සුළඟ වැස්ස මුහුද | සිළුමිණ

සුළඟ වැස්ස මුහුද

කර්තෘ - රන්ජිත් ධර්මකීර්ති

මිල - රු. 380.00

ක්ෂේත්‍ර ගණනාවක කුසලතා ප්‍රදර්ශිත රන්ජිත් ධර්මකීර්ති නැවත සිය පාඨකයාට නැවුම් නිර්මාණ සංග්‍රහයක් පිරිනමා තිබේ. ඔහුගේ තුන්වන ලෝකයේ කතාවක්, ප්‍රදීපාගාරය යට, හුදෙකලාවූ මිනිහෙක් වැනි උත්තම කතා සංග්‍රහයන් සමඟ සසඳන කල මෙහි විශේෂත්වයක් ගැබ්ව තිබේ. එය විදේශීය අත්දැකීම් පාදක කොටගෙන කෙටිකතා නිර්මාණය කර තිබීමයි. අප මෙහි ආරම්භයේදී ‘නැවුම්’ යන වදන භාවිත කළේ එය පෙරදැරි කර ගෙන ය. තාරකා, හිඟන්නෝ, සර්පයා අතිශයින් නැවුම් බවකින් පමණක් නොව, රමණීයත්වයෙන් ද ආඪ්‍ය වෙයි.

ඔස්ට්‍රේලියාවේ නිවාඩුවක් ගත කිරීමට ගිය ලේඛකයා ‘කැන්බරා’ නුවරටත්, එතැනින් ‘මෙරිස්විල්’ තවලම් උද්‍යානයටත් සිය පුතු සමඟ ළඟා වෙයි. මේ තවලම් උද්‍යානය අපූරු තැනකි.‍ තමන් ගමන් ගන්නා රථයට ජලය හා විදුලිය සම්බන්ධ කරගෙන එහි නවාතැන් ගෙන කෑම බීම සකසා ගෙන රිසිසේ කාලය ගත කළ හැකි ය. කිසියම් සුළු ආපදාවකට ලක්වූ මොහොතේ මොහුට වෙනස්ම විදියේ කාන්තාවක මුණ ගැසේ. ඇය අව්‍යාජව කතා බහ කළ තැනැත්තියකි.

“ඒ මගේ ස්වාමියා නොවේ. එයා‍ මගේ පාට්නර් (සහකාරයා) යි ඈ නොපැකිළ කීවා ය... එයයි මායි පදිංචි ක්වින්ස්ලන්ඩ්වල... අපි මෙරිස්විල්වලට ඇවිත් මාස දෙකක් ගත කරන්න තීරණය කළා. තව තුන්මාසෙකින් එයා මගේ ස්වාමියා. දැනට මගේ පාට්නර්. අපි දෙන්නා හිතින් විවාහ වෙලා ඉවරයි. නීතියෙන් විවාහ වෙනවට වැඩිය හිතෙන් බැඳීමයි වැදගත්.”

සෞන්දර්ය ආයතනයක කථිකාචාර්යවරියක වන ඇය එම ආයතනයේ ම ගුරුවරයෙකු සහායකයා ලෙස තෝරාගෙන ඇත. දෙදෙනාම පෙර කුටුම්බයන්ගෙන් අතෝර විඳ ඒවායින් මිදුණවුන් ය. ගුරු වෘත්තියේ නිරතවූවත්, තෙමසක පමණ කාලයකට කිසියම් පෙදෙසකට ගියහොත් දිවි සරිකර ගැනීම උදෙසා, කුමන හෝ රැකියාවක නිරත විය යුතු බැවින්, තම සැමියා වීමට අපේක්ෂා කරන තැනැත්තා සුපර් මාකට්ටුවක වරුවක සේවයක් කරන බව ද ඇය පවසන්නීය. එක් රැයක මොහොතක හමුවූ තැනැත්තියක හේතු කොටගෙන පාඨකයා ‍නුහුරු නුපුරුදු ලොවකට කැඳවාගෙන යාමට රන්ජිත් ධර්මකීර්ති සමත් වී ඇති ආකාරය අගය කළ යුතු ය.

සිඟන්නෝ ඔස්ට්‍රේලියාවට පාදක කොටගෙන නිර්මිත තවත් සියුම් කෙටිකතාවකි. අප රටෙහි අපි හිඟන්නන් ලෙස දකින්නෝ එරට සිඟන්නෝ නොවෙති. පුලන්නෝ ද නොවන්නාහ.

“ඔය කට්ටියක් හිඟන්නන් නොවෙයි. ඒ අය ඔහොම ඉන්නේ පවතින යාන්ත්‍රික ජීවිතයට එරෙහිව කරන අරගලයක් විදිහටයි. ළමයි වෙනම ජීවත්වෙන්න ගියාට පස්සේ ඔය මිනිස්සු ආණ්ඩුවේ සහනාධාර මුදල අරගෙන දුම්රියපොළේ ලගිනවා. උදේට ස්ටේෂමේ ටොයිලට් එකට යනවා. ප්‍රජා මධ්‍යස්ථානවල ස්විමිං පූල්වලින් නානවා... ඇවිදිනවා... කුඩු ගහනවා. නිදිමත හැදුණාම අගුපිලේ ලැගලා නිදා ගන්නවා. ඒ මිනිස්සු කියන්නේ අපි තමයි නිදහස් ජීවිත ගත කරන්නේ කියලා.”

මේ ජීවිත පිළිබඳව විවරණය කරන්නේ අබ්බගාතවීම හේතු කොටගෙන මෑන්ලිවලට නිබඳ පැමිණෙන තවත් අප‍ූරු තැනැත්තෙකු විසිනි. ඔහු තමන් පිළිබඳව මෙසේ විවරණය කරයි.

 

“මට රැකියාවක් නැත

අනතුරකින්

දකුණු පාදයේ අස්ථි

බිඳී ගිය බැවින්

රැකියාවක් කිරීමට හැකියාවක් ද නැත

පාදය සුව වූ විගස

මම යළිත් රැකියාවකට යමි

එතෙක් මා ජීවත් කරවීමට

ඔබගේ නොමසුරු ආධාරය මට අවශ්‍යයි”

මෙලෙස මෙකී කෙටිකතාවෙන් අපූරු ජීවිත ගණනාවක් අපට හඳුන්වා දෙන ධර්මකීර්ති සිය කවිකම ප්‍රදර්ශනයට ද සමත් වී තිබේ.‍

 

“සීතල හිම පොද වැටෙන වෙලේ

පදික වේදිකාව පැන

මිහිදුම් අතරින් මතුවන

සිඩ්නි නුවර ළ‍ඳේ

සීතල නොදැනේද?

හිමවන් සුදු

ඔබේ ඔය

සුමට - සමට”

 

මේ මොහොතේ මගේ සිත ඇදීයන්නේ මේ නිර්මාණකරුවාගේ ‘අංගාරා ගඟ ගලා බසී’ නම් දෘශ්‍ය කාව්‍ය වෙතයි.

මේ කෘතියෙහි පැනෙන ‘සර්පයා’ ම් කෙටිකතාව ද විදෙස් අත්දැකීමක් පාදක කරගන්නා ලද්දකි. එය ද ධර්මකීර්ති සතු ප්‍රතිභාවට මහඟු නිදසුනකි. ඇඩිලේඩ් නුවර ‘අවුන්ගා’ වීදියෙහි වසන ගියෝවන්නි නම් ඉතාලි ජාතිකයෙකු පිළිබඳව ගැඹුරු විවරණයක් ලේඛකයා අප ඉදිරියේ කරයි. ඔහු ගේ උපාශීලී දිවි පෙවෙත මීට පෙරාතුව කිසිදු සිංහල ලේඛකයෙක් නොමැවූ චරිතයකි. නගර සභාවෙන් පරණ වාහන ඉවත් කළ යුතුය යන නියෝගයට ඔහු මුහුණ දුන් ආකාරය චමත්කාරජනක ලෙස විවරණය කර තිබේ‍. ඉතාලි ජාතිකයකු වූ ඔහු තම ජාතියට දැඩි ලෙස ආදරය කරයි. ඉතාලි ජාතිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සටනක නිමග්න වෙයි.

“මුන් කියන්නේම ජාතිවාදය ලෝකයේ දියුණු හැම රටකින් ම දැන් තුරන්වෙලා කියලයි. ශ‍ීලාචාර ලෝකය ජාතිවාදය පිටු දකිනවලු. බම්බුව! මුන්ගෙ මොළ කුණුවෙලා. මුන් ආත්මාර්ථකාමී වෙලා. අපේ ශ්‍රේෂ්ඨ ඉතාලි ජාතියට හෙණ හත ගැහැව්වත් මුන්ට කමක් නෑ. ඒත් මම මිය යනතුරුම මේ සටන අතක අරින්නේ නෑ. ප්‍රතිභාසම්පන්න නිර්මාණකාරකයා හැමවිටම අපූරු යමක් පාඨකයාට ඉදිරිපත් කරන්නෙක් වේ නම් රන්ජිත් ධර්මකීර්ති මැනවින් ඒ යුතුකම ඉටුකර ඇත්තෙකි. ලේඛකයෙකු ගේ අත්දැකීම් කුණු ගොඩ විශාල වූ තරමට වැඩි වැඩියෙන් නිර්මාණ බිහි වන්නේ යයි මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කළ ප්‍රකාශය ද මේ මොහොතේ අපේ මතකයට ඇඳී එයි. ධර්මකීර්තිගේ සංචාරක දෙපා පාඨකයා වෙනුවෙන් අපූරු අත්දැකීම් සොයා ගනී.

කතා හතකින් සමන්විත ‘සුළඟ වැස්ස මුහුද’ කෙටිකතා සංග්‍රහයෙහි උක්ත කෙටිකතා ත්‍රිත්වය හැරුණු කොට අනෙක් නිර්මාණ සතර අප රට පුද්ගල චරිත පාදක කොටගෙන නිර්මිත ය. ඒ අතරින් ද මෙහෙණිය හා හුදෙකලාව පාඨක සිත් තදින් ආකර්ෂණය කරන බව අමුතුවෙන් කිව යුතු නොවන තරම් ය. මේ කතා ද්වය අතරින් ද පළමුවැන්න හොරණින් මඳක් ඈත මඩකඩ ආරණ්‍ය සේනාසනය වෙත ගිය ගමනකදී ලේඛකයාගේ සිතෙහි තැන්පත් වූවක් බව මට දැන ගන්නට ලැබුණි. නමුත් කිසිවෙකුට එය මඩකඩ ආරණ්‍ය යයි පැවසීමේ හැකියාවක් ද නොමැත. සැබෑ නිර්මාණශීලී ලේඛකයා පරිකල්පනයෙන් සියල්ල ප්‍රතිනිර්මාණය කරන බව මෙතැනින් තහවුරු වෙයි. මෙහෙණිය වැඩ වසන රමණීය අසපුව ඇගේ පියා විසින් ගොඩනඟන ලද්දක් හැටියට හඳුන්වා දෙයි. කොළඹ ඉහළ පාසලක අධ්‍යාපනය ලබා සරසවි වරම් පවා හිමිකර ගත් ඇය හේතු ගණනාවක් මුල් කරගෙන ගිහි ජීවිතය කෙරෙහි කලකිරී ඇත. ආසන්න හේතුව නැගණිය ගේ පෙම්වතා කළ ‍රැවටීම හා සංයමයකින් තොර මවගේ හැසිරීම් රටාවයි. මේ සියල්ල රමණීය ලෙස විවරණය වන්නේ මාතුපාල නම් පුවත්පත් කලාවේදියා හේතු කොටගෙන ය. ඔහු මෙහෙණිය පිළිබඳව සිය ග්‍රන්ථයකට කරුණු ඇතුළත් කිරීම උදෙසා කථිකාවක යෙදේ. අකමැත්ත මැද වුවත් මෙහෙණිය යථා තතු හෙළි කරන්නීය.‍ මේ ඉන් එක් අවස්ථාවක් පමණකි.

“මම කෙළින් ම පඩි පෙළ දි‍ෙග් උඩ තට්ටුවට නැග්ගා‍. අම්මගේ කාමරයේ දොර බාගෙට ඇරලා තිබුණා‍. මම අම්මට කතා කරන්න හිතාගෙන දොර ගාවට යනකොට... මම දැක්කේ මොකක්ද? මගේ අම්මා පිට මිනි‍ෙහක් එක්ක අනාචාරයේ හැසිරෙනවා මගේ දෑසින් ම දැක්කා.”

මෙලෙසින් යථාවාදීව කරුණු හෙළි කළ මෙහෙණිය පිළිබඳ පුවත්පත් කලාවේදියා වැරදි තැනකට එළැඹි කල ඇය කිසිදු පැකිළීමකින් තොරව, අදීනව අභීතව ඔහුව එළවා දමන ආකාරය ද ඉතා ප්‍රශස්ත ලෙස සූචිතය. මෙවන් අත්දැකීමක් විවරණය ඉතා සංයමයෙන් කළ යුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ නොවුණහොත් බිහිවන්නේ ගුණදාස ලියනගේ රචනා කළ ‘තෙවැනි සිල් පදය නොකඩමි’ වැනි අශ්ලීල කෘතියක් බව නොසඟවා පැවසීමට නොපැකිළෙමි.

‘හුදෙකලාව’ නම් කෙටිකතාවෙන් නිසි කලට විවාහ ප්‍රාප්ත නොවූ වීරසේන නම් පරිපාලන නිලධාරියෙකු ශ්‍යාමා නම් තැනැත්තියක ළං වෙද්දී දක්වන ප්‍රතිචාරත් ඒ නිසාම අසරණ බවේ අගාධයට ඇද වැටෙන අයුරුත්, ඇතැම් විටක මායා යථාර්ථවාදයට ආසන්න වෙමින් විවරණය කර තිබේ. එහි ඉතා අගනාම ලක්ෂණය වන්නේ රූපවාහිනි මාධ්‍ය පිළිබඳව කරන විචාරයි.

“කාලය කා දැමීමට ටෙලිවිෂනය හොඳ මිතුරෙකි” යනුවෙන් ඇරඹෙන විවරණයේදී රූපවාහිනි මාධ්‍යකරුවන් පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ අමනෝඥ ක්‍රියාවන් ද ධර්මකීර්ති ලේඛකයා උපහාසය හා හාස්‍යය මුසු කරමින් පෙන්වා දෙන්නේ ගම්පළ යුගයේ දී සද්ධර්මාලංකාරය විරචිත දෙවැනි ධර්මකීර්ති හිමියන්ගේ ඇතැම් කතාවක් සිහියට නගමිනි.

රන්ජිත් ධර්මකීර්ති නූතන සිංහල කෙටිකතාකරුවන් අතරින් කැපී පෙනෙන්නට හේතුවක් වූයේ, අපූරු අත්දැකීම් විවරණය සංකීර්ණ සමාජ ගැටලු කලාත්මකව සූචනය කිරීම නිසාම නොවේ. ඔහු කෙටිකතා නිර්මාණයේදී උපයුක්ත කාව්‍යමය ගුණයෙන් අනූන භාෂා භාවිතයයි. මේ කෙටිකතා සංග්‍රහයෙහි දී එකී ලක්ෂණය නොමඳව විද්‍යමාන වෙයි.

රන්ජිත් ධර්මකීර්තිගේ ‘සුළඟ වැස්ස මුහුද’ කතා සංග්‍රහයේ සුළු හෝ දුබලතාවක් ඇතොත් පළමු හා දෙවැනි කතා අනෙක් කතා මෙන් ආකර්ෂණීය නොවීමයි. මේ කෙටි කතා සංග්‍රහය ප්‍රවීණ කෙටිකතාකරුවකු නූතන සිංහල කෙටිකතා කලාව පෝෂණය උදෙසා ගත් තවත් ප්‍රශස්ත පියවරක් ලෙස හැඳින්වීම කිසිසේත් ආධානග්‍රාහී විචාරයක් නොවේ.

අදහස්