පයක් අහිමි වුවත් ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙනවා | සිළුමිණ

පයක් අහිමි වුවත් ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙනවා

යුද සමයේ සිදුවූ ඛේදවාචක හා සමාන අහස පොළොව නොඋහුලන තරමේ ඛේදනීය සිදුවීම්වලට වර්තමානයේ ජනතාව මුහුණ දෙන්නේ එදිනෙදා මහමඟ සිදුවන රිය අනතුරුවලිනි. අපරික්ෂාකාරී රියැදුරන් නිසා අහිමි වන ජීවිත මෙන්ම අනතුරු නිසා ආබාධිත තත්ත්වයට පත්වෙමින් වධවේදනා විඳින පුද්ගලයන් සංඛ්‍යාව මේ වෙද්දී එන්න එන්නම වැඩිවෙමින් පවතී. කෙතරම් නීතිරීති තිබුණ ද ඇතැම් රියැදුරන් තවමත් මහමඟ ගමන සලකන්නේ සෙල්ලම් ගමනක් මෙනි. තැනට උචිත නුවණ පාවිච්චි නොකිරීම හා අපරික්ෂාකාරී බව නිසා වූ තවත් ඛේදනීය රිය අනතුරක් වාර්තා වූයේ පසුගිය 04 වැනිදා පෙරවරුවේ ලේක්හවුස් ආයතනයට නුදුරු ඩී. ආර්. විජේවර්ධන මාවතේ සම්පත් බැංකුව අසලදීයි.

එම රිය අනතුරෙන් දෙහිවල පදිංචි සතාදේවන් ඉලංගෝවන්ට ජීවිතය අහිමි වෙද්දී අප ආයතනයේ සහෝදර සේවක සුගත් ප්‍රියන්තට තම දකුණු පාදය දණහිසෙන් පහළ අහිමි විය. ලොකු පොඩි සෑම සහෝදර සේවකයන් අතර ප්‍රියමනාප චරිතයක් වූ දොම්පේ වානළුවාව පදිංචි ප්‍රියන්තට අත්වූ ඉරණම ගැන ආයතනයේ සැවොම තවමත් කම්පා වෙති.

පාදයක් අහිමිව තවමත් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ 72 වාට්ටුවේ රැඳී සිටින ප්‍රියන්ත දුටු විට අපට කම්පනයක් ඇතිවන්නෙ නිරායාසයෙනි. එහෙත් ඔහුගෙන් දිස්වන්නෙ දැඩි නොසැලෙන ධෛර්යවන්ත බවකි. පසුගියදා රෝහලේදී හමුවූ ප්‍රියන්ත තමා මුහුණ පෑ ඛේදනීය සිදුවීම අප හා මෙසේ විස්තර කළේය.

“තවමත් හිතාගන්න බැහැ වුණේ මොකද්ද කියලා. මම සුපුරුදු පරිදි වැඩට එන්න ගෙදරින් ඇවිත් පිටකොටුවෙදි බස් එකෙන් බැහැලා කාර්යාලයට එන්න නැවතත් 120 කැස්බෑව බස් එකකට ගොඩ වුණා. මගේ දුවගේ වැඩිවිය උත්සවය සහ සාංඝික දානයකුත් දීලා කාර්යාලයට එන පළමු දවස එදා. ඉතින් මට එක පාරටම බස් එකේදි මතක් වුණා කාර්යාලයේ අය සමඟ සතුට බෙදාගන්න මොනවහරි අරන් යන්න ඕනෑ කියලා. ඒක නිසා මම කාර්යාලය අසල බහින්නෙ නැතිව ඊට මඳ දුරකින් තියෙන සම්පත් බැංකුව අසල බස් නැවතුමෙන් බහිනවා කියලා හිතාගත්තා. ඒ බැංකුව අසල තියෙන ජංගම වෙළෙඳසලෙන් කේක් හෝ මොනවාහරි අරන් යන්න. එහෙම හිතාගෙන බස් එකෙන් බැහැලා පදික වේදිකාවේ මීටර් පහක් ගියේ නැහැ. මොනවා වුණාද දන්නෙ නැහැ.. එක්වරම පිටුපස්සෙන් ආපු ලොරියක් මගේ කකුල උඩින්ම ගිහින් ඉස්සරහ හිටිය තව කෙනෙක් යට කරගෙන අසල ලයිට් කණුවත් කඩාගෙන ගියා. හැබැයි මගේ පෙර පිනකට මම පදික වේදිකාව පැත්තට වැටුණේ. බැරි වෙලාවත් පාරට වැටුණනම් මොනවා වෙයිද කියලා හිතාගන්න පුළුවන්නේ.”

ප්‍රියන්තගේ බිරිය සුනේත්‍රා මල්කාන්තිය. දියණිය චතුමී ඉමල්ෂා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. තමාටත් දියණියටත් පණ මෙන් ආදරය කරන සිය ස්වාමියා අනතුරකට ලක්වූ පුවත ඇසූ ඕ ජාතික රෝහල කරා දිව ආවාය. සැමියාගේ අනතුර නිසා අසරණව සිටින සුනේත්‍රා වානළුවාවේ සිට සෑම දිනකම රෝහල කරා පැමිණෙන්නේ ඉදිරියට කරන්නෙ කුමක් ද කියා සිතා ගැනීමට නොහැකිව ළතැවෙමිනි.

“මට තවමත් අදහාගන්න බැහැ මේක ආරංචි වුණු වෙලාව මතක් වෙද්දි. දැන් මට හිතාගන්න බැරුව ඉන්නෙ ඉදිරියට මොනවද කරන්නෙ කියා. හරියට නිකම් මගේ කකුල කැපුවා හා සමානයි. මොකද ප්‍රියන්ත තමයි ගෙදරදි බොහෝ වැඩ කරන්නෙ. දුව පාසලට, පන්තිවලට, දහම් පාසලට ගෙනියන්නේ. ගෙදරට බඩු ගේන වැඩ සියල්ලම කළේ ඔහුයි. මේ වගේ නොසැලකිලිමත් රියැදුරන් නිසා අපි වැනි මිනිස් ජීවිත කීයක්නම් අසරණ වෙලා ඇද්ද? ඒ නිසා මෙවැනි රියැදුරන්ට එරෙහිව රටේ නීති තද කරන ගමන්ම රියැදුරන්ගේ විනය සහ හික්මීම ඇති කිරීමටත් වහා පියවරක් ගත යුතුයි. මොකද අපට වෙච්ච ඇබැද්දිය ඉදිරියේදී තව කෙනෙකුට නොවීමට වගබලා ගත යුතුයි. ප්‍රියන්ත කියන්නෙ බොහෝම පිනට දහමට කැමැති කෙනෙක්. එයා හැම වෙලේම පින් අතේ වැඩවලට තමයි මුල් තැන දෙන්නෙ. සෑම සිරිපා වාරයකටම ප්‍රියන්ත මුල්වෙලා යාළුවෝ සමඟ සිරිපා මුදුනේ දන්සලක් දෙනවා. දැන් ඒ යාළුවෝ හැමෝම සිදුවුණ දේ ගැන මහත් කම්පා වෙනවා” යැයි ප්‍රියන්තගේ බිරිය හැඬු කඳුළින් යුතුව පැවැසුවාය.

අනතුර සිදුවූ ස්ථානය අසල සිටි බොහෝ දෙනා දැනුදු පවසන්නේ ජීවිත දෙකකට අවාසනාවන්ත ඉරණමක් ඇති කළ මෙවන් අනතුරක් වළක්වා ගැනීමට හැකියාවක් තිබු බවයි. උදය ශාන්ත මහතා සම්පත් බැංකුව අසල බෝ ගස සෙවණේ පිහිටි ලොතරැයි අලෙවි සලේ හිමිකරුය. වසර ගණනාවක සිට ඔහු සෑම උදෑසනක සිට සවස් වනතුරු ලොතරැයි අලෙවි වෙළෙඳාමේ නිරතව සිටින්නේය. පොඩ්ඩක් එහා මෙහා වී සුක්කානම කැපුණා නම් ලොරිය යන්නේ වෙන අතකය.

“ලොරිය බ්‍රේක් නැතුව ආවා කියල තමයි කියන්නෙ. ඒත් ඉතින් මිනිස් ජීවිතවලට හානි නොවෙන්න අනතුර වළක්වාගන්න රියැදුරාට හොඳටම ඉඩ තිබුණු බව පෙනුණා. පාරේ අනෙත් පැත්තට හෝ වාහනයකට ඇල්ලුවානම් මේ වගේ‍ ඛේදවාචකයක් නොවෙන්න ඉඩ තිබුණා. හැබැයි තව පොඩ්ඩක් එහෙ-මෙහෙ වුණානම් මාවත් යට කරගෙන තමයි යන්නෙ.”

අද මහමඟ සිදුවන බොහෝ අනතුරුවලදී ඇතැම්හු තුවාලකරුවකු රෝහලකට කරා ගෙන යෑම ප්‍රතික්ෂේප කරති. එයට හේතු වන්නේ පොලිසි ගාණේ ගොස් රස්තියාදු වීමට ඇති අකැමැත්තය. එසේ තිබියදී අපේ ප්‍රියන්ත අනතුරට ලක්වන අන්දම සියැසින් දුටු කාන්තාවක් ප්‍රියන්ත සොයා ජාතික රෝහලට පැමිණියාය. ප්‍රියන්ත තමා වෙනුවෙන් කරුණාවන්ත වූ සියලු දෙනා ගැනද කතා කරන අතරතුරදී ඇයද සිහිපත් කළේය.

“මට අනතුර සිදුවූ මොහොතේ සිද්ධිය සියැසින් දුටු කාන්තාවක් කෙසේ හෝ මාව සොයාගෙන වාට්ටුවට ඇවිත් බලලා ගියා. ඒ විතරක් නොවෙයි එයා ඕනෑම දෙයකට මා වෙනුවෙන් සාක්කි දීමටත් ඉදිරිපත් වන බව පැවසුවා. එවැනි කරුණාවන්ත උදවිය අප අතර ඉන්න එකත් සතුටක්. ඒ වගේම මගේ ආයතතනයේ ඉහළ පහළ සියලුම සහෝදර සේවකයන් දැක්වූ කෘතඥතාව ගැන මා සදා ණයගැතියි. මේ අවස්ථාවේ ලේක්හවුස් ආයතනය මා තනි කළේ නෑ. එය මට ලොකු ශක්තියක්. ධෛර්යයක්. ඒ වගේම මට කිව යුතු තව දෙයක් තමයි අද මට වූ දේ හෙට තව කෙනෙකුට නොවෙන්න රියැදුරන් වගේම වගකිවයුත්තන්ද වග බලාගත යුතුයි.”

සතාදේවන්ට ජීවිතය අහිමි කරමින් සිදු වූ මේ අනතුරින් කෙසේ හෝ ජීවිතය බේරා ගැනීමට ප්‍රියන්ත වාසනාවන්ත විය. එහෙත් මේ තවත් එක් අනතුරක් පමණි. තවත් මෙවන් අනතුරු ඉදිරියටත් සිදුවිය හැකිය. අප මෙන්ම දන්නා නොදන්නා කවුරුන් වුව ඒවායේ ගොදුරු බවට පත්විය හැකිය. එහෙයින් අප කළ යුත්තේ තවත් මෙවන් ඛේදවාචක සිදු නොවන තැනට වගබලා ගැනීමය. රියැදුරන් පමණක් නොව මගීන් ලෙසද කවුරුත් සැලකිලිමත්ම සුපරික්ෂාකාරීව මහමඟ ගමන් කරන්නේ නම් මාර්ග අනතුරු අවම කිරීමට එයද හේතුවක් වනු ඇත්තේය. අඩුම වශයෙන් රියැදුරන් ලෙස වාහනයක් අතට ගන්නා නවකයන් හෝ සුපරික්ෂාකාරී බව, තැනට සුදුසු නුවණ යෙදවීම හා මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීම ගැන මනෝ වෛද්‍ය උපදේශන හෝ වැඩමුළුවලට යොමු කරන්නේ නම් දෛනිකව සිදුවන මෙවන් අනතුර වළකා ගැනීමට යම් පමණක හෝ හේතු වනු ඇත.


ජායාරූපය - මාලන් කරුණාරත්න

අදහස්