අපට ඕනෑ සිතින් මෙන්ම ගතින් ද නිරෝගි වෙන්නයි | සිළුමිණ

අපට ඕනෑ සිතින් මෙන්ම ගතින් ද නිරෝගි වෙන්නයි

මහර රැඳවියන්ට අලුතෙන් කාය වර්ධන මධ්‍යස්ථානයක්

“සිරගෙදර සිටියත් කොහේ සිටියත් යම් අයෙක් කාය වර්ධනයේ යෙදෙනවා නම් ඒ පිළිබඳ හදාරනවානම් ඔහු ඒ පිළිබඳ නිවැරැදිව දැන ගතයුතුයි. කාය වර්ධනය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. කෙනෙකුට තමන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යෑමට එය ඉතාම වැදගත්. විශේෂයෙන්ම සිරගතව සිටින අයට තමන්ගේ මානසික තත්වය පවත්වාගෙන යෑමට එය ඉතාම වැදගත්. මේ සිරගෙදරදී පුහුණු වන අය යම් දිනෙක හිරගෙදරින් නිදහස්වූ පසු ඔවුන්ට පවර් වල්ඩ් ආයතනයේ මෙන්ම වෙනත් කාය වර්ධන ආයතවල පුහුණුකරුවන් ලෙස රැකියා අවස්ථා ලබාදීම‍ට මම සුදානම්.

හිරගෙදර යනු අමුතු තැනකි. එහි විවිධාකර පුද්ගලයෝ වෙති. විවිධාකාර පුද්ගලයෝ තම දඩුවම් කාලය තුළ විවිධ චර්යා රටාවන්ට හුරුව සිටිති. ඇතැම් චර්යාවන් සාමාන්‍යය. ඇතැම් චර්යාවන් අසාමාන්‍යය. නීති විරෝධීය. ‍මේ සියලු දේවල් අතර හිර ගෙදර සිටින රැඳවියෝ තම සෞඛ්‍ය තත්ත්වය ගැන ද සිතති. ඇතැමෙක් තම සිරුර හැඩට තබා ගැනීමට කැමතිය. ඔවුහු ඒ වෙනුවෙන් විවිධ දේ කරති. බර උසුලා සිරුරේ හැඩය තබා ගැනීමට උත්සාහ දරති. සිර ගෙදර කාය වර්ධනය වඩවා ගැනීමට උපකරණ නොමැති විට ඇතැමුන් සිමෙන්ති ටිකක් සොයා ගෙන එයින් බර ඉසිලිමට පුරුදුව සිටිති. එසේත් නොමැතිනම් ලීටර් පහේ වතුර බෝතල්වලට වැලි පුරවා එයින් බර ඉසිලීමට හුරුව සිටිති. මෙවැනි දේ සෑම බන්ධනාගාරයකම ඇත්තේය. නමුදු අතීතයට වඩා දැන් බන්ධනාගාර පද්ධතිය කුළ බොහෝ සාධනීය ලක්ෂණ ඇත්තේය.

“සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන කියමන සත්‍යයක් කරමින් ඉකුත් දා සිරකරුවන්ගේ සි‍මෙන්ති පොට්ටනි, වැලි බෝතල් ආදී වූ බර ඉසිලීමේ ලට්ට ලොට්ටවලට සමු දෙමින් නවීන යන්ත්‍රෝපකරණ සහිත කායවර්ධන මධ්‍යස්ථානයක් මහර බන්ධනාගාරයේදි ආරම්භ කෙ‍රිණි. “පවර් සෙල්” නම් වූ මෙම කායවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ පවර් වල්ඩ් ආයතනයේ නිර්මාතෘ හා අධිපති ටලවෝ අලලීමා හා ජාත්‍යන්තර හාවස්ට් ආයතනයේ සභාපති රොඩ්නි පෙරේරා මහත්වරුන්ගේ ධන පරිත්‍යාගයෙනි.

සිරගෙයක් ඇතුළත කාය වර්ධන මධ්‍යස්ථානයක් ඇරැඹි පළමු අවස්ථාව මෙය නොවේ. මන්ද මීට පෙර බෝගම්බර බන්ධනාගාරයේ ද කුඩා කාමරයක කායවර්ධන උපකරණ කිහිපයක් සහිතව කාය වර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කෙරිණි. නමුදු එය පසු කාලිනව අසාර්ථක විය. බෝගම්බර බන්ධනාගාරය වසා දැමුණු අතර දැන් එම බන්ධනාගාරය පවත්වාගෙන යනු ලබන්නේ දුම්බර නව බන්ධනාගාරයේය. කෙසේ වුවත් නවීන උපකරණ සහිතව ඇරැඹි කාය වර්ධන මධ්‍යස්ථානය පිළිබඳ අලලීමා මහතා පවසන්නේ මෙවැනි කතාවකි.

“සිරගෙදර සිටියත් කොහේ සිටියත් යම් අයෙක් කාය වර්ධනයේ යෙදෙනවා නම් ඒ පිළිබඳ හදාරනවානම් ඔහු ඒ පිළිබඳ නිවැරැදිව දැන ගතයුතුයි. කාය වර්ධනය කියන්නේ ඉතාම වැදගත් දෙයක්. කෙනෙකුට තමන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යෑමට එය ඉතාම වැදගත්. විශේෂයෙන්ම සිරගතව සිටින අයට තමන්ගේ මානසික තත්වය පවත්වාගෙන යෑමට එය ඉතාම වැදගත්. මේ සිරගෙදරදී පුහුණු වන අය යම් දිනෙක හිරගෙදරින් නිදහස්වූ පසු ඔවුන්ට පවර් වල්ඩ් ආයතනයේ මෙන්ම වෙනත් කාය වර්ධන ආයතවල පුහුණුකරුවන් ලෙස රැකියා අවස්ථා ලබාදීම‍ට මම සුදානම්. ඒ වගේම අනෙක් බන්ධනාගාරවලත් කායවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කරනවා නම් මම ඒවාටත් උදව් කිරීමට සුදානම්.” ඔහු පවසන්නේ සද්භාවයෙනි.

පවර් සෙල් කායවර්ධන මධයස්ථානය සඳහා ලබා දී ඇති කාය වර්ධන උපකරණ සියල්ල ගෙන්වා ඇත්තේ ඇමෙරිකාවෙනි. වටිනාකම රුපියල් මිලියන 1.5කි.

කෙනෙතු යම් වැරැද්දකට දඬුවම් ලබා හිරේ යනවා කියන්නේ ඔහුට මුළු මහත් සමාජයම අහිමි වීමකි. කිසිවෙක් ඔවුන් පිළි නොගනිති. ඔහුට ඡන්ද අයිතිය පවා අහිමිය. ඔවුනට යළිත් සමාජ ගතවන දිනෙක වටිනාකමක් ලැබෙනවා නම් ලැබෙන්නේ සිරගෙදරදී ලැබෙන පුනරුත්ථාපන ක්‍රියාවලිය හේතුවෙනි. බන්ධනාගාරයේදී විවිධ රැකියා වෘත්තිය පුහුණුව ලද්දෝ එයින් පිටව ගොස් අද යම් යම් ආයතනවල රැකියා කරති. ඇතැම්හු ස්වයං රැකියා කරති. යම් දිනෙක කායවර්ධන පුහුණුව ලැබ හිරගෙදිරින් පිටව ගිය දිනෙක මොවුන්ද එසේ රැකියා කරනු ඇත. ‍

තමන් ලද මේ මහඟු අවස්ථාව පිළිබඳ රැඳවියෙක් අප හා මෙසේ පැවැසුවේය.

“මම හොඳ රැකියාවක් කරපු කෙනෙක්. මගේම මෝඩකම නිසා තමයි මට හිරේ එන්න වුණේ. මම ගෙදර ඉන්න කාලේ ජිම් ගියා. එත් හිරේ ආවට පස්සේ ඒ හැම දේම නැති වුණා. අපි කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි පොඩි උපකරණ හදාගෙන ව්‍යායාම කළා. ඒත් හිරගෙදර ඉන්න අපිට මේතරම් පහසුකම් තිබෙන ජීම් එකක් ලැබීම වාසනාවක්. ”

රැඳවියා පවසන්නේ සතුටිනි.

රැඳවියන් පවර් සෙල් ජීම් එකට යන්නේ කාල සටහනකට අනුවය. ඔවුහු පැය කිහිපයක් පුහුණුව ලබති. ජීම් එකට යෑමට බේදයක් නැත. අච්චු රැඳවියන්ට මෙන්ම රිමාන්ඩ් රැඳවියන්ට ද ජිම් එකට යා හැකිය. එමෙන්ම මරණ දඬුවම නියම වී සිටින රැඳවියන්ට ද ජීම් එකට යෑමට පුළුවන. අද වන විට මත්ද්‍රව්‍ය භාවිතය ඉතාම සාර්ථකව පාලනය කර ඇති මහර බන්ධනාගාරයේ බොහෝ පුනරුත්ථාපන වැඩ සටහන් ක්‍රියාත්මක වන්නේය.

මහර බන්ධනාගාර අධිකාරී තුසිත අයි. උඩුවර මහතා තම ආයතනයේ කැරෙන පුනරුත්ථාපන කටයුතු පිළිබඳ මෙසේ පවසන්නේය.

“ අපට අවශ්‍ය මේ රැඳවියන් හිර ගෙදරින් එළියට යන දාට ඔවුන්ට යම් වටිනාකමක් දීමටයි. භාවනා වැඩ සටහන්, දේශන විවිධ රැකියා අවස්ථා සඳහා වෘත්තිය පුහුණුව ලබාදෙන අතරේ අපේ ආයතනයේ අලුතෙන්ම පටන් ගත් වැසටහන තමයි පවර් සෙල් මධ්‍යස්ථානය. මෙම ඹධ්‍යස්ථානය අපට දුන් ටලවෝ අලලීමා මහතා හා රොඩ්නි පෙරේරා මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රැඳවියන් වෙනුවෙන් මෙවැනි සත්කාරයක් කළ එක ගැන. අපට අවශ්‍ය සිරගතවන පුද්ගලයන් යහපත් මානසික තත්ත්වයෙන් යුතුව මෙන්ම මෙතැනින් පිටවෙලා ගිය දි‍නෙක සමාජයට බරක් නොවී ජීවත් වීමට මඟක් සකස් කර දීමයි. රැඳවියන් බොහොම කැමැත්තෙන් ‘පවර් සෙල්’ එකට එන්නේ. ඔවුන්ට නිසි පුහුණුව ලබාදීම සඳහා පවර් වර්ල්ඩ් ආයතනයෙන් අපට පුහුණු කිරීම සඳහා නිළධාරියකු ලබා දී තිබෙනවා. රැඳවියන්ගේ සුබ සාධක කටයුතු සඳහා බොහෝ ආයතන හා පුද්ගලයන් අපට උදව් කරනවා. ඒ හැම කෙනෙකුටම අප ස්තුති වන්ත වෙනවා. ”

මිනිසුන් හැමදාම වැරදි කරන්නේ නැත. නමුදු සිර ගෙට ගිය පමණින් කෙනෙකු පුනරුත්ථාපනය වන්නේද නැත. කලක් මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම ජංගම දුරකථන භාවිතය අතින් බොහෝ පරිහානියට පත්ව තිබූ මහර දැන් ඒ සියල්ලෙන් මිදී සිටින්නේය. එකම වැරද්ද වී ඇත්තේ ඉතා රහසිගතව ගෙන එන ‘දුං කොළ’ කැබැල්ලත් ‘ඩන්සින්’ පෙත්තත්ය. පෙත්ත ගෙන එන්නේ ඇතුම් විට කුඩුකර පරිප්පු හොද්දට හෝ බත් පාර්සලයේ ව්‍යංජනයට කලවම්කරය. මෙය අල්ලා ගැනීම අසීරුය. එය අල්ලා ගත හැක්කේ රාත්‍රියේදි පෙත්ත කෑ වුන් පිස්සු නටන්නට ගත් විටය. දැන් බන්ධනාගාර නිලධාරීන් වෙහෙසෙන්නේ ‍මෙය අල්ලා ගැනීමටය.

අදහස්