අඹු දරුවන් රැකි ගණින්නාන්සේලා | සිළුමිණ

අඹු දරුවන් රැකි ගණින්නාන්සේලා

යුගාසන බණ මණ්ඩපය

මෙතෙක් කතාව...

බෙත්මෙ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' සාමණේර නමිනි. මොලමුරේ පෙළපත පැවතෙන්නේ එහිමියන්ගේ සොහොයුරුට කීරති ශ්‍රී රාජසිංහ රජුගෙන් ලැබුණු 'මුලමොර' ගම්වරය නිසාය. රජුගේ ආරාධනයෙන් 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩි උපාලි මහ ස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කරමය සිදු කරන ලදි. රජු විසින් වැලිවිට සරණංකර හිමියන් වෙත සංඝරාජ පදවියද වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය සහ වැලිවිට සරණංකර හිමියන් ඇසුරේ දැක්වූ දක්ෂතාවන්ට පැසසුමක් ලෙස තඹ සන්නසකින් සිරි සමනොළ ගල විහාරාධිපති පදවියද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රීපාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර් ලා සිරිපාද පාලනය ඩැහැගැනීමට යෙදූ කූට උපක්‍රම නිසාදෝ එහි පැමිණි විශේෂ විදේශ අමුත්තන් පිළිබඳ සටහන් අවම වුවත් වෙනත් භාෂාවලින් ඒවා ලියැවී තිබේ. බොහෝ රජවරුන්ද සිරිපතුල නැමදීමට පැමිණ කළ විවිධ පූජා පිළිබඳ ඉතිහාසය සාක්ෂිි දරයි. ඒ බෞද්ධයන්ගෙන් සිරිපා පාලනය ගිලිහුණේ 1581දීය.

එසේ අහිමි වූ ශ්‍රීපාද උරුමය යළි බෞද්ධයන් වෙත ලබා දුන් වේහැල්ලේ ධම්මදින්න හිමියන් පිළිබඳ සොයා බෙත්මෙ වලව්වට ගිය ගමනේ වටිනාම අවස්ථාව උදා වූයේ විසල් වෙල් යායක් මැදින් වැටුණු ගුරුපාර දිගේ වේහැල්ලේ වේළුවනාරාමයට පිවිසි විටය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ හිටපු විදුහල්පති, ශාස්ත්‍රපති අබේසේකරගම ගුණරතන විහාරාධිපති හිමියෝ අප කෙරෙහි අනුකම්පාවෙන් බොහෝ සැඟවුණු තොරතුරු මෙන්ම විහාරස්ථානයේ ඇති නේක වටිනා දෑ පිළිබඳ තොරතුරු සපයමින් උන් වහන්සේගේ පරපුරේ ආරම්භක පුරුක වන ධම්මදින්න හිමියන් පිළිබඳ අපේ දැනුම වඩාත් නිවැරැදි කළහ...

"ඇත්තෙන්ම වේහැල්ලේ ධම්මදින්න හිමියන් පැවිදි බිමට ඇතුළත් වුණේ සාමණේර නමක ලෙසත් නෙවෙයි. මොකද, ඒ කාලේ ඒ කිසිවක් තිබුණේ නෑ. ‘ගණින්නාන්සේලා‘ කියා හඳුන්වාගත් පිරිසක් හිටියා. ඒ අය විවාහ වී අඹුදරුවන් රැකි පිරිසක්. ඒ පිරිසට විරුද්ධව නැඟී ආ ගණයට අයිති වන්නේ සිල්වතුන් වහන්සේ එහෙමත් නැත්නම් ගණවොලීන්. වේහැල්ලේ ධම්මදින්න සිල්වතුන් වහන්සේ නැත්නම් ගණවොලීන් නමින් තමයි නිවැරැදි හැඳින්වීම විය යුත්තේ. පහත රටින් සිල්වතුන් වහන්සේ දෙනමක් සරණංකර ගණවොලීන් හමුවට ගියා. පසුව තමයි උපසම්පදා භික්ෂූන් වහන්සේ බවට පත් වුණේ."

එසේ පැවසූ ගුණරතන හිමියෝ වේහැල්ල ගම හා බෙත්මෙ වලව්ව පිළිබඳ කාලයේ වැල‍ිතලාවෙන් වැසී-ගිය කරුණුද හෙළි කළහ.

"ඉස්සර වේහැල්ල කියන්නේ වලව් වනාන්තරයක් වගේ. රජ කාලේ ඉඳන් පැවතෙන වලව් 11ක් මේ ගමේ තිබිලා තිබෙනවා. දියගහ, බෙත්මේ, අලුත් වලව්ව, මහරුප්පේ, කොළඹ, බෝපේගොඩ, මාබරණ වගේ නම්වලින් ඒවා තිබුණා. බෙත්මෙ කියන වචනේ තේරුම මාබරණටම සමානයි. එයින් කියැවෙන්නේ දෙවුන්දර දේවාලේ බස්නායක නිලමේ තනතුර ගැන. බෞද්ධ දරශනයට වැඩවසම් කතා විරුද්ධ වුණත් අපේ සංස්කෘතියේ පැවතුණු ඉතිහාසය අපට වැදගත්. ඇත්තම කීවොත් අපේ මේ වේළුවනාරාමයේ ධරම ශාලාවේ පවා වෙනම කොටසක් රදළයන්ට ධර්මශ්‍රවණයට වෙන් කර තිබිලා තියෙනවා. ඔය මඩුවන්වෙල රටේ රාලගේ සත්‍ය පියා වන මොලමුරේ රටේ මහත්මයාටත් මේ වේහැල්ලක මුදියන්සේ පෙළපත් නාමය සමඟ බැඳුණු සම්බන්ධයක් තිබෙනවා."

විහාරාධිපති හිමියන්ගේ ඒ ප්‍රකාශය තහවුරු කළේ අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතාය. ඔහු විභාග කළ නඩු තීන්දුවකට අදාළව හමු වූ ෆ්රැන්සිස් මොලමුරේ පළමු කථානායකවරයාගේ සීයාගේ අන්තිම කැමැති පත්‍රය එයට සාක්ෂි දරයි. මේ සියල්ලෙන් තහවුරු වන තවත් කරුණක් වන්නේ මේ රටේ සියලු වලව් පාහේ කුමන හෝ නෑකමක් ඔස්සේ එකිනෙකට බැඳී පවතින බවය.

වේළුවනාරාමයේ ධරම ශාලාවේ අදටත් ධම්මදින්න හිමියන් හදිසියට වැඩම කළ දෝලාව සහ පල්ලැක්කිය තැන්පත් කර තිබේ. පල්ලැක්කිය යනු දෝලාව වැනිම විවෘත අසුනකි. යුගාසන බණ දේශනා සඳහා සැකසූ අසුන් දෙකෙහි ඔටුනු මෙන් සැකසූ කොටස් අලංකාරය. පට්ටම් හැඩැති පිරිත් මණ්ඩපයේ සෑම ස්වාමීන් වහන්සේ නමක වෙනුවෙන්ම කැටයම් යෙදූ රාමුවක් වෙන් වී ඇත. මකුළු මැටියෙන් ආරක්ෂා කළ පරාලවල ගොනැස්ස අදටත් එලෙසම පවතී. ඉන් පසු විහාරාධීපතින් වහන්සේ අප කැඳෙව්වේ ධම්මදින්න හිමියන්ගේ පරිහරණ භාණ්ඩ මෙන්ම සර්වඥ ධාතූන් වහන්සේ එකොළොස් නමක් වැඩ සිටින කරඬුව තැන්පත් කර ඇති පුස්තකාල ගොඩනැඟිල්ල වෙතය.

මතු සබඳි... 

පාඨක හද ගැස්මට විවර වන සිළුමිණ ‘ජනහද, ඔබේම පිටුවට නිර්මාණ එවන්න.

සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්
ඩී.ආර්.විජයවර්ධන මාවත
කොළඹ 10

Comments