අපේ නම්බුව ආරක්ෂා කරලා දෙන්න | සිළුමිණ

අපේ නම්බුව ආරක්ෂා කරලා දෙන්න

හැමෝම සන්සුන් වෙලා අහගන්න.. අපේ පරම්පරාවෙ දෙදරුම් කෑම කියාගෙන මේ වලව්ෙව් වහල උඩින් කණ කොකෙක් විලාප තියාගෙන ගියා.. ඔව්.. මුළු වලව් වත්තම දෙදරුම් කෑවා...”

“අහස පොළොව ඉර හඳ තියෙනා තාක් කල් මම නම් අපේ අප්පච්චිලාට මදි පුංචිකමක් කොරන්න තියා ඕං හිතන්නෙවත් නෑ මයෙ මැණිකේ... උන්දැ රටේ මහත්තයා.. මේ ගමේ ගංමුලාදෑන්නා... ඒ මදිවට සත්ගුණවත් මහා දානපතියා.. උන්දැව දැක්කත් දකිනා එවුන්ගෙ දෑහැ හෙල්ලිලා යනවා ඕං. ඒ තරම් තේජස්.. තේජස්...!”

සිංහ මූණක් ඇති බස්තම් මිට දිහා වරින්වර බලමින් බස්තම දකුණු අතින් ඉහළට මානමින් ආලින්දයේ දිග මනිනවා වගේ එහාට මෙහාට ඇවිදින අප්පච්චි දිහා බලන ශ්‍රීමාල්ට තනියම හිනාය. ඒ වෙන මොකවත් නොව අප්පච්චි ඒ සියලුම පාරම් බාන්නේ අම්මා එක්ක වීමය. අවුරුදු විසිපහක් හයක් විතර තිස්සේ අප්පච්චි මේ වන්නම හැමදාම වගේ ගායනා කරන්නට ඇති. අම්මාත් ඒවා අහගෙන ඉන්නත් ඇති. හිත යටින්වත් අම්මාට හිනා යනවා කියලා හිතන්නත් අමාරුය. ඒ තරමට ඈ කීකරු සුවච භාර්යාවකි.

“හා... හා.. අපේ මහත්තයා.. දැන් වාඩිවෙලා මේ තේ ඩිංග සප්පායම් වුණානං..”

අම්මා අප්පච්චිට තේ පිළිගන්වයි.

අප්පච්චිගේ කතාව නවතින්නේ තේ එක තොලගාන නිසාය. කන බොන වෙලාවට කොහොමත් අප්පච්චි කතා කරන්නේ නැත.

ශ්‍රිමාල් සුසුමක් හෙළා පාඩම් පොතට එබෙයි. කොහොම හරි විභාගය සමත් කරගෙන විශ්වවිද්‍යාලයට යා යුතුය. හොඳ රැකියාවක් හොයාගෙන කොළඹට පැන ගත යුතුය. මේ ගෙදර ගත කරන්නේ හිර ගෙදරක වගේ ජීවිතයකි. ඒ, මේ ගෙදරක් නොව වලව්වක් නිසාය.

අප්පච්චිගේ බලපරාක්‍රමය හතර අතේම විසිරිලාය. අක්කර බර ගාණක පොල්වතු ‍තේ වතු වගේම තෙල් මෝල් තේ පැක්ටර් අප්පච්චි සතුය. ඒවා පාලනය වන්නේ පෙර කල පටන්ම පවුලට හිතවත් කාර්ය මණ්ඩලයක් විසිනි. එහි ප්‍රධානියා අත්තනායක ලියන මහත්තයාය. සද්දයක් ඇහිලා ශ්‍රිමාල්ගේ අවධානය වෙනස් වෙයි.

“අයියෙ ඇහුණද අපේ අප්පච්චි මිදුලෙ ඉන්න ගිරවුන්ට මයිනන්ට කාක්කන්ට හිටං වලව්වෙ පම්පෝරිය ගායනා කරනවා..”

ජයමාල් මල්ලිගේ හිනාකට ශ්‍රිමාල්ගේ සිතේ සතුට වඩවයි. අවුරුදු පහක් විතර බාල වුණාට ජයමාල් හරියට යාළුවකු වගේය.

ජයමාල් සමඟ ශ්‍රිමාල් ද ආලින්දයට පිවිසෙන්නේ හරියට විනෝදයක් ලබන්න වගේය. විශාල ආලින්දයේ පඩි තුනක් විතර බැස්සාට පස්සේ අලංකාර ගෘහ අංගණයයි. එය මිදුලක් නොව මල්වත්තක් වගේය. මේ උද්‍යානය නඩත්තු කරන්නේ ගෙදර උයන පිහන වැඩ කරන සිරියා ‍ෙග් සැමියා ජන්තුය. ජන්තු කීවාට ඔහුගේ හරි නම දීග ජන්තුය. ඔහු ඒ තරමට උසමහත කෙනෙකි.

“හා.. හා... කාපල්ලා.. කාපල්ලා.. උඹලට ඉතිං මෙහෙම වලව්වකින් මොකෝ ගව්ගාණක් ගියත් කන්න ලැබෙන එකක්යැ. මේ දිස්ත්‍රික්කෙටම ඉතිං මෙච්චර තමා.. හහ්.. මේ ජන්තුවා ඔය තව කෙහෙල් ගෙඩි ටිකක් අරන් වර.. මං උඹට දවසකුත් කීවා මේ කුරුලු කූඩුව ඉඩමදි මුන්ට..!”

විල්ප්‍රඩ් රත්නසේකර හාමු මහත්තයාගේ උදෑසන ගෝරණාඩු මුරය එහෙමය. නමුත් ඒ ගෝරණාඩුව යට සැඟවුණු තව කේන්තියක් ඇත. ජයමාල් අයියාට ඉඟි කර කනට කර මෙසේ කියයි.

“අනේ මන්දා අය‍ියෙ අප්පච්චිලගෙ මේ විකාර කතා.. ඔක්කෝම කුරුල්ලන්ට ලේනුන්ට ගින්න නිවන්න කිය කියා කන්න දෙනවා. උන්ගෙ කන් පැළෙන්න තරම් ‘වලව් වන්නම’ කියවනවා.”

ඒ අතරේ ජන්තුවා කුස්සිය පැත්තේ ඉඳගෙන සිරියාට ඇහෙන්න යම් යම් දේවල් කියයි.

“අනේ මන්දා අපෙ හාමු මහත්තයාට මොනවා වෙලාද කියලා. බලපං වලව්වට උතුරු පැත්තෙ එක කුරුලු කූඩුවයි. ඒක අඩි දෙකක් දිග දෙකක් පළල එකක්. ඒකත් මදි කියන්නෙ.. මොකෝ අලියෙක් පියාඹලා එනවෑ ඕකෙන් කන්න..!”

සිරියාගේ වැඩේ ජන්තුවාගේ ඒ කතාවලට බඩ අල්ලාගෙන හිනාවෙන එකය. හිනාවෙනකොට ඇගේ ඇහිවලින් කඳුළක් පනියි. ජයමාල් හෙමිහිට කුස්සිය පැත්තට ගාටන්නේ මේ හිනාව අඳුනාගෙනය. දෙන්නා කසාද බැඳලා අවුරුදු දහයක විතර පුතෙකුත් සිටී. ඒත් තාම හිනා කතා ඉවරවෙලා නැතුවා වගේය.

“බලන්නකෝ බේබි හාමු.. අපේ මනුස්සයාගෙ කතා..!”

“කතාව ඇත්ත නේන්නං සිරියා.. ගෙදර උතුරු පැත්තෙ එක කුරුලු කූ‍ඩුවක්.. නැගෙනහිර පැත්තෙ තව එකක්.. බස්නාහිර පැත්තෙ තව කූඩුවක්.. මුළු ගමේම ඉන්නා ලේන්නුයි ගිරවුයි මයිනොයි පොල්කිච්චොයි උදේට හවසට ඇවිත් අප්පච්චිගෙ අ‍ඳෝනාව අහනවා..”

“හා.. හා.. බලාගෙන බේබි හාමු හිමීට.. හිමීට.. ඇහුණොත් හොඳ නෑනේ..” ජන්තුවා යාප්පුවෙයි.

“උඹලා දැනගනිල්ලා මේ වලව්ව උඩින් පියාඹන්න වගේම මේ වත්තෙ දේවල් කන්න බොන්නත් උඹලාපිං කරලා තියෙනා. ඒක එසේ මෙසේ බලපුළුවන්කාරකමක් නෙමේ බොලව්.. මේ වලව්වෙ මහ ඇත්තො ඉංගිරිසි ආණ්ඩුකාරයින්ගෙන් පවා පිදුම් ලබපු උත්තමයො.. උන් එක්ක හරි හරියට කතාබතා කොරපු.. එහෙව් අපි.. ඔව්.. එහෙව්.. අපි..!”

වත්ත වටේටම බස්තම කරකවමින් ගමනේ යෙදෙන හාමු මහත්තයා ආලින්දයේ කෙටි පඩියට ගොඩවෙනවාත් එක්කම ජන්තුවා හෙළන්නේ සැනසුම් සුසුමකි. ඒ කියවිල්ලට වඩා වත්තේ ගස්කොළන් ගැන ඇද කුද කිය කියා තමාගෙන් වැඩ ගැනීමේ කෙළවරක් නැති නිසාය.

“උඹ දන්නවායැ සිරියා.. අද ලොකු හාමු හිතේ අමාරුවෙනුයි ඔය කට කියවන්නෙ. උදේම කෝල් එකක් ආවානේ රත්නපුරේ වලව්වෙන්..”

“ඉතිං..”

සිරියා කියන්නේ බේබි හාමු එහා මෙහා වෙනකල් ඉඳලාය.

“උඹලට කියන්න එහේ මහ විසාල අලකලංචියක් වෙලා... තාම ඒක හාමු මහත්තයා මැණිකෙටවත් කිව්වෙ නෑ බං මයෙ හිතේ.. ඒකයි මැණිකෙ හාමු ඔය තමා නිවිච්ච තාලෙන් ඉන්නෙ..”

“එත‍කොට උඹලා ඒ පයිංඩෙ හොරෙං අහං හිටියානේ... අනේ හැබෑට උඹලගෙත් පුරුද්ද...”

“ෂ්...! කට වහගං යෝදියෙ මං ඕක අහන්න ගොහිං උන්නෙ නෑ, මං කවිච්චි ටික පොලිස් කොර කොර ඉද්දි කෝල් එක ආවෙ.. හහ්.. මං.. මයි ලොකු හාමුට‍ ගිහිං කීවේ ටැලිපෝං නාද වෙනවා කියලා..! කිසිම කෙනෙක් පැත්ත පළාතක හිටියෙ නෑ ඕං...”

“හැබෑට... මොකක්ද ඒ ආරංචිය එහෙනං...?”

“හිටිං මං කියනකං...!”

ජන්තු හිමින් සීරුවේ හරිබරි ගැහී බංකුවේ වාඩිවුණේ කාටවත් නෑහෙන්නට ඒ ආරංචිය කියන්නටය.

“මොකෝ අම්මේ... අපේ අප්පච්චිට අද වෙලා තියෙන්නෙ...?” කෑ ගසාගෙන කුස්සිබරාදය දිගේ එන ශ්‍රීමාල් බේබිහාමු දැකලා සිරියා ජන්තුට ඉඟියක් කළේ එනපොට හොඳ නැති බව දැනගෙනය. ජන්තු කලබලවී වටපිට බලන්නේ මැණිකේ හාමු මේ පැත්ත පළාතකවත් නැති නිසාය. දැන් ජන්තු දෙලොවක් අතරය. හාමු මහත්තයා පරල වෙලා සිටින අහවල් කාරණාව දැනට දන්නේ තමුන් විතරක්ය. ඒක බේබි හාමුට කීවොත් සිරියා කියන්නා වගේ මහා නොසණ්ඩාල වැඩක් කරපු එකෙක් ගාණට තමුන් වැටෙනවාය. එහෙම ළතැවෙද්දීම දෙවියෝ එව්වා වගේ මැණිකේ හාමු එන්නේ වෙච්ච සිද්ධිය කෑ ගසා කියමින් පපුවටත් ගසාගනිමිනි.

“අනෙ.. අප්පේ... මයෙ දෙයියා ‍‍කොහොම උහුලාගන්නද මේවා...!”

“මොකක්ද අම්මේ ඇත්තට වුණේ.. කෑනුගහා කියලා හිටියා නම්..” ශ්‍රීමාල් අම්මාට ළංවුණේ ඉක්මනටම කාරණාව දැනගන්ටය.

“රත්නපුරේ සමන්ති අක්කා හොඳ ජල්ලියක් අල්ලලානේ පරම්පරා හතකම මූණුවල දැලි ගෑවෙන්න..”

“මොකක්ද අම්මේ වුණේ කියන්නකො..!” දැන් ජයමාල් ද එතැනට එන්නේ වේගයෙනි.

“අර.. අරකි.. සමන්ති.. ඇහේ මූණෙ තියාගෙන හැදුවෙ.. හහ් හපොයි දෙයියනේ මගෙ පපුවත් එක්ක කකියනවා..”

“මොකක්ද අම්මේ කෙටියෙන් කියන්නකො මොකද සමන්ති අක්කට..”

“කෙටියෙන්..? හහ්.. ඒකි පැනලා ගිහිල්ලා..!”

“පැනලා ගිහිල්ලා.. කාත් එක්කද..”

“කොහෙද යන කඩප්පුලියෙක් එක්ක..!”

නිර්මලා මැණිකේ පපුව අල්ලාගෙන පොඩි කැස්සකුත් එක්ක කුස්සියට යන්නේ උණුවතුර එකක් බොන්නය. සිරියා ඉක්මනින් ඒ ආවතේවය කර මැණිකෙව බරාදයේ හාන්සිපුටුවේ වාඩි කරවන්නේ ක්ෂණිකවය.

ශ්‍රීමාල් මඳක් මෙහාට වී මල්ලිට ඇහෙන් ඉඟිකරයි. ජයමාල් අයියාගේ කණට කර හෙමින් කියන්නේ වචන තුනකි.

“කව්ද දන්නෙ නෑ ඒ කඩප්පුලියා!”

“මං යනවා මල්ලි පාඩම් කරන්න...”

ශ්‍රීමාල් අඩියට දෙකට කාමරයට පැන ගත්තේ අප්පච්චිගේ දේශනාව පටන්ගන්ට කලියෙන්. උදේ ඉඳන්ම වලව් කැක්කුමක් ඇති කරගෙන හිටියෙ එහෙනම් මේකට තමයි. එක අතකට බලාගෙන ගියාම පව් කියලත් හිතෙනවා අප්පච්චිලා ගැන. නූගත්කමට ඔළුව උඩ තියාගෙන ඉන්නේ ගඳ ගහන අශූචි ගොඩවල්... පැය බාගයක් පාඩම් කරන්ට ලැබෙන්නේ නැත. කාමර දොරට හෙමිහිට තට්ටු කරන ජන්තුවාගේ ඇඟිල්ලක් පෙනෙයි.

“ලොකු බේබි හාමු... ලොකු බේබි හාමු...!”

“ඇයි මොකද ජන්තු... බෙරිහන් දෙන්නේ...?”

“අනේ.. ලොකු බේබි හාමු.. ලොකු හාමු කතා කරනවා...”

“ඇයි මට කතා කරන්නෙ... මල්ලි නැද්ද...” ජන්තු ගොළු බසින් යමක් කියයි.

සිද්ධිය තේරුම්ගත් ශ්‍රීමාල් වහා කාමරයෙන් පිටතට එයි. ඒ වනවිට සාලයේ කෑම මේසය පිරිලාය. ඒ කෑමවලින් නොව ගෙදර සිටින මිනිසුන්ගෙනි. මේසය වටේට අප්පච්චි, අම්මා ජයමාල් මල්ලී... ඊළඟට මේසය ළඟ හිටගෙන ජන්තුවා සිරියා... අත්තනායක ලියන මහත්තයා... ජන්තුවාගෙ කොල්ලා කුමාර...

“මොකද මේ...” කෑගසා එසේ ඇසිය යුතුව තිබුණද ශ්‍රීමාල්ගේ දිව ඊට නැමුණේ නැත.

“ආ... ලොකු පුතාත් ඔහොම වාඩි වුණානං...”

විල්ප්‍රඩ් රත්නසේකර හාමු මහත්තයා දේශනාව පටන්ගනියි.

“මේ මම හැමෝටම ඇහෙන්න තමයි කියන්නේ මේ කිසිම කෙනෙක් වලව්වේ ගරුත්වයට ගාම්භීරත්වයට හානි කරන... වලව්වේ ගෞරවේ නැතිකරන කිසිම දෙයක් කිරීම තහනම්.. ඒක මතක තියාගන්නවා... ජන්තු... සිරියා... කුමාර... ඉස්සෙල්ලාම මම කතා කරන්නේ උඹලාට... ඔය කඩමණ්ඩියට ගියාමත් එක එකා එක්කලා අනවශ්‍ය පයිරුපාසානම්... ඇයි හොදැයි බෑ ඕං... තමුන් ගිය වැඩේ කරගත්තා ඒ සැනෙන් ආවා.... ගමේ එව්වො එක්ක කතාබතා අරහං.... තේරුණාද...?”

සිරියා ජන්තුවා සහ කුමාර.. තුන්දෙනාම ඔළුව වනයි. ඒ වනන්නේ එක සැරේටමය. ශ්‍රීමාල්ට හිත යටින් හිනාය. හොර ඇහැක් යොදා මල්ලි දිහා බලන්නේ ඒ නිසාය. මල්ලිත් කට තදකරගෙන කුරුල්ලෙක් වගේ උඩුතොල උල්කරගෙනය. හිනාව බකස් ගා පනින්න කලින් ශ්‍රීමාල් මේසයට යටින් ජයමාල් ‍ෙග් කකුල පාගයි...

කකුල ගසන්නේ අම්මාය.

“ෂිහ්... සිරියා මේ පූස්ව එලෝපං...!”

ශ්‍රීමාල්ගේ හිනාව හංගන්නට බැරිව මහා කැස්සක් එයි. මූණ වහගෙන දෙතුන් පාරක් කැස්ස විට ඒ හිනා අවේගය යම්තමට හෝ යටපත් වෙයි.

ආයෙත් හාමු මහත්තයා රැල් බුරුල් අරියි.

“ඊළඟට මං නොකිව්වත් හාමුලාගේ නම්බුව ගරුත්වය රැකගෙන ඉන්නා හැටි අපේ ලියන මහත්තයා දන්නවා... කෝ... මේ අද කරුණාපාල.. නැද්ද මැණිකේ...?”

ඒ අසන්නේ රියැදුරා ගැනය.

“අම්මාට අසනීප වෙලා ගමේ ගියානේ අපෙ මහත්තයා. රෑ එයි..” නිර්මලා මැණිකේ මතක් කරයි.

“මේ රත්නසේකර වලව්වෙ ගෞරවේට කවදාවත් හානියක් මදිපුංචිකමක් නොකළ කෙනෙක් මේ ලියන මහත්තයා... දැනට අවුරුදු කීයක්ද? හතළිහකටත් එහා කාලයක් තිස්සේ යස අගේට මේ වැඩපළවල් බලාකියාගෙන ඒ රාජකාරිය අකුරට ම කරනවා. ඒක හරිම නම්බුකාරයි... බොහෝම ඉහළයි...!”

හැමෝම නිශ්ශබ්දය. හරිනම් අප්පුඩියක් ගහන්නයි වටින්නේ. ජයමාල්ට හිතෙයි. ඉස්කෝලෙදි වගේ විසිල් පාරක් ගහලා ප්‍රශංසාව උණුසුම් කරන්නයි තියෙන්නෙ.. ශ්‍රීමාල්ගේ යටිහිතට හිතෙන්නේ පුංචි හිනාවකුත් එක්කයි. ඒ එක්කම අප්පච්චි අලුතින් රැල් බුරුල් අරියි.

“ඊළඟට මම කතා කරන්නේ... අපේ වලව් පරම්පරාවේ නම්බුව ගෙනියන්න ඉන්නා අපේ අනාගත ලොකු හාමු මහත්තුරු දෙන්නට! ඔයාලා ලොකු ඉස්කෝලවලට දාලා අපි ඉගැන්නුවේ ඔයාලගෙන් අපට කන්න බොන්න සැලකිලි බලාපොරොත්තුව නෙමෙයි බව දන්නවානෙ... අනුන්ගේ තැන්වලට ගිහිල්ලා කැඹිරුවෙ නැති වුණාට ඔයදෙන්නට පරම්පරා ගාණක් කාලා ඇඳලා යහතින් ඉන්න පුළුවන් බූදලයක් තියෙනවා. කරන්න තියෙන්නෙ මේවා නැති නාස්ති නොකර රැකබලා ගන්නා එකයි... අදට ගැළපෙන විදියට තමුන්ගෙ උගත්කම යොදවලා ඒවා ආරක්ෂා කරගන්නා එකයි... නේද ලියන මහත්තයා...?”

“එහෙමයි ලොකු හාමු...”

“ඒ එක්කම..., තව එකක්... ඒක හුඟාක් වැදගත් දෙයක්... මං.. මේ දේ කියන්නේ මැණිකේ... මේවා ආපහු තව එක සැරයක්වත් කියාපාන්න මම කැමති නැති නිසා... (අම්මාද ඔළුව වනනවා ශ්‍රීමාල්ට වගේම ජයමාල්ටත් පෙනෙයි) ඔය ළමයි දෙන්නා කොහේ ගියත්... මෙනවා කළත්... ආස්සරේ කරන්න ඕනෑ තමුන්ගෙ තත්වෙට ගැළපෙන අය... (පුටුවෙන් නැගිටිමින් ඔහු නැවත වේගවත්ව කියයි..) ඒ කිව්වෙ... තමන්ට ගැළපෙන ඉහළ පෙළැන්තියේ අය...! දැන් දන්නවානේ අද උදේ පාන්දරම මහා භයානක සද්දයක් ඇහුණා... මේ වලව්වම දෙදරලා ගියා.. වලව්වෙ වහල හෙල්ලුම් කනවා... (දැන් ලොකු හාමුගේ කටහඬ වෙව්ලයි. පපුවට ද අතක් යයි. හැමෝම බයවෙයි.)

“හැමෝම සන්සුන් වෙලා අහගන්න.. අපේ පරම්පරාවෙ දෙදරුම් කෑම කියාගෙන මේ වලව් වහල උඩින් කණ කොකෙක් විලාප තියාගෙන ගියා.. ඔව්.. මුළු වලව් වත්තම දෙදරුම් කෑවා...” දැන් ලොකු හාමු කඳුළකුත් පනිනවාය. හැමෝම බියපත්වෙලාය. දෙයියනේ අපෙ මහත්තයාගෙ සිහිය විකල් වෙලාද... නිර්මලා මැණිකේගේ හිත දොඩමලු වෙයි. හැමෝම මූණට මූණ බලාගෙනය.

ඊළඟට ඔහු ශ්‍රීමාල් සහ ජයමාල්ව ළඟට ළං කරගෙන ඔහුගේ මූණට දරුවන් දෙදෙනාගේ මූණු ළං කරයි.

“අපේ නම්බුව ආරස්සා කොරලා දෙන්න දරුවනේ... මේ වලව්වෙ නම්බුව... උඹලාගෙ සීයලා රජකාලේ ඉඳන් ම ආරස්සා කොරාගෙන ආපු නම්බුව... ඒක රැකලා දීපල්ලා දරුවනේ..!”

විල්ප්‍රඩ් හාමු ඊළඟට එතැන තිබුණු හාන්සි පුටුවේ දිගාවෙයි. පොඩිපුතාගේ කොහොම වෙතත් ලොකු පුතා ශ්‍රීමාල්ගේ ඇස්වලට කඳුළු ඇවිල්ලාය. ඔහු ඒවා පිසගනිද්දී නිර්මලා මැණිකේ වගේම ලොකු හාමුත් දකියි. ඊළඟට ඔහු මැණිකේට අතින් සංඥාවක් කරයි.

“හා... දැන් ඔයාලා යන්න තම තමුන්ගෙ වැඩවලට.. ඉන්න අපෙ මහත්තයා මම තේ ඩිංගක් හදාගෙන එන්නම්කො...”

ඔසරි පොටෙන් කඳුළු පිහිමින් නිර්මලා මැණිකේ මුළුතැන්ගෙට යද්දී සිරියා ඊට කලින් ගිහිල්ලාත් ඉවරය.

ඒ එක්කම වලව් අංගණය පැත්තෙන් ලොකු සද්දක් ඇසෙයි. මොකක්දෝ වාහනයක් වේගයෙන් ඇවිත් තිරිංග තදකරන හඬකුත් ඒ එක්කම... හැමෝම දැන් කන් යොමාගෙන ඇස් ලොකු කරගෙන කටවල් ඇරගෙනය...!

ලබන සතියට

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.