දුම්රිය මඟට පෙම් බැන්දෝ | සිළුමිණ

දුම්රිය මඟට පෙම් බැන්දෝ

දුම්රියේ ගමන පහසුය. ලෙහෙසිය. ගම් දනව් අතරින් විවිධාකර වූ පරිසර වෙතින් රිංගා ගමනාන්ත වෙත දිවෙන දුමිරිය ප්‍රවාහනය සිත් ගන්නාසුලුය. ජනතාවගේ දෛනික අවශ්‍යතා බොහොමයක් ඉටුකරන දුම්රිය තවත් අවස්ථාවලදී කරදරකාරි වන බවත් අපි දන්නෙමු. විශේෂයෙන් රැකියාවලට සහ පාසල් ළමයින්ගේ ප්‍රවාහන අවස්ථාවලදීය.

වර්තමානයේ වයස් මට්ටමින් තොරව විනෝදාංශයක් ලෙස රේල් පාරේ පා ගමනින් යෑම අලුත් විලාසිතාවක් බවට පත්ව ඇත. විශේෂයෙන් ම උඩරට මාර්ගයේය. රඹුක්කන සිට බදුල්ල දක්වා ය. පටන් ගැනීමට නිශ්චිත ස්ථානයක් නොමැති වුවත් රඹුක්කන කඩුගන්නාව, ඇල්ල, දෙමෝදර, නාවලපිටිය, ඉඟුරු ඔය, ග්‍රේට්වෙස්ටර්න් සහ වෙනත් ආකර්ෂණීය ස්ථාන ද මේ අතර වෙයි. නෙත් පිනවන තේ වතු සහිත කඳු හෙල්, දිය ඇලි, පාලම් සහ බිංගෙවල් මෙන්ම සොබා සෞන්දර්ය විකසිත කරන කැලෑ මල්වර්ග බොහොමයක් මේ දුම්රිය මාර්ග දෙපස ඇත. පක්ෂීන්, මීමැස්සන් හා දෙබරුන්ගේ කන්කලු නාදයන්ද මේ අතරය. මේ ගමනේ දී මුණ ගැසෙතැයි සිතිය හැකි බිහිසුණු සතුන් ද නැත්තේ නොවේ. දිවියා. අලියා. මුවා, ගෝනා හා දඬු ලේනා මෙන්ම තවත් බොහෝ සත්ව විශේෂ ද ඒ අතරදී දැක ගත හැකිය. කලින් කලට බෝවන සමනල ප්‍රජාවත් කෘමි ප්‍රජාවනුත් එයට අයත්ය.

පට්ටිපොළ සහ ඔහිය දුම්රිය සථාන ප්‍රසිද්ධව ඇත්තේ හෝර්ටන්තැන්න හෙවත් ලෝකාන්තය නැරැඹීමට යන රසිකයන් වෙනුවෙනි. මෙම දුම්රිය ස්ථානයන් හි සංචාරක ප්‍රජාව වෙනු‍වෙන් මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට පහසුකම් සපයා ඇත. එසේම මේ දුම්රිය ස්ථාන ඉතා අලංකාරව විවිධ මල් වර්ගවලින් අලංකාර කැර ඇත. ඒ දර්ශනය මනරම්ය. දැකුම්කලුය. මේ දුම්රිය ස්ථානයන්හි අලංකාරත්වය රැක ගැනීම සඳහා මේ මල් නෙළීම තහනම් කර ඇත්තේය. අනවසරයෙන් මල් කැඩුවහොත් අනිවාර්යෙන්ම දඩ මුදලකට යටත් වන්නේය. අවම දඩ මුදල රුපියල් දෙසීය පනහකි.

අද බොහෝ තරුණ තරුණියෝ විනෝදාංශය සඳහා දුම්රිය මගේ පා ගමන් සංවිධානය කරති. සැබැවින්ම මොවුහු දුම්රිය මඟට ආදරය කරන්නෝය. ඒ අවට පරිසරයට පෙම් බඳින්නෝය. එහෙයින් වර්තමානයේ දුම්රිය මඟට ආදරවන්තයන් පිරිසක් බිහිව සිටීම සතුටට කරුණකි. පසුගිය දා දුම්රිය මගේ පා ගමනක් සංවිධානය කළ තවත් පිරිසකි. වයස අවුරුදු දහසයේ සිට අවුරුදු අසූතුන දක්වා පිරිසකි. ඇත්තෙන්ම ඔවූහු දහම් පාසලකට සම්බන්ධ වූ පිරිසකි. වැඩිහිටියෝ අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ගුරුවරු වූ අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙක් ද ඒ අතර වූහ.

පට්ටිපොළ දුම්රියපොළ අසලින් ආරම්භ කෙරුණු පා ගමන ඔහිය හරහා ගොස් අවසන් වුයේ ඉදල්ගස්හින්න දුම්රිය පොළ අසලින්ය. කණ්ඩායම කොළඹ කොටුව දුම්රියපොළෙන් පිටත් වූයේ රාත්‍රී අටට පිටත් වෙන තැපැල් දුම්රියෙනි. පාන්දර හතරයි තිහට පට්ටිපොළට දුම්රිය සේන්දු විය. විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකයා වූයේ රංජන් තියඩෝර් මහතාය. ඔහු දහම් පාසල් ගුරුවරයෙකි. පරිසර ගවේෂකයෙකි. දුම්රිය මාර්ගයේ පාගමන් කිහිපයකට සම්බන්ධව අත්දැකීම් ලැබූවෙකි. මීට වසර කිහිපයකය පෙර ලංකාව වටේ මුහුදු තීරය දිගේ ඇති මාර්ගයේ මෝටර් බයිසිකලයකින් දින දාහතක් පුරා ගමන් කරමින් ගවේෂණාත්මක සංචාරයක් කළ අයෙකි. ලද ආරාධනයකට අනුව ඒ ගමනට මම ද සහභාගි වූයෙමි.

මම කණ්ඩායම් නායකයා වෙතින් මේ ගමනේ අරමුණ විමසීමි.

“වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ තියෙන්නේ පුදුමාකාර ලස්සන සිත් ඇදගන්නාසුලු පරිසරයක්. අපේ රටේ දකින්න විඳ දරාගන්න සතුටුවෙන්න බොහෝ තැන් තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගය ඉතා වටිනා බිම් තීරුවක්. නමුත් ලෝකයේ කිසිම රටක දුමිරිය මාර්ගයේ පයින් ගමන් කිරිම තහනම්. අපේ රටේත් එම නීතිය ක්‍රියාත්මකයි. මෙවැනි ගමන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අවසර දෙන්න බැහැ. ඒ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහායි. අපි විශේෂයෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියා. මෙය හුදෙක්ම අධ්‍යාපනය, නිරික්ෂණය මෙන්ම මිනිසාගේ නිදහස් කාලය ඵලදායිව යොදා ගැනීමත් අරමුණු කරගත් සංචාරයක් බව. වර්තමානයේ බොහෝ අය ගේ අසහනකාරි ජිවන රටාව වෙනස් කිරීමට හොඳ තෝතැන්නක් නිසා අපේ ආරක්ෂාව අපිම බාරගන්නා බව අප දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. එයට ප්‍රතිචාර ලෙස අදාළ දුම්රිය මාර්ග පරික්ෂක මහතුන් හමුවී විස්තර කියා අවසරය ලබා ගත්තා. පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානාධිපති මහත්වරුන් දැනුම්වත් කළා.” තියඩෝර් මහතා පැවසීය.

ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ පට්ටිපොළය. ඉන් තවත් මීටර් පන්සීයක් ඔබ්බෙන් දුම්රිය මගේ උසම ස්ථානය පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට අඩි 6226 කි. සමිට් ලෙවල් එහි Summit Level යනුවෙන් පුවරුවක් මාර්ගය දෙපස සවි කර ඇත්තේ දුම්රිය මගීන්ගේ දැනගැනීම පිණිසය.

උඩරට මාර්ගයේ බිංගෙවල් 43 ක් ඇති අතර පට්ටිපොළ සිට ඉදල්ගස්හින්න දක්වා බිංගෙවල් 17 කි. ඉන් දිගම බිංගේහි දිග අඩි 1854 කි. සැළලිහිණි සහ වවුල් ප්‍රජාවෝ බිංගෙවල් මුර කරමින් සිටිති. බිං ගෙවල් අතුළින් ඉතා පිරිසුදු ජල ධාරා කළුගල් අතරින් පෙරී ඉතිරි යයි. බොහෝ තැන්වල රේල් පාරේ පීලි අතරින් කොන්ක්‍රිට් සිල්පර යොදමින් මැද අඩ කවාකාර කාණු පද්ධතියක් නිර්මාණය කර ඇත. පට්ටිපොළ ඔහිය අතර මෙම කාණු පද්ධතිය නිර්මාණය කැර ඇත්තේ ඔහිය මාර්ග පරික්ෂක මහතාගේ අදහසක් අනුව බව දැන ගන්නට ලැබිණි. එයට ‍හේතු වී ඇත්තේ කඳු මුදුනින් මතුවන ජල සීරාව නිසා සිල්පර රැඳී ඇති මාර්ගය සේදී යෑමෙන් දුම්රිය ‍පීලි පැනීම වළක්වාලීමටය. එය අප රටේ දක්ෂ දුම්රිය නිලධාරියකුගේ සාර්ථක ව්‍යායාමයකි.

අපගේ ගමන ඇරැඹුණේ උදෑසන හතට පමණය. වයස් බේදයකින් තොරව අප සියලු දෙනාගේ අතේ මඟ දිගට ඇති කසළ එකතු කිරීමට බෑග් තිබිණි. දුම්රිය කවුළුවලින් පිටතට විසිකරනා ලද හිස් ප්ලාස්ටික් වතුරබෝතල මෙන්ම මත්පැන් බෝතල් බොහෝ ගණනක් මඟ දෙපස විය. එහි බරපතළම තත්ත්වය වූයේ වීදුරු බෝතල් කටු මඟ දෙපස විසිරී තිබීමයි. අවාසනාවක මහත යනු දුම්රිය මඟ දිගේ කිලෝමීටරයක පමණ දුරක් යෑමටත් පෙර මේ පරිසරයට ඇලුම්කරන්නන් අත වූ කසළ බෑග් පිරී ඒවා හිස් කිරීමට තැනක් නොතිබීමය. එතැනින් එහාට අප කිසිවකුටවත් තවදුරටත් කසළ එකතු කිරීමට හැකියාවක් නොමැතිවීමෙන් අප පත්වූයේ ගැටලුවකටය. අත වූ කසළ ද ගිනි තබන්නට බැරිය . මෙම මාර්ගයේ ගිනිකූරක්වත් පත්තු කරන්න එපා කියා දැනුම් දී තිබුණේ නිතරම ළැව් ගිනි තර්ජනයට යොමුවන පරිසරයක් නිසාය. දුමිරිය මගීන් එළියට විසිකරනා අපද්‍රව්‍ය ඒ අවට ජිවත්වන සතුන් විසින් ආහාරයට ගනු ලැබීම නිසා එම සතුන්ගේ ජීවිතවලට ද තර්ජන එල්ල කරනුයේ දුම්රියෙන් පිටතට අපද්‍රව්‍ය විසිකරන දුම්රිය මගින්ය. අපි පාඨක ඔබගෙන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට හෝ එවැනි ක්‍රියාවලින් වැළැකෙන ලෙසය. එසේම පරිසරයට බැහැර කෙරෙන පොලිතීන් සහ වතුර බෝතල නිසා මදුරු ගහනය වැඩි වීමේ තර්ජනය ද ඇතිවී තිබේ.

යන අතරමඟ දෙපස වනයෙන් නැඟෙන්නේ බඹර සහ දෙබර ගුමු ගුමු නාදයන්ය, දිය පහර කඩා වැටෙන හඬ සිතට ගෙනෙන්නේ සුවපත් හැඟීමකි.

දිවා කාලයේ දී දුම්රිය මඟ පිළිබඳ අවධානයෙන් තවත් පිරිසක් තනිවම සේවයෙහි යෙදෙති. ඒ අය අතරින් වීරසේකර සංඥාකරුවෙකි. සංඥාකරු දුම්රිය ගමනාගමනයේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි. ඔහු අතැති ලෝහයෙන් තැනු සිලින්ඩරාකාර රැඳවුමක ඇති කොළ හා රතු වර්ණයෙන් යුතු කොඩි දෙකක් වෙයි. මාර්ගයේ ඉදිරියෙන් අනතුරක් වේයැයි හැඟෙන්නේ නම් මාර්ගය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා වෙඩිල්ලක් පිලි මත සවිකෙරේ. මෙම වෙඩිල්ල මතින් දුම්රියේ රෝදය ගමන් කරද්දී පිපිරී නිකුත් වන ශබ්දයෙන් ඉදිරියේ ඇති අනතුර ගැන දුම්රිය රියැදුරු දැනුම්වත් වේ. මීට අමතරව සංඥාකරු අත හුවමාරු පොතක් ද ඇත. එය ඊළග පියවරේ රාජකාරියේ සිටිනා සංඥාකරු සමඟ හුවමාරු කරගත යුතුවේ. එවිට සංඥාකරු තමාගේ සේවා අන්තය දක්වා ගමන්කර ඇති බව සනාථ කෙරේ. දෙවැන්නා ‘ස්පැනර්මෑන්’ හෙවත් යතුරුකරු ලෙස හඳුන්වයි. ඔහු කරන්නේ රේල් පීලිවල ඇණ මුරිච්චි තද කිරීමය. පීල්ලේ සහ රෝදයේ ඝර්ෂණය අඩුකිරිම සඳහා ලිහිසි තෙල් පීල්ලේ රෝදය ස්පර්ශ වන පැත්තේ අලේප කරනා පුද්ගලයෙක් ද වේ. පීලි පුපුරා ඇත්නම් සම්බන්ධක පට්ටම් යොදා ඇණ මුරිච්චි දැමීමට මාර්ග පරික්ෂක මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව පීලි විද සපත්තුව නම් සම්බන්ධකයක් යෙදීම සිදු කරයි. තවත් රාජකාරි බොහෝය. මේ සියලු රාජකාරි රාත්‍රියෙත් සිදුකෙරෙන්නේය. ඒ සඳහා දෙදෙනෙකු ගමන් කළ යුතු වන්නේය. අතීතයේ මේ සඳහා එක් රාත්‍රී සංඥාකරුවෙකු පමණක් යෙදවූවද අතුරුදහන් කිහිපයක් සිදුවූ නිසා වර්තමානයේ රාත්‍රි සංඥාකරුවන් දෙදෙනෙකු යොදවන බව අපට අතරමඟදී මුණ ගැසුණු වීරසේකර මහතාගෙන් දැනගන්නට ලැබුණි.

මෙම පා ගමනට එක් වූ පාසල් දැරියන් දෙදෙනෙකි. ඔවුහූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පරිසර සංගමයේ සාමාජිකාවෝ වෙති.

“පාසලේදීත් අපි ක්ෂේත්‍ර චාරිකා යනවා. නමුත් මෙවන් අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. පාසල් ළමයින් විශාල පිරිසක් නිසා කොහොමවත් මෙවැනි චාරිකාවකට අවසර දෙන එකක් නැහැ. මොකද ටිකක් ත්‍රාසජනකයිනේ. කැලේ සත්තු, බඹර පහර දීම්වලදී ආරක්ෂාව සම්බන්ධව ගැටලු මතු වෙනවා. සුළු පිරිසක් වෙනුවෙන් මෙවැනි චාරිකාවක් වඩාත් ඵලදායි කියා අපි සිතනවා.” ඔවුහු පැවසූහ.

කණ්ඩායම ඔහීය දුම්රිය ස්ථානයට පැමිණෙනවිට පෙරවරු එකොළහ පමණ විය. පැමිණි දුර කිලෝ මීටර හතකි. දිවා ආහාරය සඳහා මිරිස් යහමින් යොදා තෙල් දැමු කරවල. මැල්ලුම සහ පරිප්පුය. ප්‍රදේශයට ආවේණික එළවුළු ද විය. ඉතා රසවත්ය. වෙලාවට කදිමට ගැළපිණ. පට්ටිපොළ දක්වා යායුතු කිලෝමිටර් නවයක දුර ගෙවීමට අපි හරියටම දහවල් එකට ගමන් ඇරැඹුවෙමු. පට්ටිපොළ දෙසට ගමන් කරද්දී මීදුම, අඳුර, අධික සීතල සහ පින්න දැඩිව දැනෙන්නට වූයෙන් අවට චමත්කාරයෙන් වශීවන අතරම අප සිත්හි ඇති වූයේ මද බියකි. ඉදිරියට යන මාර්ගය පැහැදිලි නැත. බිංගෙවල් හරහා යෑමේදී අතැති විදුලි පන්දම් එළි මීදුම කපාගෙන යන්නේ නැත. අපි සියලු‍දෙනාම ‍ පොදියක් ලෙස පියවරෙන් පියවර ‍තෙල් වැටී ‍ලිස්සනසුලු සිල්පර මතින් ගමන් කළෙමු. හදිසියේ හෝ දුම්රියක් පැමිණියහොත් ආරක්ෂාව පිණිස උමගෙහි බිත්තියට හේත්තු වන ලෙස අපට උපදෙස් ලැබී තිබිණි. මොනයම් හේතුවක් නිසාවත් උමග ඇතුළත එහා ‍මෙහා දිව යායුතු නොවේ. මන්ද යත් ලිස්සා යෑම වැළැක්විය නොහැකි නිසාය. උමං තුළ ආරක්ෂක කුහරයක් හෝ දෙකක් ඇත. නමුත් විශාල පිරිසකට නොවේ. ඒ කුහර ඇත්තේ දුම්රිය ආරක්ෂක අංශයේ සේවකයින් සඳහාය. ඒ අනුව දුම්රිය මඟෙහි ගමන් තහනම් කැර ඇත්තේ මහජනතාවගේ ආරක්ෂාව පතාය.

විදෙස් සංචාරකයෝද දුම්රිය මඟේ පා ගමනින් යැමට මහත් අශාවක් දක්වති. නමුත් ගමනතහනම්ය. ඒ තහනම දෙස් විදෙස් දෙපාර්ශ්වයටම පොදුය. අනවසරයෙන් දුම්රිය මඟෙහි යෑමට සැරසෙන සංචාරකයන් ආපසු හැරවීමට දුම්රිය කාර්ය මණ්ඩලය කටයුතු කරයි. අනපේක්ෂිත අයුරින් දුමිරිය පැමිණිම, බිං ගෙවල් තුළ දී ලෙස්සා යෑම පමණක් නොව බිංගෙවල් තුළදී දුමිරියක් පැමිණියහොත් කලබල වීම නිසා අනතුරට පත්වීම යන කරුණු අනුව ආරක්ෂාව පිළිබදව ගැටලු මතුවන්නේය. එනිසා මෙවන් ත්‍රාසජනක ගමන්වලින් වැළැකෙන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එවැනි ගමන් සඳහා කිසිදු පෙලැඹවීමක් මෙම ලිපියෙන් කිසිදු ආක­ාරයකින් සිදු නොකෙරෙන බව ද කරුණාවෙන් සලකන්න. 

අනිල් ලසත් පෙරේරා
විස්තර සහ ඡායාරූප
පන්නිපිටිය විශේෂ

 

අදහස්