රටේ ඉදිරි ගමනට මහ බැංකු ස්වාධීනත්වය අත්‍යවශ්‍යයයි | සිළුමිණ

රටේ ඉදිරි ගමනට මහ බැංකු ස්වාධීනත්වය අත්‍යවශ්‍යයයි

 පසුගිය වසර පුරා “පත්තර” පිටු පුරා පුවත් මැවු ශ්‍රී ලංකා මහ බැංකුව මේ 2018 වසර ආරම්භයත් සමඟම යළි ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් විය. 2015-2016 කාලයේ මහබැංකු ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතු පිළිබඳව පරික්ෂා කිරිම සඳහා පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභා අවසන් වාර්තාව පසුගිය 30 දා ජනපති අතට පත් විය. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 03 දා මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අදාළ කොමිසන් සභා වාර්තාවේ අන්තර්ගතයේ සංක්ෂිප්තයක් රට හමුවේ තැබුවේය. මෙමගින් රටේ හිටපු රාජ්‍ය මූල්‍ය ප්‍රධානින් දෙපොලකට චෝදනා එල්ල කර තිබිම රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධයෙන් වඩාත් බරපතළ කාරණාව විය. මෙම කූප්‍රකට ගනු-දෙනු නිසා රජයේ අංශ වෙත රුපියල් බිලියන 8.5 ක අලාභයක් සිදු ව ඇති බවත් ඒ පාඩුව අදාළ වගකිව යුත්තන්ගෙන් අය කළ යුතු බවත් කොමිසම නිර්දේශ කර ඇත. රටම බලා සිටින්නේ ඉදිරියේදි මෙම වාර්තාව පදනම්ව කෙසේ අධිකරණමය ක්‍රියා මාර්ග කෙසේ ගන්නේද යන්නත් එය මැතිවරණයක් අභීයස ඉදිරි දේශපාලන බලතුලනයට කෙසේ බලපායිද යන්නත්ය.මෙහිදි මහ බැංකුව ආශ්‍රිතව තිබු දුබලතා හා ඒවා වළක්වා ලිමට ඉදිරියේදි ගත යුතු ක්‍රියාමාර්ග ගැනද කොමිසම නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. මේ අතරේ එදිනම (03දා) පෙරවරුවේ මහ බැංකුව 2018 වසර සඳහා වන ස්වකිය ආර්ථීක මාර්ගෝපදේශන සැලැස්මද රට හමුවේ තැබිය. මෙහිදි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කළ ප්‍රධාන කාරණාව වුයේ රටේ සාර්ව ආර්ථීක ස්ථායිතාවය ඇති කර උද්ධමන ඉලක්ක ගත මහ බැංකු මුදල් ප්‍රතිපත්තිමය තීරණවල ප්‍රායෝගිකත්වය වැඩි දියුණු කිරිමට මෙන්ම ඒ සඳහා ඇවැසි ආයතනගත රාමුව ගොඩ නැංවිමට ස්වකිය මහ බැංකු බලතලවල නිශ්චිත බව වැඩි දියුණු කිරිම, මහ බැංකු ස්වාධිනත්වය, පාලනය, විනිවිද බව වගවිම ඉහළ නැංවිම ආදිය සඳහා මුදල් නීති පණත සංශෝධනයට ලක් කර මුදල් හා රාජ්‍ය මුල්‍ය කාර්යයන් එකිනෙකින් වෙන් කිරිම අත්ය්වශ්‍ය බවයි. ගිය වසරේ අපේක්ෂිත සියයට 4ක ආර්ථීක වෘධියට සාපේක්ෂව මේ වසරේ සියයට 5-5.5 ක ආර්ථීක වෘධි අගයකුත් ඉන් ඔබ්බට සියයට 6/7 ක ආර්ථීක වෘධි අගයකුත් කෙටි හා මැදි කාලිනව මහ බැංකුව අපේක්ෂා කරන බවද සඳහන් විය.

EAP - අර්බුදයේ තරම

මේ අතර නව වසරේ ආරම්භක වැඩ කරන දිනය වු පසුගිය අඟහරුවාදා (02දා) දිනම මහබැංකුවට වැඩ අධික කැලඹිලි සහිත දිනයක් විය. ඒ පසුගිය සති අන්තයේ පළ වු මාධ්‍ය වාර්තා පදනම් කර “අනවශ්‍ය”කලබලයකට පත්, කාලයක් පුරා ශ්‍රී ලංකාවේ කිර්තිමත් ව්‍යාපාරික ජාලයක්ව පැවති EAPසමුහ ව්‍යාපාරයේ අර්බුදයට පත් මුදල් සමාගම් වන ETI Finance හා ස්වර්ණමහල් මුදල් සමාගම් වල 35,000 කට අධික තැන්පතු කරුවන් ස්වකිය තැන්පතු අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමයි. මේ අනුව වහා අදාළ සමාගම් වල අනවශ්‍ය ද්‍රවශිලතා ගැටලු ඇති විම වැලැක්විම සඳහා මැදිහත් වු මහ බැංකුව ඒවායේ කල් පිරෙන ස්ථාවර තැන්පතු මුදල් පියවිම මාස 06 ක කාලයක් සඳහා අත් හිටුවිමට පියවර ගත් අතරේ එම සමාගම්වල ඉදිරි ණය දිම් හා ආයෝජන සම්බන්ධයෙන්ද සීමා පැනවිය. කෙසේවෙතත් මෙසේ කල් පිරෙන කාලය දිගු කිරිමට අදාල සියලු පොලි වරප්‍රසාද එලෙසින්ම ලබා දෙන බවටද පොරෙන්දු විය.ඒ සමගින් අදාළ සමාගම්හි පාලන බලය ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවලින් මුදවා ගෙන මහ බැංකුවේ සෘජු අධික්ෂණයට යටත් ත්‍රීපුද්ගල කළමනාකරණ මණ්ඩලයක් යටතට පත් කරමින් තාවකාලික පදනමින් අදාළ සමාගම් පත්ව ඇති ද්‍රවශිලතා ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දිමට පියවර ගත්තේය.මේ අනුව මහබැංකුවේ බැංකු නොවන මුල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක වරයෙකු හා හිටපු සහකාර අධිපතිවරයෙකු වු සේපාල රත්නායක මහතාගේ මුළිකත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මේ සඳහා පත් කළ අතර එම සමාගම්වල වැඩිදුර නියාමනය වෙනුවෙන් පුර්ණ කාලිනව තාවකාලික පදනමකින් මහ බැංකු නිලධාරින් 06 ක් අනියුක්ත කිරිමටද පියවර ගත්තේය. එමෙන්ම වහා ද්‍රවශිලතා ආධාර ලෙස රුපියල් මිලියන 4 ක මුදලක් රාජ්‍ය බැංකුවක් හරහා ණය මුදලක් ලෙස අදාළ සමාගම් වෙත ලබා දිමට පියවර ගන්නා බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.

මහ බැංකුව දැනටමත් අර්බුදයට පත් එමෙන්ම මහ බැංකු මුදල් මණ්ඩලය පිළිගත හැකි සුදුසු ආයෝජකයෙකු සොයා ගැනිමේ දුෂ්කරතාවයකින් කලක් පටන් පෙළෙන CIFL,CITY Finance සහ ස්ටැන්ඩර්ඩ් කැපිටල් යන මුදල් සමාගම් සම්බන්ධයෙන් ඉදිරි ගණන් බේරා වසා දැම්මට අදාළ පුර්ව පියවරද මේ වන විටත් ගෙන ඇත. මේ හා සමාන අර්බුදයක් ප්‍රාථමික අලෙවිකරුවෙකු වන Entrust සමාගමේද දැනට කලක සිට තිබෙන අතර අදාළ තත්ත්වය සම්බන්ධයෙන්ද මහ බැංකුව කටයුතු කරමින් ඇත.

EAP සමුහ ව්‍යාපාරයේ මුදල් සමාගම් පත්ව ඇති මෙම අර්බුදකාරි තත්ත්වය පිළිබඳව මාධ­්‍ය දැනුම්වත් කිරිම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ මහබැංකු ස්වාධිනත්වයට එල්ල වු විවධ දේශපාලන අතපෙවිම් නිසා මහ බැංකුවේ ස්වාධින මුදල් සමාගම් නියාමන කාර්යයභාරයට එල්ල වු බලපැම් මෙම මුදල් සමාගම් අර්බුද දිග් ගැස්සවිමට හේතුවක් වු බවයි. කෙසේ නමුත් අදාළ තත්ත්වයන් දැන් මඟ හැරි ඇති බැවින් මෙවර ස්වකිය නියාමන කාර්යය සාර්ථකව නිම කිරිමට හැකිවෙතැයි හෙතෙම විශ්වාශය පළ කළේය.

“එදා තිබු දේශපාලන බලපැම් නිසා අපේ නියාමන කාර්යයට විවිධ දුෂ්කරතා එල්ල වි තිබෙනවා. ඒ නිසා මෙම අර්බුදයට නිසි පිළියම් යෙදිමට අපිට නොහැකි වුණා. නමුත් දැන් එම තත්ත්වය මඟ හැරි තිබෙනවා.” යැයි ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා කීය. ශ්‍රී ලංකාවේ රුපියල් ට්‍රිලියන 11.5 කට අධික බැංකු හා මුල්‍යායතන සතු වත්කම්වලින් රුපියල් බිලියන 36 ක් හෙවත් සියයට 0.3 ක සාපේක්ෂ සුළු නියෝජනයක් මෙම අර්බුදකාරි EAPසමුහ ව්‍යාපාරයේ මුදල් සමාගම් සිදු කරන බවයි.

“දැනටමත් ඩොලර් මිලියන 75 ක ආයෝජනයකින් EAPසමුහ ව්‍යාපාරයේ ස්වර්ණමහල් මුදල් සමාගම, හෝටල් ව්‍යාපාර, සිනමා හා විනෝදාස්වාද ව්‍යාපාර සහ දේපොළ වත්කම් ඇතුළු අනුබද්ධ සමාගම් 09 ක් මිලදි ගැනිමට (මැලේසියානු) ආයෝජකයෙකු (අරමුදලක්-නම සදහන් නොකරයි) ඉදිරිපත්ව සිටිනවා. දැනටමත් ඔහු ඩොලර් මිලියන 4 ක මුදලක් මෙම මුදල් සමාගම් වල ද්‍රවශිලතා අර්බුද වෙනුවෙන් ණය පදනමින් නිකුත් කර තිබෙනවා. අදාළ ආයෝජකයා ගේ ආයෝජන හැකියාවන් හා විශ්වාශනියත්වය තහවුරු කර ගත් විගස අදාළ අවසන් ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගන්නවා” යැයිද කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

මෙම වසරේ ජනවාරි 01 දා සිට ශ්‍රී ලංකාවේ 51 ක් වන මුදල් හා කල් බදු සමාගම් සඳහා වන අවම ප්‍රාග්ධන සීමාව රුපියල් 400 සිට රුපියල් බිලියන 1 දක්වා මහ බැංකුව විසින් ඉහළ නංවා ඇත. මෙම ඉහළ නංවන ලද අවම ප්‍රාග්ධන සීමාව සපුරා නැති සමාගම් 10 ක් පමණ තවදුරටත් ඇති බවත් ඉදිරියේදි අදාළ විමර්ශනයන් සිදු කර යම් නිශ්චිත කාලසිමාවකින් පසු සුදුසු පියවර ගන්නා බවද මහ බැංකුව කියයි. මෙම අවම ප්‍රාග්ධන සිමා 2019 දි තවදුරටත් රුපියල් බිලියන 1.5 දක්වා ද 2020 දි බිලියන 2 දක්වාද වැඩි කිරිමට මහ බැංකුව පියවර ගනිමින් ඇත. එමෙන්ම ඉදිරියේදි මෙම සමාගම් සඳහා සියයට 12 ක ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් හඳුන්වා දිමටද යන බව සඳහන්ය. ඒ අනුව මුදල් සමාගම් අතරේ ඒකාබද්ධයන් දිරි ගන්නවා මුළු මුදල් සමාගම් ප්‍රමාණය අවම වශයෙන් 2020 වන විට 20-25 දක්වාත් අඩු කිරිමට අපේක්ෂා කර ඇත. ශ්‍රී ලංකාවේ සමස්ත මුදල් හා බැංකු සමාගම් සතු වත්කම්වලින් සියයට 8 ක් පමණක් මුදල් සමාගම් නියෝජනය කරයි. පසුගිය වසරේ බැංකු අංශය සියයට 15 කින් වර්ධනය වෙත්දි බැංකු නොවන අංශය සියයට 20 කින් වර්ධනය වි ඇත. මේ අතරේ සියලු මුදල් සමාගම්වල කාර්යය සාධනය ඇගැයිම සඳහා මුල්‍ය අනුපාත විශ්ලේෂණය යොදා ගැනිමටත් ඒසේ අවම කාර්යය සාධන මට්ටම්වල පිහිටා නැති සමාගම් වෙනුවෙන් මහ බැංකුවේ අලුතින් ස්ථාපනය කළ නීතිය බලාත්මක කිරිමේ ඒකකය හරහා “රතු නිවේදන” නිකුත් කිරිමටත් කටයුතු කරන බව මහ බැංකුව පවසයි.

ඩොලර් ණය

මේ අතර සතියේ කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි හෙළිදරව් වුයේ මේ වසරේ අය-වැයෙන් අනුමත කරන ලද රුපියල් ට්‍රිලියන 1.9 කට ආසන්න මුළු රාජ්‍ය ණය ඇස්තමේන්තු පදනම් කර රජය ඩොලර් බිලියන 5 ක් බැඳුම්කර නිකුතු මගින් රැස් කිරිමට නියමිත බවයි. ඒ අනුව ජාතික සංවර්ධන බැඳුම්කර නිකුතු කිරිම් මගින් ඩොලර් බිලියන 3 ක්ද තවත් ඩොලර් බිලියන 2 ක් සෛවරිත්ව බැඳුම්කර නිකුතු මගින්ද මුදල් රැස් කිරිමට මේ වසරේ අදාළ කැබිනට් අනුමැතිය ලැබි ඇත.

මෙයින් ඩොලර් බිලියන 2.5 ක් මේ වසරේ කල් පිරෙන ජාතික සංවර්ධන බැඳුම්කර නිකුතු යළි නිකුත් කිරිම් ලෙසද ඉතිරි ජාතික සංවර්ධන බැඳුම්කර නිකුතු මුදල් ශේෂය වන ඩොලර් මිලියන 500 රාජ්‍ය අය-වැය හිඟය පියවිමට අදාළව හා සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනිමට ද නියමිත බව මහ බැංකුව කියයි.

ඉහළ මැදි ආදායම් ලබන ආර්ථීකයක් බවට පත් වෙමින් ඇති ලක් ආර්ථීකය අදාළ පරිවර්තන හා ඉන් පසු අවධිවලදි ලෝක ආර්ථීක තත්ත්වයන් හා දැඩි ඒකාබද්ධතාවයකින් යුතුව කටයුතු කිරිමට අපේක්ෂා කරයි. එහිදි මතුවන අවදානම් හා අස්ථාවරයන්ට මුහුණ දිය හැකි වාතාවරණයක් ගොඩ නැගිමට අදාළ පුර්ව සුදානම ඇති කර ආර්ථීක හා ව්‍යාපාරික තීරණ ගන්නා උදවියගේ නිරවද්‍ය පුරෝකතන හැකියාවන් වැඩි දියුණු කිරිමට ඇවැසි ක්‍රියාමාර්ග ගැනිම මෙවර ඉදිරිපත් කළ මහ බැංකු ප්‍රතිපත්ති පෙර දැක්මේ අරමුණ වි ඇත.

ඒ අනුව මහ බැංකු 2018 ප්‍රතිපත්ති පෙර දැක්ම මෙම 2018 වසර හා ඉන් ඔබ්බට ප්‍රධාන අංශ 03 ක් යටතේ මාතෘකා රාශියක ආවරණය කරමින් එළි දක්වා තිබිණි. එමගින් මහ බැංකු මුදල් ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කිරිම, මුල්‍ය අංශයේ අධික්ෂණය සවිමත් කිරිම, නවීන මුල්‍ය තාක්ෂණ මෙවලම් හා සයිබර ආරක්ෂණ ක්‍රමවේදයන් පෙරදැරිව ගෙවිම් සහ පියවිමේ පද්ධතිය නවීකරණය කිරිම සහ රාජ්‍ය ණය කළමනාකරණය නවීන මෙවලම් හා විනිවිද බවකින් යුතු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවිම මගින් යාවත්කාලින කරමින් සිය ආයතනික රාමුව දැඩි ලෙස ශක්තිමත් කිරිමට මහ බැංකුව අපේක්ෂා කරයි.

උද්ධමන ඉලක්කකරණය

මිල ස්ථායිතාවය තහවුරු කිරිම සඳහා නම්‍යශිලි උද්ධමන ඉලක්කකරණ රාමුවක් (Flexible Inflation Targeting Framework-FIT) ඇති කිරිමට මහ බැංකුව දැනටමත් පියවර ගෙන ඇත. මෙමගින් 2020 හා ඉන් ඔබ්බට ආර්ථීකයේ සියයට 4-6 ක මට්ටමේ උද්ධමන අනුපාතයක් පවත්වා ගෙන යාමට මහ බැංකුව අපේක්ෂා කරයි. මෙම යෝග්‍ය අගය පරාශය තුළ ආර්ථීකයේ සැපයුම් අංශයේ දුබලතා හා බාහිර කම්පනයන් ගෙන් ඇති වන බලපැම්වලින් මිදි ඵලදායි මිළ ස්ථායිතාවයක් ඇති කර රැකියා බහුල කල් පවත්නා ආර්ථීක වෘද්ධියක් ඇති කර ගැනිමට මහ බැංකුව පියවර ගනිමින් සිටි. මෙය ඉහළ උද්ධමන - අඩු ආර්ථීක වෘධි අනුපාත උගුලෙන් මිදිමට ඇති සුදුසුම ක්‍රියාමාර්ගය බව මහ බැංකුව කියයි.

මුදල් හා උද්ධමනය අතර පවත්නා දුර්වල සම්බන්ධතාවය සහ මූල්‍ය වෙළඳපොළ වැඩි දියුණු විම වැනි කාරණා නම්‍යශිලි උද්ධමන ඉලක්කකරණ රාමුවක් වෙත යාමට මහ බැංකුව දිරි ගැන් වු බවද සඳහන්ය. මේ සඳහා මහ බැංකු ප්‍රතිපත්තිමය පොලි අනුපාතය හා විවිධ වෙළෙඳපොළ කටයුතු අවශ්‍ය කරන ආර්ථීක මැදිහත් විමේ මෙවලම ලෙස යොදා ගැනිමට මහ බැංකුව කටයුතු කරනු ඇත. සමස්ත මුදල් ප්‍රසාරණය හා වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත සපයන ලද ණය තත්ත්වය යන විචල්‍ය මෙහිදි සලකා බලන ප්‍රධාන නිර්ණායක අතර වේ.

මෙම නම්‍යශිලි උද්ධමන ඉලක්කකරණ රාමුව ගොඩ නැගිම හා සාර්ථක විම සඳහා මහ බැංකුවේ බලතල හා එහි විශ්වාසනීයත්වය ශක්තිමත් මට්ටමක තිබිම, සාර්ථක මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තිබිම, රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය මගින් ලැබිය යුතු රජයේ අඛණ්ඩ සහයෝගිතාවය සහ දැඩි කැපවිම අත්‍යවශ්‍ය බව මහ බැංකුව කියයි.

බාහිර ආර්ථීකය ශක්තිමත් කර එනම් තරගකාරි අපනයන හා විදේශ සෘජු ආයෝජනයන් දිරි ගන්නවා ණය නොවන මුලාශ්‍රවලින් මේ වසරේ මූලිකව විදේශ සංච්ත ගොඩ නැංවිමට මහ බැංකුව අපේක්ෂා කරයි. එහිදි තවදුරටත් නම්‍යශිලි විනිමය අනුපාතයක් පවත්වාගෙන යාමට මහ බැංකුව අපේක්ෂා කරයි. උපායමාර්ගික වත්කම් වෙන්කිරිමේ රාමුවක් මගින් ප්‍රමාණවත් ද්‍රවශිලතා මට්ටමක් පවත්වා ගෙන යමින් සාධාරණ ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනිමේ අරමුණ ඇතිව විදේශ විනිමය සංචිත කළමනාකරණය කිරිම සහතික කිරිම සඳහා කටයුතු කරන බවද සඳහන්ය.

වෙනස් වන දෙස් විදෙස් සමාජ ආර්ථීක වතාවරණයන්ට උචිත පරිදි ස්වකිය නව ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග හඳුන්වා දිමට මහ බැංකුව හැකි සැම විටම සැදි පැහැදි සිටින බවද සඳහන් කර ඇත.

මුදිත ගමගේ 

අදහස්