ගී බස විනිස | සිළුමිණ

ගී බස විනිස

ප්‍රේමය යනු කුමක්දැයි කිසිවකුගෙන් විචාළ හොත් ඔහු ප්‍රේමය පිළිබඳ ව පළ කරන්නේ ඔහු ප්‍රේමය පිළිබඳ ව දන්නා නොදන්නා දේවල් ගැන ය. නමුත් ඒ ප්‍රකාශය තුළ ඇත්තේ යථාර්ථ ප්‍රේමය නම් නොවේ. එක්කෝ ඔහු විස්තර කරන්නේ ප්‍රේමය පිළිබඳ ව ඔහු මෙතෙක් දැන දැක ඇති දේවල් ගැන ය. නැතිනම් ඔහු අසා ඇති දේවල් ගැන ය. නැති නම් දන්නා කියන දේවල් ගැන ය. නමුත් එකී ප්‍රකාශන තුළ ප්‍රේමයේ කිසියම් අරුතක් පැවතිය හැකි වුවද, ඒ සියල්ල ප්‍රේමය නම් නොවේ. යථාර්ථ ප්‍රේමය ඊට වඩා හරි ම නිරවුල් වූවක් ය; සිතිවිලි බොහොම නිදහස් එකක් ය. ප්‍රේමය කුමක්දැයි ඇසු නිසාම ඔහු ප්‍රේමය පිළිබඳ ව කිව්වත් ඔහු කියන්නේ මේවනවිට දන්නා ප්‍රේමය මිස යථාර්ථ ප්‍රේමය ගැන නම් නොවේ.

ප්‍රේමය ඇතැම් විට රාගය දෙසට ගමන් කරයි. ඇතැම් විට කාමය දෙසට ගමන් කරයි. ඇතැම් විට ප්‍රේමය දෙසට ම ගමන් කරයි. ඇතැම් විට විරහව දෙසට ගමන් කරයි. ඇතම් විට ක්‍රෝධය දෙසට ගමන් කරයි. ඇතැම් විට රාගය දෙසට ගමන් කරයි. කිසියම් කෙනකු ස්වකීය සන්තානය තුළ ප්‍රේමයේ අසිරිමත් අත්දැකීම් ගොනු කරන්නේ ඒ අනුවයි. ඒ ඔහු ලැබු ප්‍රේමයයි. කෙනෙක් ප්‍රේමය නම් මිහිරි යැයි ද සොඳුරු යැයි ද කියති. කෙනෙක් දුකෙහි ගැලී දුකින් ම රිදුණු දුක්ඛාන්තයක් යැයි ද කියති. කෙනෙක් ඒ දුක්ඛාන්තයද සුන්දර යැයි කියති. ජීවිතයේ ලැබු හැම සන්තෘෂ්ටිය ම ද, දුක්ඛාන්තයක් ම ද ප්‍රේමය නිසාම සිදු වෙතැයි කියති; අදහති. ගේහසික ලෝකය තුළ සියල්ලෝ ම ප්‍රේමය පිළිබඳ ව නන්විධ අද්දැකීම් ලබා පුර්ණව සිටින්නෝ ය. නමුත් ඒ අසිරිමත් විස්තරය මනරම් සෞකුමාරත්වයෙන් අන්‍යයාට බෙදාහදා දෙන්නන් හඳුන්වන්නේ කවියන් හැටියට ය. ඔවුහු නිරන්තරයෙන්ම ස්වකීය චිත්ත සන්තානය තුළ මෝදුවන මනෝහර සිතැඟියාවන් ප්‍රතිනිර්මාණය කරන්නෝ ය. ඒ නිර්මාණයට ජීව අජීව පරිසරය ද පුද්ගල මනෝභාවද රිසි සේද, රුචි සේද, ඈදාගන්නෝ ය. එය රස නුහුන් කොට ඉදිරිපත් කිරීමට විවිධ සාහිත්‍ය නිර්මාණ රීතිද උපකාර කර ගනු ලබන්නෝ ය. ඉදිරිපත් කරන ගී නිර්මාණයක් තුළින් වුවද ප්‍රේමය ස්පර්ශ කරන්නෝ ය. ප්‍රේමයේ අධ්‍යාපනය ලබන්නෝ ය.

ප්‍රේමය යනු ස්ත්‍රිය නොවේ. ඇතැම් විට ස්ත්‍රිය දැකීමෙන් ද, නිතර නිතර දැකීමෙන්ද, කතාබහ කිරීමෙන්ද, නිතර නිතර කථාබහ කිරීමෙන් ද, ඇවතුමෙන් පැවතුමෙන්ද, ඇසුරු නිසුරු කිරීමෙන්ද, කෙනෙකුගේ චිත්ත සන්තානය තුළ ප්‍රේම සංකල්පනා ජනිත වී ඒ සංකල්පනා මෝරා මෝදු විය හැකිය. නමුත් ප්‍රේමය යනු එය නොවේ. පුරුෂයා ද නොවේ. ඇතැම් විට පුරුෂයා දැකීමෙන් ද, නිතර නිතර දැකීමෙන් ද, කතාබහ කිරීමෙන් ද, නිතර නිතර කථාබහ කිරීමෙන් ද, ඇවතුමෙන් පැවතුමෙන් ද, ඇසුරු නිසුරු කිරීමෙන් ද, කෙනෙකුගේ චිත්ත සන්තානය තුළ ප්‍රේම සංකල්පනා ජනිත වී ඒ සංකල්පනා මෝරා මෝදු විය හැකිය. නමුත් ප්‍රේමය යනු එය නොවේ. ප්‍රේමය යනු ලිංගිකත්වය නොවේ. ප්‍රේමය හේතුවෙන් ඒ දක්වා දුරබැහැර යන්නෝද වෙති. එසේ නොවන්නෝද වෙති. ලෝකයට සාපේක්‍ෂ ව ප්‍රමාණාත්මක වශයෙන් එසේ වන්නන්ට වඩා නොවන ප්‍රේමවන්තයෝ වැඩිය. ප්‍රේමයෙන් දිනන්නෝ ඔවුහු ය. එසේ වන්නෝ ප්‍රේමයෙන් දිනනවාට වඩා වෙනත් ගැටලු සමුදායක ගිලෙති. ඔවුහු තණ්හා පාසේ (උගුල) හි හසුවී ප්‍රේමයේ මනරම් සුන්දරත්වය අපිරිසුදු කාමුකත්වයෙන් පුරවා ලති.

ප්‍රේමය පිළිබඳ ව බණ පොතේ විස්තර දක්වයි. ගේහසික මිනිස් සන්තානය තුළ පහළ වන ප්‍රේම සංකල්පනා පිළිබඳ ව ද සාකච්ඡා කරයි. ප්‍රේමය යනු සංකල්පනා සමුදායක සමුහිකත්වය බව කියයි. එනිසාම සංකප්ප රාගය යන වචනය දක්වා තිබේ. එකී ප්‍රේමය ස්ත්‍රිය නිසා හෝ වේවා, පුරුෂයා නිසා හෝ වේවා. ජාතිය නිසා හෝ වේවා, සහෝදරත්වය නිසා හෝ වේවා, දෙමව්පියන් නිසා හෝ වේවා, ඈ විවිධ හේතුකාරණා නිසා ජනනය විය හැකිය. ජීවත්වන සංස්කෘතිය තුළින් එකී ප්‍රේමයට විලංගු දමා නිවැරදි අදහස් කියා දේ. චිත්ත සන්තානයේ හටගත් සංකල්පය සමාජගත කරගත යුතු ආකාරය උගන්වා තිබේ. ප්‍රේම සංකල්පනාවේ ජනනය වීම දෙආකාරයකින් විස්තර කරයි. එනම්, 1. භෞතික හා අභෞතික වස්තූන්න වෙතින් හට ගැනීම (වස්තුකාම) 2. මානසික සංකල්පනාවල බද්ධ වීම නිසා හටගැනීම (ක්ලේශකාම) යනුවෙනි. ප්‍රේමය හා බන්ධනය හටගන්නා ආකාරය විවරණය කරනු ලබන්නේ ප්‍රේම දෝස සුත්‍රයේ ය. සමස්ත ප්‍රේම සංකල්පනා සියල්ල සිව් ආකාරයකින් එහිලා දක්වනු ලබන්නේ ය. එනම්, 1.ප්‍රේමය නිසා හටගන්නා ප්‍රේමය, 2.ප්‍රේමය නිසා හටගන්නා ද්වේෂය, 3. ද්වේෂය නිසා හටගන්නා ප්‍රේමය 4. ද්වේෂය නිසා හටගන්නා ද්වේෂය. යනුවෙන් ය.

ප්‍රේමය සෞන්දර්යාත්මක චින්තන සමුදායක රඳවා බොහෝ ඇතැම් නිර්මාණ කරුවෝ, ස්වකීය භාෂාව සහ භාෂාවේ විවිධ භාවිතයන් ප්‍රස්තූත කරණාවෙහිලා උපයෝගී කරගැනීමෙන්, ප්‍රේමය ප්‍රේමය සඳහා ය යන, මනෝභාව තුළ රැඳෙමින් නිර්මාණ ඉදිරිපත් කරති. එකී මතවාදයට පරිබාහිරව නිර්මාණ ඉදිරිපත් කරන්නෝද වෙති. ඇතැම්හු නිර්මාණයට ප්‍රථම වාණිජ වාදයේ රැඳෙන්නෝ ය. ස්වකීය චින්තනය හැඟීම් පමණක් ජනනය වනසේ අර්ථය සැඟවෙන සේ ප්‍රේම නිර්මාණ ඉදිරිපත් කරන්නෝ ය. ඒවා වාණිජ ප්‍රේම නිර්මාණ ලෙස අඳුනාගත හැකිය. ඇතැම්හු නිර්මාණයට ප්‍රථම තමන්ගේ බඩ ගැන පමණක් සිතන්නෝ ය. ස්වකීය චින්තනය හැඟීම් පමණක් ජනනය වන සේ අර්ථය සැඟවෙන සේ ප්‍රේම නිර්මාණ ඉදිරිපත් කරන්නෝ ය. ඒවා නිර්මාණ කරුවාගේ බඩ ගැන හිතා කරන නිර්මාණ ලෙස අඳුනාගත හැකිය. එනිසාම පොදු කලා නිර්ණායක තුළින් පිට පැන්න නිසා එබඳු නිර්මාණ ඉදිරිපත් කරන්නෝ කිසියම් රටක පූජනීයත්වයෙන් හරසර ලබන උතුම් කලාකරුවෝ නොවෙති. ඔවුන් වැටෙන්නේ කලා ශිල්පින්, ශිල්පිනීන්ගේ ගොඩටයි. රටක සංස්කෘතික හා ජාතික හා අධ්‍යාපනික වගකීම් නැත්තෝ ශිල්පීය ඥානයෙන් පිරිපුන් වුවද කලාකරුවෝ නොවෙති.

කලාව යනු ජීවිතයයි. ජීවත්වීමේ කලාවන් ද තිබිය හැකිය. නමුත් එවා කලාව හැටියට අර්ථකථනය කළ නොහැකිය. නිර්මාණය යනු ජීවිතයයි. නිර්මාණාත්මකව ජීවත් වන්නෝද වෙති. එබඳු ජීවිත කලා නිර්මාණ ලෙස විග්‍රහ කළ නොහැකිය. කලාවද නිර්මාණය ද ජීවිතයද සියල්ල අවනත වන්නේ ස්වභාදහමට පමණයි. එය එසේ වන බව නිවැරදිව වටහා ගැනීම එක්තරා ලෙසක, බුදු දහම තේරුම් ගැනීමයි. යථාර්ථ ප්‍රේමය මිනිසාට තිළිණ කරන්නේ සාමාන්‍ය මිනිසා ලබන කාමුකත්වයේ මිහිර නොව ජීවිතාවබෝධයේ උත්තරීතර සැහැල්ලුවයි. යථාර්ථප්‍රේමය රාගී චරණයෙන් මුක්ත ගේහසික සෞකුමාරත්වයේ රැඳුණු පද්මාකාර ජීවිතයක ස්වභාවයයි. එය නිර්මාණාත්මක චින්තනයට අත වනන ලෞකික සමාජ චින්තනයක මෝරා මෝදුවන පිවිතුරු එකකි. පවිත්‍රත්වයේ ප්‍රතිමුර්තියයි. කුඹුක් මල්, ඉඳුණු තිඹිරි, ඉද්ද කැකුළු, වක්කලම, ගහල යායේ මල්, අරුක්කුව, උණ පඳුරේ සිලිසිලිය, ඉලුක්මල, සුළගේ සැලුණු ඉලුක්මල යන ස්වභාව ධර්මයේ භෞතික වස්තු හා එහා බැඳුණු සමාජ සංස්කෘතික සංකල්පනා පිළිබඳ ව නිවැරදි තේරුම් බේරුම් කමක් නැති කෙනෙකුට මේ ගී බසේ ඉමිහිරි රස අරුත හිතට කෙසේ නම් දැනෙන්නේ ද? 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.