මම ගංගාවක්මි | සිළුමිණ

මම ගංගාවක්මි

මම කිරි සුදු පෙණ කැටි නංවමින් ලස්සනට අද හැලෙනා ගංගාවක් වෙමි. මම ගල්පර අතරින් ඉතා වේගයෙන් ගලා බසිමි. කෙතරම් බාධක හමුවුණත් මම රිදී රේඛාවක් මෙන් ඉදිරියටම ගලා යන්නෙමි. විවිධ තැන්වලදී මගේ හැඩය විවිධ ස්වරූප ගනී. මුලදී මා ගලා යන්නේ සිහින් දිය පාරක් මෙනි. පසුව සිහින් වෙමින් මහත් වෙමින් තවත් පළාත්වලදී සර්පයකු මෙන් වක් වෙමින් මම මුහුද කරා ඇදෙන්නෙමි. මා මුහුදට ගලා බසින්නේ මා සතු සියලු වස්තුව මුහුදට පුද කරමිනි.

ආරම්භයේදී මා සතුව ඇත්තේ ඉතා පවිත්‍ර ජලයයි. මාගේ ජලයෙන් කෙත්වතු සරුසාර වේ. එහෙත් අතරමඟදී මිනිස්සු ඒ ජලය අපවිත්‍ර කරති. සතුන් නාවමින් අපද්‍රව්‍ය මගේ ජලයට මුදා හරිමින් බෝග වගාවලට කෘමිනාශක යොදමින් කරන ඒ විනාශය භයානකය.

පැරැණියෝ සියලු කටයුතු සඳහා යොදා ගත්තේ ම‍ගේ ජලයයි. පානයට නෑමට මෙන්ම සියලු දේට ම‍ගේ ජලය යොදා ගත්තත් ඔවුන්ට කිසිදු නපුරක් සිදු නොවිණි. නමුත් දැන් මගේ ජලය අපවිත්‍ර වී ඇති බැවින් ඒ ‍ජලය පානයෙන් ඇතැමුන්ට විවිධ රෝගාබාධ වැලඳීමේ අවදානම ද වැඩිවී තිබේ. එසේ සිදුවී ඇත්තේ මිනිසුන්ගේම වැරැදි නිසාය.

ඉස්සරනම් මා ඉතා දැකුම්කලුය. එහෙත් මගෙන් දැන් ඒ ලස්සන දියවී යමින් පවතී. මගේ ඇතැම් මිතුරු මිතුරියන් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා නැත්තටම නැතිවී යන තැනට පත්වී තිබේ.

කේ. එම්. එම්. පී. කුමාරසිංහ
5 ශ්‍රේණිය,
දිද්දෙණිය මහා විද්‍යාලය,
දිද්දෙණිය 

 

අදහස්