පන්මූර් 'කොටි බියට' විසඳුමක් තිබෙනවා | සිළුමිණ

පන්මූර් 'කොටි බියට' විසඳුමක් තිබෙනවා

පන්මූර් වතුයායේ කීප දෙනකුට තුවාල කර පැන ගිය 'කොටියා' පසුගිය සති දෙක-තුන පුරා හැටන් නගරයේ පමණක් නොව, රටේම කතා-බහට බඳුන් විය. ජනමාධ්‍ය ඒ පිළිබඳ විවිධ මත ඉදිරිපත් කළේ තම-තමන්ට ලැබෙන තොරතුරු අනුවය. කෙසේ වෙතත් මෙහිදී කොටියාගේ පැත්ත හෝ හානි වූවන්ගේ පැත්ත ගැනීම නොව, කළ යුත්තේ මේ වන සම්පතද රැකගනිමින් පරිස්සම්සහගත ලෙස මිනිසුන්ට ජීවත් විය හැකි වටපිටාවක් ඇති කිරීමය. මේ 'කොටි ප්‍රශ්නය' විසඳීම තරමක් කල් ගත වී ඇතත් තවමත් ප්‍රමාද නැති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා සිය අතීත අත්දැකීම්ද ඇසුරෙන් මෙසේ පෙන්වා දෙයි...

"සමහර මාධ්‍ය ප්‍රකාශවලින් හෙළි වූ කරුණු අනුව ඒ සතා එතෙක් කිසිවකු නොදුටු අපූරු සත්ත්වයෙක් හැටියටයි විස්තර වුණේ. ඒ බොහෝ විස්තරවල මේකා 'කොටියකු' හැටියට සඳහන් වුවත් ඇත්තෙන්ම මේ සතා 'දිවියෙක්'. පන්මූර් පමණක් නොවේ මහනුවර, නුවර එළිය, රත්නපුර සහ බදුල්ල අයත් මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව 800කට ආසන්න දිවි ගහනයක් ගැවසෙන බව මම කාලයක් තිස්සේ කළ සමීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා," වෛද්‍ය අතපත්තු ස්ථාවර හඬින් පවසයි.

ඔහුට අනුව මේ ලෙස දිවි ගහනය වේගයෙන් වර්ධනය වී ඇත්තේ මෑතකදීය. මෙරටට තේ හඳුන්වා දුන් අතීත යුගයේ මධ්‍යම කඳුරයේ ගැවසුණු අලි-ඇතුන් මරා-දැමීම සහ පලවා හැරීම නිසා අලි මුක්ත කලාපයක් බවට පත් විය. එහෙත් තේ වතු නිර්මාණයේදී බොහෝ අවස්ථාවල වතු අතර සහ ඇතුළත කුඩා කැලෑ කුට්ටි ඉතිරි කිරීමට සුද්දා අමතක නොකළේය. එ් ඇතැම් විට පස සෝදා යෑම වැළැක්වීමටය, තවත් විකෙ සුළං මුවා කර, තේ පැළවලට සුව සේ වැඩීමටය. මේ කැලෑ කුට්ටි තුළ ගෝණුන්, මුවන් මෙන්ම දිවියන් වැනි වන සත්තුද ඉතිරි වූහ.

"වතු පාලකයන් ක්‍රීඩාවක් ලෙස දඩයමේ ගියා. දිවියෙක් අහු වුණොත් එක්කෝ මරලා, පුළුන් පුරවලා සාලේ මැද්දේ අගේට තිබ්බා; එහෙම නැත් නම් හම වේළලා බිත්තියේ එල්ලුවා. ඒ නිසා දිවියා කියන්නේ මේ කලාපේ නොසිටි අරුම-පුදුම සතෙක් නෙවෙයි. හැබයි විසිවැනි සියවස වෙද්දි මේ දිවි ගහනය කෙතරම් අඩු වුණාද කීවොත්: එහෙම සතෙක් නොහිටිය ගානට ගියා. මොකද: මේ කාලය වන විට මුහුදු මට්ටමෙන් ඉහළම, මධ්‍යම කඳුකරයේ තිබුණු විශාලම වන බිම වන හෝටන් තැන්න වැවිලිකරුවන්ගේ වගේම ඔවුන්ගේ අමුත්තන්ගේ හොඳ ගෝණ දඩබිමක් වුණා.

"1938 රාජ්‍ය මන්ත්‍රණ සභාව පනතකින් දඩයම තහනම් කළා. වෙනත් තැන්වල දඩයම අඩු වුණත් හෝටන් තැන්නේ වැඩේ දිගටම කෙරුණ නිසා ගෝණුන්, මුවන් සොයාගන්නවත් නැති තරම් වුණා. හෝටන් තැන්නේ හිටිය සීමිත දිවියන් කීපදෙනාටත් ආහාර හිඟ වුණා. 1988 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන හෝටන්තැන්න වනෝද්‍යානයක් තත්ත්වයට උසස් කර ආරක්ෂාව දෙන විට එහි වාර්තා වුණේ දිවියන් අට දෙනයි."

වෛද්‍ය අතපත්තු ඒ වන විට වනජීවියේ රාජකාරි අරඹා තිබුණි.

"ආරක්ෂාව සැපයීමත් සමඟ ගෝණ ගහනය කොපමණ වැඩි වුණත්, රංචු නොගැහුණාට උන් රාත්‍රියට එකම තණ පිටියේ උලා කමින් සාමූහිකව ඉන්නවා; ඒ වගේම ආහාර සොයා ඇවිදිනවා. දේශසීමා සටන් නැහැ. ඒත් පිරිමි දිවියා හැම විටම තමන්ගේ බල ප්‍රදේශ මූත්‍ර තවරමින් සලකුණු කරනවා. වර්ග කිලෝමීටර 20ක් විතර එකකුට ඕනෑ. ඒ මාතෘ අඩවි සීමා (හෝම් රේන්ජ්) එක මත එක වැටුණොත් දරුණු සටන් ඇවිළෙනවා. ඒ නිසා හෝටන් ප්‍රදේශයෙන් පිටතටත් පිරිස පැතිරුණා. ළඟම දැඩි ස්වභාව රක්ෂිතය හග්ගලට පිරිසක් ආවා. ඒත් දැන් ඉන් කොටසක අල වවලා.

"මිනිස් දඩයම අඩු වෙද්දී ගෝණ ගහනය ක්‍රමයෙන් වැඩි වුණා. මගේ ගණන් තැබීමේ හැටියට මේ වන විට ගෝණුන් 3000ක් පමණ හෝටන් තැන්න හා අවට කලාපයේ සිටිනවා. කෑම වැඩිවෙද්දී දිවියන් වැඩි වුණා. ගෝණුන් අවට තණපිටි සොයා පල්ලම් බැස්සා. අඹේවෙල, නිව්සීලන්ඩ්, ඩයරබා, බෝපත්තලාව හොඳ තණ පිටි ගෝණුන් නතර කරගන්න සමත් වුණා. ඒ පස්සෙන් ආ දිවියන් දිවා කාලේ ෆ්‍රීෂියන්, ජර්සි හෝ අයේෂ්‍යා වැනි විශාල කිරි දෙනකට ළං වුණොත් දඬුවම දරුණුයි. ඒ නිසා දිවියන්ට තවත් පහළට බහින්න සිදු වුණා. එහෙම පල්ලම් බැස්ස දිවියන්ගෙන් පිරිසක් හැටන් ගියා. තවත් කොටසක් පේරාදෙණියෙන් මහනුවරට, රත්නපුරට විසිරුණා."

මෙසේ විසිරුණු දිවියන් 'කොටින්' ලෙස ඇමතීම වැරැදි බව වෛද්‍ය අතපත්තු මෙසේ විග්‍රහ කළේය...

"ලංකාවේ කොටි නෑ. එදත් අදත් හෙටත් ඉන්නේ දිවියා විතරයි. Pantehra pardus cyleninsis කියන්නේ ලොව පුරා සිටින දිවි දිවි උපවිශේෂ නවයෙන් එකක්. ලංකාවට විතරක් ආවේණික සතෙක් නෙවෙයි. අපට ළඟ ඉන්දියාවේ වගේම ඈත එපිට ඊශ්‍රායලයේ පවා මුන් ඉන්නවා. ඒත් අපට කටට හුරු 'කොටියා' කියලායිි. කොටියා හැඩ-රුවෙන් සමාන වුණත් බරෙන්, ජවයෙන් රෞද්‍රත්වයෙන් මීට වඩා විශාලයි. ව්‍යාඝ්‍රයා ඊටත් වඩා විශාලයි. ඉන්දියාවේ මේ වර්ග තුනම ඉන්නවා. දිවියාට තිබෙන්නෙ පුල්ලි. කොටියාට තිබෙන්නේ ඉරි. අපේ දිවියාට යම් පමණකින් හෝ නෑකම් කියන්නේ කොළ දිවියා නැත් නම් හඳුන් දිවියා පමණයි. කැලෑ බළලා ශරීර ප්‍රමාණයෙන් බොහොම කුඩායි."

මෑත කාලීනව මේ 'දිවි බිය' මුලින්ම දැනෙන්න වුණේ මහනුවරට බවයි වෛද්‍ය අතපත්තු පවසන්නේ...

"සහශ්‍රකය පටන් ගන්නකොටම නුවර මුල්ගම්පළ වහු පැටියෙක් අතුරුදන් වුණා, කඹේ කෑල්ලකුත් එක්ක. ඊළඟට ප්‍රසිද්ධ හෝටලයක් ළඟ බැඳ සිටි එළුවෙකුටත් ඒ දේම වුණා. ඉහළ හන්තාන තේවතුවල ලැයින් කාමර අසල ගැවසුණු වල් බල්ලන් කීප දෙනකුත් අතුරුදන් වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් වතු අධිකාරිවරයාගේ වටිනා ඇල්සේෂන් සුරතලාගේ අතුරුදන් වීම විශාල කලබගෑනියක් වුණා. දවසක් රෑ ඒ අධිකාරිවරයා ජීප් රථයෙන් යද්දී ලයිට් එළියට වත්තේ ගලක් උඩ ඉඳන් ඉන්න දිවියන් දෙන්නෙක් දැක්කා. කාරණේ පැහැදිලි නිසා මගෙන් ඉල්ලීමක් කළා මේ භීතියෙන් ප්‍රදේශය ගලවාගන්න කියලා. ඒ වන විට නගරාධිපතිව සිටි රාජා සේනානායක මහත්මයා නගර ආරක්ෂක අරමුදලින් රුපියල් පනස්දහසක් මේ මෙහෙයුමට වෙන් කළා. ඒත් එක් පුද්ගලයෙකුගේ පෞද්ගලික අදමිටුකමක් නිසා ඒ සල්ලි ආපසු යවා ව්‍යාපෘතිය නතර කරන්න සිදු වුණා. එදා ඒ ව්‍යපෘතිය කළා නම් අද මේ හානිය දෙපාර්ශ්වයටම සිදු වන්නේ නෑ."

අතීතය පිළිබඳ පසු තැවීමට වඩා වර්තමානය හා අනාගත යහපත වෙනුවෙන් කළ යුතු දේ නොවළහා ඉටු කිරීම ගැටලු විසඳීමට මඟ බවද වෛද්‍ය නන්දන අතපත්තු මහතාගේ විශ්වාසයයි. එනිසා දිවියන්ගෙන් මිනිසුන්ට මෙන්ම මිනිසුන්ගෙන් දිවියන්ට තවතවත් හානි වන්නට පෙර මේ උවදුර විසඳිය යුතු ආකාරය ඔහු මෙසේ යෝජනා කරයි..‍.

"එදා අපි කරන්න හැදුවේ දිවි පාලනයක් ඇති කිරීම. අදත් කළ යුතුව තිබෙන්නේ එයයි. විද්‍යාත්මක නිර්වින්දනය මඟින් අඩපණ කර අල්ලාගන්නා දිවියන් යාල, උඩවළව, විල්පත්තු, වස්ගමුව, මාදුරු ඔය වගේ තැන්වලට ගිහින් දැම්මොත් උන් ඉක්මනින් ඒ ප්‍රදේශවලට හුරු වෙනවා. යාල විල්පත්තු දෙකේම දිවියන් සියයක් නැති තරම්.

"දිවියන් කියන්නේ හරිම අහිංසක සත්තු කොටසක්. උන් පුළුවන් තරම් උත්සාහ කරන්නේ මිනිසුන් මඟහරින්න. එත් කලබල කළොත් බයට පනිනවා. උන් කැමති කුකුළන්, බල්ලන් වගේ සතුන් දඩයම් කරන්න. ඒත් දඩයම් බැරි තරම් වයසට ගිය හෝ කකුලක ආබාධයක් වගේ තිබුණොත් දුවලා කරන දඩයමට වඩා ළඟට එන මිනිසෙක්ට පනින්න ලේසියි. ලංකාවේ ‍මෙතෙක් වාර්තා වුණු කුමන ප්‍රදේශයේ සිටි එකම මිනීමරු දිවියා වුණත් එහෙම කළේ කකුලක තුවාලයක් තිබුණු නිසා.

"මේ වන විට මිනිසුන් අට දෙනකුට පමණ හානි කර ඇති මේ සතුන් ට්රැප් කේජ් ක්‍රමයට කොටු කර අල්ලන බව කීවත් මේ කතා කරන මොහොත වන තුරු එය සිදු වී නෑ. අනෙක මට බයයි අත්දැකීම් අඩු අයකු අතින් අධිමාත්‍රාවකින් නිර්වින්දන බෙහෙත් වැදුණොත් මේ සතුන්ට සිහිය ගන්න බැරි වෙයි කියලා. ඒ කොහොම වුණත් මෙය පාලනයට තවම ප්‍රමාද නෑ. එදා බැරි වුණ දේ අද ඉහළ නිලධාරීන් අතින් සිදු වෙයි කියා මම සිතන්නේ නෑ. ඒ නිසා හොඳම විසඳුම මේ සතුන් අල්ලා ගෝචර බිම්වලට නිදහස් කිරීමයි.‍"

පාඨක හද ගැස්මට විවර වන සිළුමිණ ‘ජනහද, ඔබේම පිටුවට නිර්මාණ එවන්න.

සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්
ඩී.ආර්.විජයවර්ධන මාවත
කොළඹ 10

අදහස්