ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් නව නිපැයුම්කරුවන්ට අතහිත | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් නව නිපැයුම්කරුවන්ට අතහිත

 දේශීය නව නිපැයුම්කරුවන්ට සිය නිර්මාණ ප්‍රවර්ධනය සදහා තාක්ෂණික, මූල්‍ය හා නීතී ආධාර ලබා දීමේ අරමුණින් නව නිපැයුම්කරුවන් සඳහා වූ අරමුදල ආරම්භ කර තිබේ. ඒ අනුව එම අරමුදල මගින් නිර්මාණශීලී දක්ෂතා ඇති ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කර ප්‍රචලිත කිරීමට, ඒවා නිෂ්පාදනයන් බවට පත් කර දේශීය/විදේශීය වෙ‍ෙළඳපොළට ඉදිරිපත් කිරීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලෙස ගොඩනැගීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට හා නව රැකියා උත්පාදනයට මඟපෙන්වමින් ආධාර ලබා දීම සිදුකෙරේ.

නව නිපැයුම් සදහා මූල්‍යාධාර අයදුම් කර සිටින නව නිපැයුම්කරුවන් අතරින් තෝරා ගත් ඉහළ වාණිජකරණ විභවයක් සහිත නව නිපැයුම් සඳහා මූල්‍යාධාර ලබා දීමට “නව නිපැයුම් දිරිය” නමින් වැඩසටහනක්ද ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් දියත් කර ඇත.

ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ විනිශ්චය අනුව අදාල තෝරා ගැනීම් සිදුකෙරේ. එහි පළමු අදියර යටතේ නිර්මාණශිල්පීන් හතර දෙනෙකු සඳහා මූල්‍යාධාර ලබා දීම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ දී සිදුවිය.

නවෝත්පාදන අදහස් යථාර්ථයක් බවට පත් කරලීමේ අරමුණ මුදුන්පත් කිරීම වෙනුවෙන් ජාතික නවෝත්පාදන සේවා මධ්‍යස්ථාන (National Incubation Centres) දිස්ත්‍රික්ක 05ක් මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු කරයි. මේ වන විට එහි ප්‍රථම මධ්‍යස්ථානය ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ පිහිටුවා තිබේ.

දෙවන මධ්‍යස්ථානය යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටද සම්පාදනය කර ඇති අතර එම මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා වැය වන මුදල වන රු. 9,664,805.45 ක(රුපියල් නව මිලියන හය ලක්ෂ හැටහතර දහස් අටසිය පහක් සහ ශත හතළිස්‌ පහ) ක මුදල යාපනය විශ්වවිද්‍යාලය වෙත පිරි නැමීම ද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් සිදු කෙරිණි.

ශ්‍රී ලාංකික නව නිපයුම්කරුවකු වන ප්‍රසන්න විතානගේ මහතා විසින් නිර්මාණය කරනු ලැබූ “සූර්ය තාප වියලනය” නම් නව නිපැයුම වාණිජකරණය කිරීම සඳහා වාණිජ සහකරුවකු ලෙස සම්බන්ධ වීමට චීනයේ, Apricus Solar Co. Ltd. ආයතනය කැමැත්ත පළ කර ඇති අතර සමඟ කොමිසමේ මැදිහත් වීමෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කෙරේ.

මෙම වාණිජකරණ ක්‍රියාවලියේ මූලික පියවරයන් ලෙස දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවීම හා අනාගත සහයෝගීතාවට මුලික අඩිතාලම දැමීමේ අරමුණින් Apricus Solar Co. Ltd. ආයතනය වෙත ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහේෂ් එදිරිසිංහ සහ ප්‍රසන්න විතානගේ යන මහත්වරුන් කාර්මික සංචාරයක නිරත වන අතර ඉදිරියේ දී ශ්‍රී ලංකා නාමය සහිත නිරමාණයක් ලෙස එය ජාත්‍යන්තර වෙ‍ෙළඳ පොළට එක්කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා වී තිබේ.

චන්දිමා එදිරිමාන්න

Comments