ලොව ළාබාලම ‍ලේඛකයා පුංචි තනුවන | සිළුමිණ

ලොව ළාබාලම ‍ලේඛකයා පුංචි තනුවන

* මීට පෙර මේ වාර්තාවට හිමිකම් කීවේ බ්‍රසීල දරුවෙක්
* භාෂා කීපයකම සමත්කම් පෑවේ අකුරු කරන්නටත් පෙරයි

තම වයසට වඩා සුවිශේෂි හැකියා දක්වන දරුවන් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. තනුවන සේරසිංහ ද එවන් දරුවෙකි. අන් දරුවන්ට වඩා සුවිශේෂි හැකියා රැසකින්යුත් තනුවන වයස වයස අවුරුදු හතරක් තරම් වයසේදීම ගිනස් වාර්තා පොතට එක්වන්නේ ලොව ලාබාලම ලේඛකයා වෙමිනි.

ලංකාවේ ජන්මලාභය ලැබූවත් පුංචි තනුවන ජීවත් වන්නේ සීෂෙල්ස් දූපතේය. ඔහුගේ පියා තුසිත සේරසිංහ සීෂෙල්ස් හි මැරියට් හෝටල් සමූහයේ සේවය කරන අතර මව අප්සරා එරටේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකි. තනුවනත් ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් සීෂෙල්ස් හි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබති. මේ පුංචි පුතණුවන් සිය අසාමාන්‍ය හැකියා පෙන්වන්නට වූයේ ඉතා ලාබාල වයසේ දීමය. අකුරු කරන්නටත් පෙර වයස අවුරුදු දෙකහමාරේ සිට පුංචි තෙනුවන විවිධ භාෂාවලට හැකියා පෙන්වන්නට වූයේ සැවොම විමතියට පත්කරමිනි. ලිවීමේ හා කියවීමේ සුවිශේෂි හැකියා පෙන්වන්ට වූ මේ පුංචි පුතණුවන් රුසියානු, ශ්‍රීක, අරාබි, ජපන්, ප්‍රංශ, ස්පාඤඥ හා සිංහල මෙන්ම ඉංග්‍රීසි හෝඩීන්හි අක්ෂර දක්ෂ ලෙස ලිවීමට මෙන්ම කියැවීමටද හැකියාවක් දැක්වීය. පාසලට ඇතුළත් නොවූවද යූ ටියුබ් හරහා මේ සියල්ල ග්‍රහණය කර ගැනීමට සුවිශේෂි මතකයක් මේ පුංචි සිතට තිබුණේ ය.

මව හා පියාගේ ආදරය හා රැකවරණය ලබමින් සිටි මේ දඟකාරයා එරට ජාත්‍යන්තර පාසලකට ඇතුළු වූයේද මේ මතක තබා ගැනීමේ සුවිශේෂි ශක්තියත් සමඟිනි. පාසලේ පළමු වසරට ඇතුළත් වුවද ඒ පංතියේ ගුරුවරුන් අනෙකුත් දරුවන් සමඟ මේ දරුවා තබා ගැනිමට කැමැත්තක් දැක්වූයේ නැත. ගුරුවරුන්ගේ අදහස වූයේ මේ දරුවාගේ සුවිශේෂි හැකියා නිසා ඔහු ඉන් ඉහළ පංතියකට යායුතු බවය. මේ නිසා තනුවන මුල්වතාවෙන්ම දෙකේ පංතියට ඇතුළත් වූවද ගුරුවරු තනුවනට වෙනමම ඉගැන්වීම් කරන්නට වූහ. පංතියේ අනිකුත් දරුවන්ට වඩා ඉදිරියෙන් සිටි තෙනුවන භාෂා පමණක් නොව ගණිත හැකියාවන්ගෙන්ද ඉදිරියෙන්ම සිටියේය.

මේ අතර දිනක් තෙනුවනගේ පංතියේ ගුරුතුමිය පැමිණියේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පාඩම දරුවන්ට කියා දෙන්නටය. මේ වන විට තෙනුවනගේ වයස අවුරුදු හතරක් විය. ගුරුවරියගේ පාඩම ඔහුගේ හිතට කාවැදුණේ ය. වයස අවුරුදු 4 යි දින 356 වෙද්දි උගත් මේ අපූරු පාඩමෙන් තනුවන පොතක් ලීවේ ය. ඒ පොතේ තේමාව ඔහුගේ අතින් මෙසේ ගොනුවිය. ‘Junk Food’ නම් වන මේ කතාවේ තේමාව ශරීරයට නුසුදුසු ආහාර පිළිබඳය. සෑම් නම් දරුවා පුරුදු වී සිටින්නේ කෘත්‍රිම ආහාර පානවලටය. මෙයට ගෙදර අය මෙන්ම සොහොයුරියද විරුද්ධ වෙයි. දිනක් අම්මා කෑම පෙට්ටියට දමන්නේ පලතුරු හා ඇපල්ය. නමුත් සෑම් විවිධ දේ පවසමින් එවා අනුභව කළේ නැත. සෑම් දිනක් යාළුවන් සමඟ සෙල්ලම් කරන්නට යයි. ඔහුට සෙල්ලම් කරන්නට ගොස් දැනෙන්නේ අධික විඩාවකි. සෑම් මැජික් ඇපල් ගසක් යටට වි කල්පනා කරන්නේ එයට හේතුවකි. මැජික් ඇපල් ගස සෑම්ට තේරුම් කර දෙන්නේ පෝෂ්‍යදායි ආහාර පිළිබඳ පාඩමකි. එතැන් සිට සෑම් හොඳ ආහාර රටාවකට හුරුවන්නේ නිතැතිනි.

තෙනුවනගේ සිතේ ගොනුවූ මේ අපූරු සිතුවිල්ල කතාවකට මුල පිරුවා පමණක් නොව එය පිටු 16 ක සිතුවමින් යුතු පොතක් ලෙසද පිටවූයේ ගිනස් වාර්තා පොතටත් ඇතුළු වෙමිනි.

“ අපි තවමදාවත් දැනගෙන හිටියේ නැහැ, පුතාගේ මේ පොත ගිනස් වාර්තාවක් තියයි කියලා. ලංකාවේ සූර්ය ප්‍රකාශන ආයතනයේ අතුල ජයකොඩි මහත්මයා පුතාගේ මේ පොත මුද්‍රණය කර දුන්නා විතරක් නෙමේ දරුවගේ මේ පොත ගිනස් වාර්තාවට යවමු කියලත් කිව්වේ ඔහු. මීට කලින් මේ වාර්තාව තියලා තිබුණේ බ්‍රසීලයේ දරුවෙක්. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මෙය ගිනස් වාර්තාවට සුදුසු බව නිර්දේශ වී එම වාර්තාව ලැබුණා. පුතාට ගොඩාක් සතුටුයි. ලංකාවේ 69 වැනි නිදහස් දිනය වෙනුවෙන් සීෂෙල්ස් හි උත්සවයක් පැවැත්වුවා. එයට පැමිණියේ එහි උප ජනාධිපති විස්ටන් මාර්තන් මහතා. පුතා පොත පිළිගැන්වූයේ ඒ මහතාට. මේ අවස්ථාව සංවිධානය කළේ සීෂෙල්ස්හි ශ්‍රි ලංකා තානාපති ටිකිරි හේරත් ගුණතිලක මහතායි. ඔහු තමයි ලංකාවට පැමිණි අපිට ජනාධිපතිතුමා හමුවෙන්න අවස්ථාව සලසා දුන්නේ ”යැයි තනුවනගේ පියා වන තුසිත සේරසිංහ මහතා පවසන්නේ ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.