන් දුන්නා.

“ මොකද්ද මේ ඇහෙන සද්දේ. මේකනම් අහන් ඉන්න බැරි එපා කරපු හඬක්නේ ” ආතර් ගී ගයනවා අසා සිටි ලොකු කුරුල්ලෝ හිස් දිගු කරමින් ආතර් දෙස බැලුවා.

“ඔය ඇහෙන්නේ අපි වගේ කුරුල්ලන්ට කොටන නපුරු කරුල්ලෙකුගේ හඬක් ” ඒ‍ ඇසූ වයසක කපුටෙක් කිව්වා.

“එහෙනම් අපි අනෙක් කුරුල්ලන්ටත් කියලා ඉක්මනට පියඹලා ඈතට යමු” මෙලෙස කියූ කුරුල්ලන් වෙනත් කුඹුරකට පියාඹා ගියා. මේ ‍වෙලාවේ ඒ කුඹුර අයිති ගොවියා තම කුඹුරේ වැඩ කරමිනුයි ‍හිටියේ. මේ ගොවියාටත් ආතර්ගේ කටහඬ ඇහුණා.

“මොකද්ද මේ ගොරහැඩි කටහඬ?” මෙහෙම හිතුවත් ඒ කරුණාවන්ත ගොවියා ආතර්ව යවන්න හිතුවේ නැහැ. ඒ මොකද එයා දැක්කා තම කුඹුරේ වහලා අස්වනු කමින් සිටි කුරුල්ලො ටික මේ ගී හඬට බයේ පලා යනවා.

“ මේ කරුල්ලන්ගෙන් බේරෙන්න මට ක්‍රමයක් පෑදුණා ” මෙසේ සිතූ ගොවියා ආතර්ට කතා කළා.

“යාළුවේ, මං උඹට දවසට කෑම වේල් තුනක් දෙන්නම්. උඹ මගේ කුඹුරේ අස්වනු කපනකම් සින්දු කියමින් ඉන්නවද? ”

ආතර් ඉතා කැමැත්තෙන් මේ ‍යෝජනාවට එකඟ වුණා. ආතර් හිතුවේ ගොවියා ඔහුගේ කටහඬට කැමැති නිසා මෙලෙස සින්දු කියන්න ආරාධනා කළා කියලයි. මෙහෙම කලක් යද්දි සින්දු කියලම ආතර්ගේ කටහඬ තවත් ගොරහැඩි වෙද්දි ඔහු අනිත් අයට කිව්වේ පෙර මෙන් තමන්ට ලස්සනට සින්දු කියන්න බැහැ කියලයි. ආතර් සින්දු කීම නවතා ගොවිතැන ඉගෙන ගෙන අර කපටි යාළුවන්ගෙන් මිදී අර අවංක ගොවියා සමඟ එක්වී හොඳ ජීවිතයක් ගත කළා. ඒත් තම කටහඬ එතරම්ම ගොරහැඬි බව ඔහු කවදාවත්ම දැන ගත්තේ නැහැ.

සිතුවම - කුමුදු පීරිස්

අදහස්