දළ පූට්ටුවාගේ ඇත්ත කතාව | සිළුමිණ

දළ පූට්ටුවාගේ ඇත්ත කතාව

දළ පූට්ටුවාගේ ඝාතනය, ගජමුතු, ඇත් දළ වැනි යෙදුම් පසුගිය වසරේ අග භාගය පුරා දැඩි ආන්දෝලනයක් රට පුරා ඇති කිරීමට හේතු විය. එහෙත් දළ පූට්ටුවාගේ ඇත්ත කතාව පිළිබඳ මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් 'සිළුමිණ' පාඨකයන්ට පවසන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා එකඟ විය. 

ගල්ගමුවේ 'දළ පූට්ටුවා' ලෙස හැඳින්වූ සද්දන්තයා පිළිබඳ ජනමාධ්‍යවල පළ වූ විවිධ තොරතුරු අනුව ඒ ඇත්තම දළ පූට්ටුවෙක්යැයි සිතන්නට අපි සියලු දෙනාම යොමු වුණෙමු. එහෙත් ඒ යෙදුම ඇතකුට ලැබිය යුතු ආකාරය පිළිබඳ වෛද්‍ය අතපත්තු පළමුවෙන්ම අප වෙත මෙසේ කරුණු පැහැදිලි කළේය...

"අලි-ඇතුන් පිළිබඳ ගැමියන් විවිධ මත පළ කරනවා. ඒත් ජනමාධ්‍යවල විද්‍යාත්මක කරුණු පැහැදිලි කරන අනෙක් අයගේ වගකීම තමයි නිවැරැදි දේ සොයා බලා ජනතාව දැනුම්වත් කිරීම. ඒ අනුව 'දළ පූට්ටුවා' යන නාමය ලබන්න නම් දළ දෙක එක මත එක පිහිටා පූට්ටු වී කතිර හැඩයක් ගත යුතුයි. ඒ වගේ අය 'කතිර දළයා' කියලත් සමහරු හඳුන්වනවා. වම් දළය දකුණ මත හෝ දකුණු දළය වම් දළය මතින් පිහිටන ස්ථානයත් ඒ අනුව හොඬවැල චලනය කිරීමට ඇති අපහසුතාවත් තීරණය වනවා. හොඬවැලට ඉතා ආසන්නයෙන් දළ පූට්ටු වූ විට ආහාර ගැනීම වගේම දිය පානයත් අපහසුයි. අලි-ඇතුන් දණ ගසා ඔළුව ජලයට ඔබා දිය පානය කරන්නන් නොවන නිසා මුඛයට ආසන්නව පිහිටන ජල ප්‍රභවයක් සොයාගන්නවා.

දළ පූට්ටුවෝ

ඒ පිළිබඳ ප්‍රසිද්ධම ඇතා වුණේ යාල වලස් කෙමියේ දළ පූට්ටුවායි. ඌට හොඬය නමා ජලය මුඛය තුළට ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. එනිසා වලස් කෙම පිහිටි ගල්තලාවේ උගේ උසට ගැළපෙන ජල ප්‍රභවය සොයාගෙන තිබුණා. එහෙත් මේ ගල්ගමුවේ දළ පූට්ටුවාට එවැනි අපහසුතා තිබුණේ නෑ. දළ දෙක එකිනෙක වෙත යොමු වී තිබුණත් කතිරයක් ලෙස සැකසී නැති නිසා ඌ 'දළ සමීපයකු' පමණයි. එනිසා 'දළ පූට්ටුවා' යන යෙදුම ගැළපෙන්නේ නෑ."

වෛද්‍ය අතපත්තු ඉන් පසු යෝජනා කළේ මේ සද්දන්තයාගේ දළවල දිග පිළිබඳ මෙයට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවටය.

"මාධ්‍ය ඔස්සේ දැක්වූ ආකාරයට කපාගෙන ඇති දළවල දිග අඩි 4ක් - 4.5ක් පමණ වනවා. එහෙත් ඒ දළ යුගල ඊට වඩා බෙහෙවින් දිගු විය යුතුයි. හේතුව: දළයක දිගින් තුනෙන් එකක් පමණ පිහිටන්නේ හිස් කබලට අයත් දන්ත කුහරය තුළ වීමයි. මාධ්‍යයේ දැක්වූ දළ යාන්ත්‍රික කියතකින් හදිසියට කපාගෙන ති‍බෙන්නේ හිසෙන් නැත් නම් දෙතොල් අසලින් මතු වුණු ස්ථානයෙන්මයි. ඒ බව තහවුරු වන තවත් කරුණක් වන්නේ අල්ලාගත් බව පවසන දළ දෙකේ කැපුම් තලවල කුහරයක සේයාවක්වත් ‍නොපෙනෙන තරම් ඝනකම්ව පිරී පැවතීමයි. ඒ අනුව අපට ආ හැකි තවත් නිගමනයක් වන්නේ මරා දැමූ ඇතාගේ හිස් කබල තුළ මේ ඉතිරි දළ කොටස් තිබිය යුතු බවටයි. එසේ නම් උගේ දළවල සැබෑ දිග අඩි 5.5ත් 6ත් අතර විය යුතුයි. මේවා ප්‍රසිද්ධ කිරීම හොඳ නැති වුණත් ඇත්ත කතාව නම් හරි ක්‍රමයට දළ කපන්නේ නෑ ගලවනවා මිස. එහෙත් මේ ප්‍රකාශයෙන් පසු ඒ සතාගේ මළ සිරුරටත් නිදහසේ තිබෙන්න තණ්හාධික කෑදර මිනිසුන් ඉඩ දෙයිද සැකයි."

සාමාන්‍යයෙන් ලංකාවේ අලි ගහනය මේ වන විට 3500ත් - 4000ත් අතර වන බව පවසන වෛද්‍ය අතපත්තු ඉන් 4%ක් දළ ඇතුන් බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් වසර ගණනක් තිස්සේ සිදු වුණු ඝාතන නිසා රටේ මුළු වනාන්තර පද්ධතියේම ඉතිරිව ඇත්තේ දළ ඇතුන් සියයකට අඩු සංඛ්‍යාවක් බවද ඔහු අවධාරණය කරයි.

"ඒ සංඛ්‍යාලේඛන අනුව දළ ඇතුන්ගෙන් අතළොස්සක් දළ පූට්ටුවන් වෙයි කියලා බලාපොරොත්තු වන්න පුළුවන්. එනිසා දළ පූට්ටුවකු දැකීම දුර්ලභ වුණත් ආශ්චර්යයක් නම් නොවේ. හැබැයි වලස් කෙමියේ වගේ සුවිශේෂ උන් ගැන මෑතක අසන්න ලැබෙන්නේත් නෑ.

අලි පැටවකු උපත ලැබූ විට මාසයක් ඇතුළත කිරි දත් වර්ධනය ඇරැඹෙනවා. මේවා හක්කේ වගේම ඊට පරිබාහිරවත් හොඬ දෙපැත්තෙන් ඇසට පහළින් පිහිටන කුහරයකත් මතු වෙනවා. ඒ කිරි දත් හකු දත් මෙන් විශාල පැතලි නැති, සිහින් තුඩක් සහිත අඟල් දෙක-තුනක් දිග කටු වගේ. මේවා ගැහැනු පිරිමි පැටවුන් දෙගොල්ලන්ගේම පිහිටනවා. ඒවා දළවල කිරි දත්. අනෙක බොහෝ දෙනා හිතන්නේ දළ කියන්නේ රදනක දත් කියලා. ඒක වැරැදියි. දළ බවට පත් වන්නේ කෘන්තක දත්. වැඩුණු අලින්ගේ දන්ත සූත්‍රයේ දත් 26ක් පිහිටනවා. ඉන් වැඩිහරියක් චාර්වක හෝ පුරශ්චාර්වක දත්. කෘන්තක පිහිටන්නේ කුටීරයක. මේ කිරිදත්, ස්ථිර දත් බවට පත් වන්නේ පිරිමි සතුන්ගේ පමණයි. ගැහැනු සතුන්ගේ කිරිදත් හැලී-ගිය පසු ආපසු එන්නේ නෑ. සමහර පිරිමි සතුන්ගේත් දළ බවට පත් නොවන ඒවා පණු දත් බවට පත් වන්නත් පුළුවන්. ඒවා මොට තුඩක් සහිත අඟල් 3- 4ක් වන දත් කැබැලි."

දළවල වයස

"දළ බවට පත් වන දත් සතාගේ වර්ධනය සමඟ දිගු වනවා. අවුරුදු 40 - 45 පමණ වන තුරු දළ වැඩුණත් ඒ තුළ කහරයක් ඇති වන්නේ නැති නිසා ගජමුතු හැදෙන්නේ නෑ. ගල්ගමුවේ දළ පූට්ටුවා මරා-දමන විට වයස ලෙස සඳහන් වුණේ 35-45 අතර සංඛ්‍යාවන්. කිසිදු වාර්තාවක වයස 55න් ඉහළ දක්වා නෑ. ඒ නිසා මේ සතාගේ දළ තුළ ගජමුුතු තිබුණා කියන කතාව විශ්වාස කරන්න අපහසුයි. ඇතකු ළාබාල වයසෙදී දන්ත කුහරය කේතුවක හැඩය ගත් ජෙලි වැනි ද්‍රව්‍යයකින් පිරී තිබෙන්නේ. එය රතු-රෝස පැහැයට හුරු දන්ත පල්පයක්. එහි රුධිර නාළ, ස්නායු හා වසා නාළවලින් සමන්විතයි. ඒ නිසා දළ කියන්නෙ ඉතා සංවේදි ඉන්ද්‍රියයක්. අනෙක් සුවිශේෂ කරුණ ඇතාගේ වුවත් හකු දත්වල දන්තමූලයක් තිබෙනවා. ඒත් කෘන්තක දත්වල මූලයක් නෑ. එය විවෘතව පවතින නිසා කුහරය තුළ ඇති ජෙලි වැනි ද්‍රව්‍ය හිසේ මාංසමය කොටස් සමඟ ගැටී පවතිනවා. එනිසා දළවලට දැනෙන සංවේදිතාව වේගයෙන් මොළය කරා ගමන් කරනවා. හොඳට දළ පිහිටි ඇතුන් තමන්ගේ දළ පිළිබඳ වැඩි සැලකිල්ලකින් කටයුතු කරන්නේ ඒ නිසායි. නිර්වින්දනය කළ සතකුගේ වුවත් දළ අතින් අල්ලා ගලවන්න බැරිත් ඒකයි. ඒවා මුලින්ම ගැලවිය හැක්කේ මිය ගිය සතකුගේ මස් දිය වී ගිය පසුයි. එසේ ගැලවූ දළයක පාදම ගනකම් නැති තුනී සිවියක් ලෙසයි තිබෙන්නේ. හොඳ දළ ඇතුන් පරිවාර අලින් දෙදෙනකුවත් යොදාගන්නේද මේ දළ පිළිබඳ ඇති පරිස්සම නිසයි. පිරිමි අලින් බොහෝ විට තනියන් වුවත් දළ ඇතා සමඟ යන පරිවාර සතුන් සම-රිසියන් ලෙසත් හැසිරෙනවා.

හොඳටම වයස්ගත වූ ඇතෙකුගේ දළවල කල්ක කුහරය සිඳී යනවා. හිසට සිර වී තිබූ කොටස රික්තයක් බවට පත් වෙනවා. අවුරුදු 60ක් පමණ පැන්න පසු දළය අතින් අල්ලා සොලවන්න පුළුවන් තරමට ඒ බැඳීම් ලිහිල් වෙනවා.

ගජමුතු නාදය

ඒ අතර දන්තීනයෙන් කුඩා කැබැල්ලක් ගැලවී කුහරයට වැටුණොත් එය ගජමුතුවක් බවට පත් වෙනවා. මම සොයාගත් තවත් ක්‍රමයක් තමයි, දළ පාදමේ තරමක් පහළින් දන්ත බදාමය පොඩි ගැටයක් වගේ ඉල්පිලා පසුව එය නටුවෙන් ගිලිහෙන පොඩි ගෙඩියක් වගේ ගැලවී වැටෙනවා. අලින් නිදා ගන්න විට හැර නිරන්තර හිස දෙපසට වනමින් කරන නැට්ටුක්කාර ගමනේදී මේ කැබලි ඒ මේ අතට පෙරළිලා රවුම් හැඩැති ඔප මට්ටම් දමන ලද වටිනා ගජමුතු බවට පත් වන්නේ. හැබැයි ඒ ඇත්ත ගජමුතු හාල් ඇට, කඩල ඇට වගේ මිස විශාල බිත්තර ප්‍රමාණයෙන් හැදෙන්නේ නෑ."

එසේ කියූ වෛද්‍ය අතපත්තු ඇතකු ගමන් කරන විට ගජමුතුවලින් නැඟෙන මිහිරි නාදය විඳි අවස්ථාවක්ද සිහි කළේය.

"මට ගජමුතුවල මිහිරි සංගීතය දෙවරක් අහන්න ලැබී තිබෙනවා. වරක් රිටිගල වෙඩි කෑ අලියකු අල්ලන්න ගිය වෙලාවේ ගල් පඩි නැඟලා මහන්සියට ගල්තලාවක හේත්තු වෙලා ඉද්දී ළඟ-ළඟම සිරිං-බිරිං ගාන සියුම් මිහිරි සංගීත රාවයක් වගේ ඇහුණා. බලද්දි සද්දන්ත දළ ඇතෙක් අඩි අටක්-දහයක් එහා ඔළුව වන-වන ඉන්නවා. සංගීතේ පැත්තක තියලා පණ එපා කියලා දුවන්න හිතුණත් ගල් කණුවකට මුවා වෙලා යන්තම් පණ බේරගන්න පුළුවන් වුණා. ආයෙත් ඒ සද්දේ ඇහුණේ වෙඩි වැදුණු අලියකුට බෙහෙත් කරන්න ගිය වෙලාවකයි.

ගජමුතු ගැන අපේ රටේ පුදුම විශ්වාස තිබෙන්නේ. සිතූ පැතූ සම්පත් ගජමුතු ළඟ තබාගත්තම ලැබෙන බව සමහරු හිතනවා. ඒත් ගජමුතුවක් ලැබෙන්නේ ඒ යුගයේ වුණත් එක්කෝ නින්දගම් හිමිකාරයන්ට, නැත් නම් රජුත් සමඟ බොහෝ සබඳතා ඇති අයට. එනිසා ගජමුතු තිබුණත් නැතත් ඒ අයට සැප-සම්පත් සියල්ල තිබෙනවා. විශාල ප්‍රමාණයේ ගජමුතු කියන්නේ ප්‍රෝඩාවක්. ඒවා හදන්නේ ඇත්දළ කැබලි ලොකුවට කපා ඔපදාලා. ඒවායේත් 'අයිවරි' තිබෙන නිසා හොඳින් දිලිසෙනවා. ඒවා 'කට් ඇන්ඩ් පොලිෂ්' කළ දළ කෑලි පමණයි. මේ දළ පූට්ටුවාගේ ගජමුතු හයක් තිබුණා කියන්නෙත් උගේ වයස සහ ගජමුතුවල ප්‍රමාණය අනුව විය නොහැකි දෙයක්. ගජමුතු හරියටම අඳුනාගන්න නම් එය අන්වීක්ෂයක දමා නිරීක්ෂණය කළ විට අයිවරිවල සැම අතටම විහිදී කැපී-ගිය රේඛා දකින්න පුළුවන්, හරියට දියමන්ති හැඩයෙන්."

වෛද්‍ය අතපත්තු එවන් තවත් ආශ්චර්යවත් විහිළුවක් මෙසේ හෙළි කළේය...

"මේ රටේ මතයක් තිබෙනවා දළ පූට්ටුවකුගේ දළ පිහිටීම වෙනස් වුණොත් එය විශාල හාස්කමක් කියලා. මීට වසර විස්සකට පමණ පෙර කොළඹ පන්සලක සිටි දළ පූට්ටුවෙක් කතරගම පෙරහැරට ගෙන-ගියා. පූජා භූමියේදී දළ ඇතාගේ උඩින් තිබූ වම් දළය මාරු වෙලා දකුණු දළය උඩට ඇවිත් බව ඇත්ගොව්වා දැක තිබුණා. දළ කතිරයේ පැත්ත මාරු වීම මහා ආශ්චර්යයක් නිසා රටේ විශාල වෙනස්කම් සිදු වන බව පුවත්පත් සාකච්ඡාවලින් පවා කතා වුණා. මම ඒ ගැන මුකුත් නොකීවේ අදාළ ස්වාමීන් වහන්සේ මට බොහෝ හිතවත් නිසයි. ඒත් ඇත්ත කතාව මම පසුව හෙළි කළා. ඒ තමයි බොහෝ වයසට ගිය පසු ඇත් දළය හෙලවෙනවා. සතා කිතුල් කොටයකට වගේ ඉන් ඇන්නොත් ඔය කියූ මාරුව වෙන්න පුළුවන්. එය ආශ්චර්යයක් නොවෙයි."

මේ සියලු විස්තරවලිින් පසු වෛද්‍ය නන්දන අතපත්තු සමස්ත දළ ඇතුන් වෙනුවෙන් අනතුරු ඇඟවීමක් මෙන්ම ඉල්ලීමක්ද කළේය.

"දළ ඇතුන් කියන්නේ සාමාන්‍ය අලින්ට වඩා පරිණාමයේ අඩු අවස්ථාවක් බවත් කිව යුතුමයි. ඒත් පවතින හස්ති ඝාතන රැල්ල නිසා අපට මේ සතුන් අහිමි වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ඒ නිසා සියයකට අඩු සංඛ්‍යාවක් සිටින දළ ඇතුන්ට කොලරයක් හෝ 'චිප්-එකක්' දමා උන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පියවර ගන්න. එයට යන වියදමට වඩා දළ ඇතකුගේ වටිනාකම වැඩියි. මේ කරුණ විෂයයභාර ඇමැතිවරයා පිළිගැනීම ඉතා හොඳ දෙයක්. ඒත් අධිකරණ වෛද්‍ය විද්‍යාව දියුණු යුගයක මීට වඩා ගැඹුරින් මෙවැනි පර්යේෂණ කළ හැකි බවත් මතක් කරන්න ඕනා."

පාඨක හද ගැස්මට විවර වන සිළුමිණ ‘ජනහද, ඔබේම පිටුවට නිර්මාණ එවන්න.

සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්
ඩී.ආර්.විජයවර්ධන මාවත
කොළඹ 10

අදහස්