නාකි ජෝඩුව! | සිළුමිණ

නාකි ජෝඩුව!

යම් තැනෙක සත්‍ය වූ ස්නේහයක් පවතී ද, එතැන ගැටුම් නැති බව කියති. සැනසිල්ල ඇති බවද කියති. ඉන් අදහස් දෙකක් ගම්‍ය වෙයි. පළමු අදහස වන්නේ ස්නේහය අසිරිමත් දෙයක් බවය. දෙවන අදහස වන්නේ ලෝකයේ යහ පැවැත්ම උදෙසා ස්නේහය ද මනාව පැවැතිය යුතු බවය. ස්නේහය යනු කෙනකු තවත් කෙනකු අරභයා දක්වන ඇල්ම හා කැපවීම යැයි කියන්න‍ට පුළුවන. ආදරය, ප්‍රේමය, වාත්සල්‍යය යනු ද ඊට පර්යාය සංකල්ප වේ. මේ කවියෙන් කියැවෙන්නේ ද ස්නේහය හෙවත් ප්‍රේමය පිළිබඳ සංකීර්ණ සංවේදනාවකි.

කවියේ මතුපිට අර්ථය සංක්ෂේපණය කළහොත්; මහල්ලකුගේ සිතිවිල්ලක් යැයි ලඝු කළ හැකි ය. එය ම නැවත පෙම්වතකුගේ කාල්පනික ‍ලෝකය යැයි විස්තාරණය කළ හැකිය. ජීවිතය ගෙවී යන අතර ප්‍රේමයේ ජීව ගුණය ද ඒ සමඟ ගෙවී යැයි. මෙහි එන මහල්ලා යථෝක්ත හැඟිම් ධාරා පරවශ ‍ෙකාට ප්‍රේමයේ ජීවගුණය මැවීමට බලවත් සටනක නිමග්න වෙයි. එය ප්‍රතිරෝධයකි.

ඉරිදා විකල්ප පුවත්පතක කවි පිටුවේ පළ වූ මේ ප්‍රබන්ධය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ හේතු කිහිපයක් නිසාය. එක; නොකල්හි පුරුෂයකුගේ ශරීර‍යට කාන්දු වන රාග චිත්තයක් නිරූපණය කරයි. දෙක; වැඩිහිටි ප්‍රජාව පාදක කොටගත් කතා වස්තුවක් ගොඩනඟයි. තුන; ප්‍රබන්ධයෙන් අමුතු කාව්‍යෝක්ති මතු වෙයි. කවියා අනුසාර මාහිංගොඩ මහතා ය.

අනුසාර යනු අත්දැකීම ‍මෝරා වැඩෙන්නට පෙර කවි එළියට දමන තැනැත්තෙකි. ඔහුට ඇත්තේ පුදුම හදිස්සියකි. සංස්කරණයකින් තොරව පොත් පළකිරීමත් ඔහුට ආවේණික ක්‍රමයකි. මේ නිසාම ඔහුගේ නිර්මාණ පරිපාකයට පත්වන්නේ නැත. එහෙත් මේ කවිය එසේ නොවේ. එහි පරිසමාප්ත ගතියක් තිබේ.

මේ කවිය විඳින විට චිත්‍රණය වන දර්ශන පෙළක් තිබේ. එනම්; වැඩිහිටි යුවළක් උද්‍යානයක් වෙත පිය මං කිරීම, අසුන් ගැනීම සඳහා බංකුවක් සෙවීම හා ඔවුන‍් දෙදෙනා තරුණ පෝඩුවල විහිළුවට ලක්වීම ය. චිත්ත රූප ඔස්සේ වරෙක ශෝකයක් දැනෙයි. තව වරෙක හාස්‍යයක් දැනෙයි. ශෝකය දැනෙන්නේ වැඩිහිටි යුවළ හුදෙකලා වී ඇති නිසාය. හාස්‍යය දැනෙන්නේ වයසක යුවළ කිසිසේත්ම නොගැළපෙන ස්ථානයක හැසිරෙන බැවින් ය.

ප්‍රබන්ධයෙන් වෘත්තාන්තයක් ගොඩනැ‍‍ඟෙයි. එහි අවස්ථා තුනක් තිබේ. ඒවා කාල වකවානු ලෙසද ගත හැකිය. පළමුවන කවියෙන් කියැවෙන්නේ වර්තමාන තත්ත්වය ය. එහි ලා මහලු බවද , දුබල බවද ප්‍රකාශිත ය. පෙම්වතාගේ ස්නායු දුර්වල වී සිරුර වෙව්ලන බව කියැවේ. දෙවන කවියෙන් කියැවෙන්නේ අතීතය යි. ඔවු‍න්ගේ අතීත පෙම් කතාවේ සුන්දර තැන් යළි සිහිගැන්වේ. නිල් දෑස්, නැවුම් සුදු දෙකොපුල්, කියඹුවැල් කාමුක හැඟීමක් ඇති කරයි. තෙවන කවියෙන් අනාගත ප්‍රතිරෝධය මතුවෙයි. ඊ ළඟ ආලිංගනය කොතරම් දරුණු ද යත්; පිඹුරකු සේ පෙම්වතිය වෙළාගත යුතු යැයි ඔහු කියයි. මහල්ලා එසේ මෙසේ තැනැත්තකු ‍නොවන බව ඉන් හැ‍ඟෙයි.

‍ෙදදෙනා අතීතයේ හති වැටෙන තුරු පෙම්සුව විඳින්නට ඇත. ඒ මතකය අදටත් ඔවුන් පොලඹවන සුලු වෙයි. ප්‍රේමයේ දලු ඇස් ඇරී ඇතැයි කීමෙන් එය පැහැදිලි වේ. මහල්ලකු යොවුන් තරුණයකු සේ ජවයෙන් දඟලන විට එහි ආශ්චර්යයක් තිබේ. අපේ සම්ප්‍රදාය ඊට පටහැනිය. “මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ” යනු බෞද්ධ සම්ප්‍රදායයි. “නාකි විසේ ගෙටත් උසේ” යනු අපේ ගැමි සම්ප්‍රදාය යි.

කවිය ඔස්සේ වැදගත් සමාජ සංවාදයක් ද මතු කර ගත හැකි ය. එනම්; වැඩිහිටි ජනගහනය පිළිබඳ සමාජ ගැටලුවට අවධානය යොමු කිරීම ය. වයස්ගත ජනගහනය ශීඝ්‍ර ලෙසින් වරධනය වන රටක් හැටියට ශ්‍රී ලංකාව හැඳින්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා ශ්‍රී ලංකා ජනගහන අරමුදල හා ශ්‍රී ලංකා ජනගහන විද්‍යාර්ථින්ගේ සංගම‍ය පෙන්වා දෙන අන්දමට 2031 වන විට ශ්‍රී ලංකාවේ රැක බලා ගත යුතු වයස්ගත ජනගහනයේ ප්‍රමාණය මිලියන පහකට අධිකය . එහෙත් අවශ්‍යතා ඉ‍ටු වී ඇත්තේ 1% ක අනුපාතයකට පමණි. වැඩිහිටි ජනගහනය පිළිබඳ බරපතළ සමාජ ගැටලුවක් මෝරා වැඩෙන බව පෙනෙයි.

එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට අනුව වයස්ගත පුද්ගලයන් සම්බන්ධයෙන් සලකා බැලිය යුතු කරුණු පහක් තිබේ.

1. ස්වාධීනත්වය

2. සහයෝගය

3. රැකවර්ණය

4. ආත්ම තෘප්තිය

5. ගරුත්වය

මෙහි එන අන්තිම සාධකය ශ්‍රී ලංකාව වැනි රටකට බෙහෙවින් ම වැදගත් ය. ශ්‍රී ලංකාවේ අතීත සමාජය වැඩිහිටි පරපුරට බලවත් වටිනාකමක් ලබාදුන් අතර ඔවුන්ට ගෞරව දැක්වීම සමාජ සාරධර්මයක් ලෙස සැලකූහ. එහෙත් නූතන සමාජයේ තත්ත්වය වෙනස් ය. අද මෝස්තරයක් වී ඇත්තේ වැඩිහිටියා කොන් කිරීම හා ඔහුට නිගරු කිරීමය. අන්තර් පරම්පරා උපකාර ක්‍රමයක් අතීතයේ පැවැතියේ වුව; අද එය දකින්නට නැත. වයස්ගත තාත්තලා බලු කූඩුවල ගාල්කරන සමාජයක් අද පවතී.

අනුසාරගේ කවියේ යටිපෙළ ගතහොත්; වැඩිහිටියන් ස්වාධීනත්වයක්, ආත්ම තෘප්තියක් හා ගරුත්වයක් අපෙක්ෂා කරන බව පැහැදිලිය. එහෙත් තරුණ පරම්පරාව එය ලබා දෙන්නට සුදානම් නැත.

“තරුණ ජෝඩුත් අපට කොක්සන් පායි,

ප්‍රේමයට අද අපට බංකුවක් නැතිවෙයි.”

කොක්සන් පෑම යනු හැඟුම්බර වචනයකි. එහි ගැමි යෙදුම කොකන් පානවා ලෙස දැක්වේ. කොකා පෙන්වීම, ඔච්චම් කිරීම, ඔම්පා කිරීම, ඊට සමාන ක්‍රියාකාරකම් ලෙස දැක්විය හැකිය. මේ යෙදුමෙන් ඉස්මතු වන්නේ වැඩිහිටියන් නොසලකා හැර ඇති තරමය. ප්‍රේමය නම් විෂයය තුළ බංකුව යනු ද විවිධාර්ථ සහිත වචනයකි.

මීට වසර විසි ගණනකට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ඡායාරූප තරගයක් පැවැත්විණි. “VACATION” (නිවාඩුව) නම් සිරස්තලයෙන් යුතු ඡායාරූපයට ද සම්මානයක් ලැබිණි. ඊට ඇතුළත් දර්ශන තලය තව ම අප සිත්හි සටහන් වී තිබේ. උද්‍යානයක මැයි ගසක් යට සිමෙන්ති බංකුවක් ඇත. එම බංකුව මතට දිරාගිය අත්තක් වැටී කැබලි වී තිබේ. කළු කුහුඹියන්ගේ පාරක්ද බංකුව පසෙකින් තිබේ. බංකුවෙන් පහළ තණ බිස්ස හොඳින් වැඩී ඇති අතර එහි පරවුණු මල් විසිරී ඇත. පාළු හුදෙකලා බවක් ඉන් හැඟෙයි. ඒ විශ්වවිද්‍යාලයේ දීර්ඝ නිවාඩු කාලයකි. බංකුව ඊට පෙර පෙම්වතුන‍්ගේ ප්‍රසිද්ධ ස්ථානයක් වී තිබිණි . අජීවී බංකුව කෙතරම් සංවේදී දසුනක් මවන්නේ ද?

අනුසාර තෝරාගත් වචන ඔස්සේ සහෘදයා සංවේදීභාවයට පත් කරයි. කියඹුවැල් වියළි රැහැන් පොටවල් බවට පත් වීම, ස්ත්‍රියගේ ගෙල පැත්තෙන් තෙල් - බෙහෙත් ඌෂ්ණයක් පැතිර යෑම කවියාගේ සාර්ථක යෙදුම් ලෙස දැක්විය හැකිය. කියඹුවැල් යනු තරුණියකගේ ෙකාපුල්තලය මත වැටෙන දඟකාර කෙස් රොදකි. එය කාමයෙහි ආකර්ෂණය ඇති කරයි. එහෙත් දැන් ඒවා වියළි රැහැන් පොටවල් ය. ස්ත්‍රියකගේ ගෙල පැත්ත ද සම්භෝගයට සම්බන්ධ ප්‍රබල සාධකයකි. ගෙල පැත්ත සුවඳින් තෙමා දැමීමට ස්ත්‍රීහු උත්සුක වෙති. එහෙත් අද සිදු වී ඇත්තේ අනෙකකි. සන්ධිප්‍රදාන ආදී රෝග කාරක නිසා වයස්ගත කාන්තාවෝ නිතර තෙල් - බෙහෙත් ගල්වති. පොට්ටනි ගෙන තවති. ඒ අනුව ගෙලපැත්තෙන් ගඳක් මිස සුවඳක් හැමිය නොහැකිය. ඉතින් පෙම් කරන්නේ කෙසේ ද?

අනුසාර‍ මේ ප්‍රබන්ධය ඔස්සේ ප්‍රශ්න කිරීම් තුනක් ඇති කරයි .

1. රාගයෙන් තොර ආදරයක් නැති ද?

2. මහලු අයට පෙම් කිරීම තහනම් ද?

3. මානසික ප්‍රතිරෝධය ඔස්සේ යළි ජීවය ලැබිය හැකිද ?

ශරීරයකින් ලැබිය හැකි උපරිම ආස්වාදය ඇත්තේ කාමය තුළ යැයි මතයක් තිබේ. එහි ප්‍රතිවිරුද්ධ මතය වන්නේ අාධ්‍යාත්මික ප්‍රේමය යන්නය. හෙමිංග්වේගේ “සන් ඔල්සෝ රයිසස්” කෘතියේ ජේක් සිය පෙම්වතිය වන බ්‍රෙට්ට ආදරය කරන්නේ ඔහුගේ පුරුෂ ඉන්ද්‍රිය අහිමි වී තිබිය දී ය. ඔවුන‍්ගේ ආදරය ලිංගික සම්භෝගයකින් තොර වූවකි. එහෙත් අවසන් මොහෙ‍ාත තෙක් ම ඔවුහු බලවත් ආදරයකින් පසු වෙති. එක්කෝ රාගයෙන් තොර ආදරයක් පවතී. නැතහොත් රාගයේ විවිධ විලාස පවතී. මහලු අයගේ ප්‍රේමය ද එවැන්නක් විය හැකිය. වැඩිහිටියන්ට පෙම් කිරීම තහනම් නැත. මහලු බවට එරෙහි ප්‍රතිරෝධයන් ඔස්සේ එම ප්‍රේමය තව දුරටත් ශක්තිමත් කර ගත හැකිය. එහෙත් අපේ සමාජයෙන් ඔවුන්ට අනුමැතියක් ලැබෙන්නේ නැත. කවියා “නාකි ජෝඩුව” ලෙස සිරසක් යෙදීමෙන් ද ඒ බව තව දුරටත් සනාථ වෙයි.

හිත රිදෙන්නේ අපටත් මහලු බව දැනෙන්නට පටන්ගෙන ඇති නිසා ය.

අදහස්