විටමින් D අඩු වුණොත් දරුවා මිටි වේවි | සිළුමිණ

විටමින් D අඩු වුණොත් දරුවා මිටි වේවි

දරුවකුගේ උස අඩු බව යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

දරුවාගේ වර්ධක සටහනේ දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය හා වයසට අදාළව උස පරාසය -2 sd වඩා පහළ මට්ටමක සීටී නම් එම ළමයා මිටි ලෙස සැළකිය හැකි ය.

ළමා වියේ දී උස වර්ධනය වන්නේ කෙසේ ද?

දරුවකුගේ වර්ධනය උපරිම වශයෙන් සිදු වන්නේ උපතේ සිට මුල් අවුරුදු 02 සම්පුර්ණ වන අවස්ථාවේ දී ය. මෙම කාලයේ දී උස වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පෝෂණ තත්ත්වය වේ. ඉන් පසු අවුරුදු 03 සිට අවුරුදු 09, 10 දක්වා අතර කාල පරාසවලදී දරුවන්ගේ උස ක්‍රමයෙන් වර්ධනය වේ. අවුරුද්දකට සෙන්ටිමීටර 5 - සෙන්ටිමීටර 7 පමණ උස වර්ධනය වීම සිදු වේ. ඉන් පසු වැඩිවියට පත් වන අවධියේ දී මෙම දරුවන් නැවත සීග්‍රයෙන් උස යයි. වැඩිවියට පත් වන ගැහැණු දරුවන්ගේ උස යාම සාමාන්‍යයෙන් පිරිමි දරුවන්ට වඩා කළින් සිදු වේ. නමුත් පිරිමි දරුවන් මෙම අවධියේ දී ගැහැණු දරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් හා වඩා දිගු කාලයක් උස යයි. එම නිසා වැඩිහිටියන් වශයෙන් ස්ත්‍රීන්ට වඩා පුරුෂයින් උස වැඩි ය.

පුද්ගලයෙකුගේ උසට බලපාන හේතු ‍මොනවා ද?

කෙනෙකුගේ උසට බලපාන සාධක වෙනස් කළ හැකි සාධක හා වෙනස් කළ නොහැකි සාධක ලෙස වෙන් කළ හැකි ය. වෙනස් නොකළ හැකි සාධක ලෙස දෙමව්පියන්ගෙන් ලැබුණූ උස නිර්ණය කරන , ජාන වර්ග, ස්ත්‍රී පුරුෂ භාවය,සඳහන් කළ හැකි ය.

වෙනස් කළ හැකි සාධක ලෙස පෝෂණ තත්ත්වය,දීර්ඝ කාලීන රෝග සහ හෝමෝන ඌනතා දැක්විය හැකි ය.

දරුවකුගේ ශරීර උස අඩු වීමට බලපාන හේතු සාධක මොනවා ද?

මේ සඳහා බලපාන හේතු බොහොමයක් ඇත. අප මිටි යැයි සඳහන් කළ දරුවන් බොහොමයකට ඇත්තේ රෝගයක් නිසා හටගත් මිටි බවක් නොවේ. බොහෝ විට මව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මිටි වීම නිසා ඇතිවන ජානමය බලපෑම හෝ දරුවකු වැඩිවිය පත්වීම ප්‍රමාද වීම නිසා ඇති වන මිටි බව වශයෙන් මෙම මිටි බව හැඳින්විය හැකි ය.

මව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම මිටි වීම නිසා ඇතිවන ජානමය බලපෑම සහ දරුවකු වැඩිවිය පත්වීම ප්‍රමාද වීම නිසා ඇතිවන මිටි බව සඳහා විශේෂ ප්‍රතිකර්ම අවශ්‍ය නැත. නමුත් දරුවන්ගේ උස මාස 06 කට වරක් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ළමයා අවශ්‍ය පරිදි වර්ධනය වේ යැයි නිර්ණය කිරීම බොහෝ විට සෑහේ.

නමුත් විවිධාකාර රෝගී තත්ත්ව නිසා ද දරුවකු මිටිභාවයට පත්විය හැකි ය. සමහර අවස්ථාවලදී එය එම රෝගයේ පළමු රෝග ලක්ෂණය විය හැක. එම නිසා දරුවකු සැළකිය යුතු ප්‍රමාණයක් මිටි නම් හෝමෝන ස්‍රාවයන්( තයිරොක්සින් හෝමෝනය,වර්ධක හෝමෝනය), නිදන්ගත රෝගී තත්ත්ව ( වකුගඩු රෝග, හෘදයාබාධ ) සින්‍ඩ්‍රෝම තත්ත්වයන් ( Turner Syndrome ) ද තව ද මන්දපෝෂණ තත්ත්වය නිසා ද බරින් මෙන් ම උසින් ද අඩු විය හැකි ය.

මිටි බව හේතුවෙන් දරුවා සමාජයේ දී විවිධ ගැටලුවලට මුහුණපානවා නේද?

‍බොහෝ අවස්ථාවලදී දරුවන්ගෙන් විමසු විට මිටිබව හේතුවෙන් විවිධ විහිළු තහළුවලට ලක් වී තිබෙන බව හෙළිදරව් වී තිබේ. තව ද පන්තියේ අනෙක් දරුවන්ට සාපේක්ෂව කුඩා නිසා ඔවුන් වයසින් අඩු දරුවන් මෙන් සළකනු ලබයි. මේ හේතූන් දෙකම දරුවකුගේ පෞරුෂ වර්ධනයට අහිතකර ලෙස බලපාන අවස්ථා බොහෝ ය. සමහර විට දරුවන් පාසැල් යාමට අදිමදි කරන තරමට ම මෙම ගැටලුව උග්‍ර වී තිබේ. ඒ නිසා එම දරුවන්ට සමාජයෙන් කොන් වීමට සිදුවේ.

කුඩා කාලයේ පවතින උස අඩුබව දීර්ඝකාලීනව තිබිය හැකි ද? එසේත් නැත්නම් එය යථා තත්ත්වයට පත් කළ හැකි ද?

එය යථා තත්ත්වයට පත් කළ හැකි ද යන්න නිර්ණය කිරීම සඳහා කරුණු රාශියක් බලපානු ලබයි. මේ සඳහා ප්‍රථමයෙන් ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. දෙමව්පියන් මිටි නම් බොහෝ විට එම දරුවා ද වැඩිහිටි වියේ දී මිටි වීමට ඉඩකඩ ඇත. නමුත් වැඩිවිය පත් වීම ප්‍රමාද වු දරුවන් නම් ඉදිරියේ දී අනෙක් ළමුන් හා සමානව වැඩිහිටි උසකට පත් වනු ඇත.

හෝමෝන ඌනතාවලින් පෙළෙන දරුවන් නම් හෝමෝන ලබා දීම මඟින් එම දරුවන්ගේ උස වර්ධනය කළ හැකි ය. මිටි බව වෙනත් රෝගී තත්ත්වයක සළකුණක් නම් එම නිදන්ගත රෝගය අනුව මෙය නිර්ණය වේ.

දරුවාගේ උස අඩු බව අවම කිරීම සඳහා පිළිපැඳිය යුතු උපදෙස් මොනවා ද?

නිසි පෝෂණ මට්ටමක් කුඩා කාලයේ සිට ම පවත්වාගෙන යා යුතු ය. විශේෂයෙන් ම ළදරුවියේ දී ඇතිවන මුත්‍රා අසාදන කල් ඇතුව හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ගැනීම,( වකුගඩු රෝග වළක්වා ගැනීම) සහ දරුවකු වර්ධනය වෙද්දී උස වර්ධක සටහනේ නියමිත ආකාරයට උස වැඩි නොවේ නම් කල් ඇතුව ‍වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

මිටිබව වළක්වා ගනිමින් නිසි වයසේ දී නිසි උසක් පවත්වා ගැනීම සඳහා දරුවා කළ යුතු ශාරීරික ක්‍රියාකාරකම් මොනවා ද?

දරුවකුගේ උස දෙමව්පියන්ගෙන් ලැබුණු ජාන වර්ගය සහ ස්ත්‍රී පුරුෂ භාවය අනුව නිර්ණය කළ හැකි ය. ශරීරික ක්‍රියාකාරකම් දරුවකුගේ උස වැඩිකළ නොහැක. නමුත් ශාරීරික ක්‍රියාකාරකම් මඟින් දරුවකුගේ අස්ථි ශක්තිමත් වේ. එම නිසා මිටි දරුවෙකුට වුව ද අනෙක් දරුවන් මෙන් ශාරීරික ක්‍රියාකාරකම් හිතකර වේ.

දරුවකුගේ උස අඩු වීම සඳහා ශරීරයට අත්‍යවශ්‍ය විවිධ පෝෂණ සංඝටක හිඟ වීම බලපානවා නේද?

දරුවාගේ වර්ධනය සිදු වීම සඳහා නිසි පෝෂණයක් අවශ්‍ය ය.එම නිසා දරුවකු දීර්ඝ කාලයක් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ නම් දරුවාගේ උස අඩපණ විය හැකි ය. තව ද විටමින් D ඌනතාවය නිසා ද දරුවකුගේ අස්ථි ශක්තිමත්භාවයෙන් අඩු වීම ( Rickets ) තත්ත්වය නිසා ද මිටි විය හැකි ය.

දරුවාගේ උස අඩුබව නිසා පසුකාලීනව( වැඩිහිටි අවධිය) වන විට ඇති වන සංකූලතා මොනවා ද?

"මිටි බව " රෝගී තත්ත්වයක් නොවේ. එම නිසා වැඩිහිටියෙකු මිටි වීම නිසා විශේෂ වෛද්‍ය සංකූලතා ඇති නොවේ. කාන්තාවක් ගැබිණි සමයේ මිටි නම් දරු උපතේ දී ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැක. නමුත් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මඟ හරවා ගැනීමට පුළුවන.

මිටිබව නිසා ඇතිවන ප්‍රධානතම සංකූලතාවය වන්නේ අහිතකර සමාජීය බලපෑම ය.නමුත් මිටි දරුවන් තමන්ගේ ස්වකීය පෞරුෂත්වය නිසි ලෙස සකස් කර ගැනීම සහ මිටිබව නිසා දරුවා මානසිකව පීඩාවට පත් ව ඇත්නම් එම දරුවාට නිසි වෛද්‍ය හෝ මනෝ විද්‍යාත්මක උපදෙස් ලබා ගැනීම වැදගත් විය හැකි ය.

උස වැඩි කිරීමට ප්‍රතිකර්ම තිබේ ද?ඒවා භාවිතා කිරීම සුදුසු ද?

දරුවන්ගේ උස වැඩි කිරීම සඳහා වර්ධක හොමෝන එන්නත විශේෂ අවස්ථාවලදී භාවිතා කරනු ලබයි. මෙය සුදුසු වන්නේ වර්ධක හෝමෝන ඌනතාවයක් ඇති දරුවන්ට සහ Turner Syndrome වැනි විශේෂ ආබාධිත තත්ත්ව ඇති දරුවන් සඳහා ය. මේ සඳහා විශේෂිත පර්යේෂණ සහ විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කළ යුතු ය.

සමාජයේ ඇතැම් විට දී අගුටුමිටි පුද්ගලයින් ( Achondroplasia) සිටිනවා. එසේ වීමට හේතුව කුමක් ද?

"Achondroplasia " තත්ත්වය ජානවල ගැටලුවක් නිසා හට ගන්නා තත්ත්වයකි.එහිදී එම පුද්ගලයින් මිටි වන්නේ ඔවුන්ගේ අස්ථි වර්ධනයේ ගැටලුවක් නිසා ය. ඔවුන්ගේ වර්ධක හෝමෝනය සාමාන්‍ය මට්ටමින් පවතී. එම නිසා ඔවුන්ගේ උස වැඩි කිරීමට දැනට නිශ්චිත ප්‍රතිකර්ම නැත. නමුත් මේ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් යනු ලබයි.

මදාරා මුදලි‍ගේ

අදහස්