කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

නෙත් හී සර

ඉඟි කර, කරා පොඩි දරු­වෙකු පරිදි එදා
හිනැ­හුණු හැටි අගෙයි මාවෙත දෙනෙත විදා
පිවි­තුරු හදින් ගුවනේ මාලිගා හදා
මා පැමි­ණියේ නොද­නිමි කොතනකද මෙදා

උස් කඳු පේළි දිග­ටම මට පෙනෙන විට
දිය ඇලි දැකුම් කළු ලෙස බිම ඇදෙන විට
“පේරා­දෙ­ණිය” හක්ගල සිහි කෙරෙන විට
අම­තක කිරී­මට ඔබ නුපු­ළු­වන මට

බිතු සිතු වමක් වාගේ “සීගි­රියෙ” ඇඳී
තාමත් මතක සට­හන් ඇත සිතෙහි රැඳී
පහ­ළට ගලා යන රැළි පිරුණ නදී
අද එහි පහස නැත පිය­කරු බවෙන් මිදී

දුකඳුර පිරුණ මේ ජීවන ගමන තුළ
ලියලයි සදාකාලික අද­හ­සක් මළ
කිසි අර­මු­ණක් නොමැ­තිව එහි ලැබෙන පල
ගැහැ­ටක් විඳි­න්නට සිදු­වෙද කොතෙක් කල

දලු­ලන නොහැකි සිතු­විලි හදවතෙහි රැදී
ගොළු­විය රසික පද එහි ජීව­යක් නොදී
මින්පසු තවත් හද­කට වේදනා නොදී
දල්වනු එපා ඔය නෙත් සැඩ පහර දිදී

කේ. ජී. සම­ර­කෝන්


  මිතු­රනේ

අලුත් දලු මල් අරන් හිනා­වෙන ගසක් යට
නැවුම් පැතු­මක් තිබේ විඩා­බර වූ හිතට
කැවුම් කිරි­බත් පිරුණ නව වසරෙ මේස­යට
රහිම් රාජම් එන්න ගී තිබේ විහඟුන්ට

සහස් රැස් සිය­ප­තක පත් සෙමින් සිඹින සඳ
දහස් ගණ­නින් අසිරි තුඩ තුඩෙහි රැදෙන දින
රහස් කොඳුරා කුමට සිත් රිදුම් නිති රැඳෙන
අහස් තල­යක් තරම් විශා­ලයි මිතුරු සිත

පන්සලේ පල්ලියේ ‍කෝවිලේ ගිගුම් දෙන
ගාය­නාවෝ රසයි තැවුල් පලවා හරින
අලුත් අවු­රුදු සිරිය සපැ­මිණේ මඳ­හ­සින
ඉතිං හිනැ­හෙමු නේද මිතු­රනේ සම සිතින

තිලක් ඒක­නා­යක


 ඕල්කොට් මාවත

සුව­ඳින් පිරුණු මිනි­සුන් හිරු නැඟ එත්ම
පැමි­ණෙති කඩි­ස­රව වීදිය පුරාම
දහ­ඩිය ගඳ සමඟ ඒ හැම හෙම්බත්ව
පොර­කති ගෙදර යන්න‍ට හිරු බැස යත්ම

ඇවි­දියි වෙ‍ෙළඳ සල් දවසේ තැනින් තැන
මොර­දෙයි ඇඟ පුරා මනි බඩු එල්ලාන
රව­ටයි ජන­තාව බේගල් ඇද බාන
පුදු­මයි දරන වීරිය දිවි රැක­ගන්න

නැති බැරි කම වසා­ගෙන ධන­වත් වෙන්න
සූරති ලොත­රැ­යිය පිරි­සක් පොර­කාන
පූජා කරල අත තිබු මුද­ලත් එතැන
හෙළ­මින් සුසුම් යති ආපසු නොබ­ලාම

කොට කොට යන්නෙ වැඩි­පුර බස් බොරැ­ල්ලට
හත අට වෙද්දි එනවා එක පෝලි­මට
වට පිට බලා පොලි­සියෙ අය නැති කලට
මග­තොට අහු­ර­ගෙන මොර­දෙයි මිනි­සුන්ට

ඉල්ලන් කන්න උප­වා­සයේ යෙදෙන අය
බුදි­යන් ඉන්නෙ දුම්රි­ය­පොළ අස­ල­මය
පොල්ලෙන් බැට්න් ඔවු­නට කෑම රජ­යෙන් ය
දකි­මින් මේව කවු­රුත් කම්පා වෙත් ය

සද­හම් සුවඳ දැනි­ලයි මම මෙහි ආවේ
අද­හම් මිනිස් ගති ඇස් ඉදි­රියෙ හමුවේ
වසු­රම් කපු­ටන් ගෙ නිර­තු­රු­වම නැහැවේ
කළ­කම් පල ‍දීල දැයි ඕල්කොට් දුක්වේ

ජය­සේන කොඩි­තු­වක්කු


ආද­ර­ණීය සේකර

වැඩ ඇරී එන කලට
සෙන­ගින් පිරි දුම්රි­යක
අහුලා ගතමි
ඔබේ සුවඳ...

ආදරේ යන
මුහු­දු දේ යන
ගස් නගින
දර පළන
වතුර අදින
කුඹුරු හාන
පෝරු ගාන
මිනි­සුන් අතර තිබී
අහු­ලා­ග­තිමි
ඔබේ සුවඳ කවිය
හිස් සිග­රැට් පැකැ­ට්ටු­වක
ලියා තිබුණ...

“කළු කබා මහත ටයි
තර­බාරු ප්‍රභූ­වරු
කුහ­ක­කම යට සඟවා
අතට අත දෙන උන් අතර
මෝරපු ගෑනු
බැස්ස උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
උන් අතර”
බිම වැටී පෑගී තිබුණි
ඔබේ කවිය..

ජයන්ත. ග. ‍ජෝතිය­රත්න
(පරි­මිලා කාව්‍ය සංග්‍ර­හයෙනි)


ප්‍රේමය ඇහි­ඳීම

ඇයට මා පුදා
අපතේ ගොස්
වැහි වතුරේ
මද පවනේ
මල් සුව‍ඳේ
ගිනි අව්වේ
දියවී ගිය පෙම

ඇහි­ඳි­න­වද කුරු­ල්ලනේ
උදෑ­සන ම
සැරි­ස­ර­මින්
ගී ගය­මින්
මල් ගස් යට

කේ. පී. ඩබ්. ප්‍රියන්ත ජය­ලත්


තනි­කම

 නෙත කඳුළු සඟ­වලා
පෙම් කවක් ලිය­නවා
ඒ කවියෙ සැඟ­විලා
නුඹ මසිත සිඹි­නවා

ලැගුම් ගෙන මුළු භවේ
නුඹ මහදෙ ඉන්නවා
මගේ හිත නුඹෙ නමට
පාරමී පුර­නවා
ආදරේ සිත්තමේ රූ රටා මැකෙ­නවා
මට ලැබුණු රන් තිළිණෙ
නුඹට බව දන්නවා

ඉතින් නුඹ වැලඳ ගමි
මට සතුටු හිතෙ­නවා

චන්ද්‍රා සෙන­රත්


කා.කා.ස.

ඔබේ අතින් ජරා­පත්
කන්තෝරු මේසය
මගේ අතින් පිරි­ප­හ­දුව
බබ­ළාය
මගේ හිත
ඉරක් සේ---!

කමක් නෑ ලැබු­ණාට අඩු වැටුප්
ඔබ සිටිනු යෙහෙ­න්නම්---!
අව­ස­රයි
මම ගිහින් එන්නම් ---!

නිහාල් ගුණ­ව­ර්ධන


ජීවන සතුට

සඳ සාවා සෙයින් මිරි­ඟු­ව­කැයි හැඟෙන
කල්පිත නේක නිති ලොව තුළ මුණ ගැහෙන
කෙත­රම් සත්‍ය­යට පිටු පෑවද කියන
සොඳුරුම සංකල්ප මායා මුව පිනන

මවු ඇකයේ පටන් දිවියේ ලොබ බඳින
බහු­තර දේම මිරි­ඟුව හා සැරි­ස­රන
කටු­කම සත්‍ය මත පම­ණක් දිවි ගෙවන
පහසු නොවන විට තම දිවි තොර කෙරෙන

උදක් රෝස මල් යහ­නා­වක් ම නොවී
කෙටිම නිමේ­ස­ය­කින් දිවි වෙනස් වෙවී
පුංචිම පුංචි දෙය­කින් නිති සතුට පෙවී
ජීවන සතුට විඳ­ගත හැක බොළඳ වෙවී

අමිතා කු­මාරි දිවා­රත්න


පැතුම

දුරුතු සඳ නැගේ පෙර­දිග නිල් අහ සේ
සම­නො­ළ­ගිර හිසේ සම්බුදු සිරි පහ සේ
ගංගා කොම­ළි­යන් සිව් දෙස ගැලු­වා සේ
හස­රැළි නැගේවා! වස­රක් ලැබු­ණා සේ

දම්රස සවන් දෝතට අම­රස මියුරු
සම්බුදු පියා­ණෙනි කරුණා ගුණ සයුරු
සතු­රන් ලෙසින් ලොව ජය­ගත්තේ කවුරු
මෙත්මල් පිපේවා! සඳ මෙන් එක අයුරු

ලක්මව සන­ස­ව­න්නට අප සමගි බලේ
මල් යායක සුවඳ දැනුණා මිතුරු කැලේ
සාමයෙ පොදු දහම එක­මුතු කමය මලේ
අපි වෙමු සුපිපි පස් පියු­මක් නිලඹු විලේ

ඇත්ගාලේ නන්ද­සිරි හිමි



පහත රටදී
එළි­ම­හනේ සිට
මහත් වුව­ම­නා­වෙන්
සතු­ටින් වින්ද..
පොද වැස්ස...

ශීත කඳු­ක­රයේ දී
අහ­ම්බෙන් මෙන්
එළි­ම­හ­න­කදී
මහත් හිරිහැර­යක් වූ
බෝ අමා­රු­වෙන් උහුලාගත්
පොද වැස්ස

ගංගා වරු­ෂ­වි­තාන
 


 එතෙර කවිය

සුමු­දුව පා නඟන්න

මිහි මව ළැම පහන් සිතින්
මිනිස් දෙපා, සත් සී පා-
කුර සට­හන්, අත් පහු­රුද
සම අයු­රින් පිළි­ගනු ඇත.
එසේ නමුත්,

ජීවි­තයේ පිළි­වෙත නම්,
ආග­න්තුක සත්කා­රයෙ
මිහිරි හැඟුම් - සාර ධර්ම
උල්ලං­ඝන නොකි­රී­මයි.

ඔබට කියමි-
සංචා­රක හිත මිතු­රනි,
මේ වන දිවි සොබා අරණේ
වැසි - නල - හිම කිසි දේකින්
මැකී නොයන මං සල­කුණු
ඉතිරි නොකර පිය මනින්න.

එම්. එල්. ජොන්සන්
- ඇ. එ. ජන­ප­දය

වන ජීවී සංර­ක්ෂ­ක­යකු හා පරි­සර හිත­කාමී කවි­යකු වන එම්. එල්. ජොන්සන් විසින් රචිත ඉංග්‍රීසි පද්‍යය, ඇල­ස්කාවේ ‘ඩිනාලි’ නම් ජාතික වන උය­නට ඇතුළු වන සංචා­රක මධ්‍ය­ස්ථා­නයේ බිත්ති පුව­තක සඳ­හන් වනුයේ, සංචා­ර­ක­යන් නෙත් ගැටෙන පරි­දිය.
‍මගේ ඇලස්කා සංචා­ර­යේදී පිට­පත් කර ගත් මේ කවිය, අපේ රටේ සංචා­ර­ක­යන් සඳ­හාද වැද­ගත් ඔව­ද­නක් සප­යන හෙයින්, මෙසේ පරි­ව­ර්ත­නය කර­න්නට සිත් විය. මිහි­ම­වගේ දායා­ද­යන් වූ පරි­ස­රය ආරක්ෂා කිරීම අපේ යුතු­ක­මක් බව, කවියා මුදු - සුමුදු වද­නින් පව­සයි.

බර්නි දස­නා­යක


අපට පොදු ලොවක් ඇත

කඳු වළලු උඩින් විත් සඳ පළුව එබි එබී
සුදු රැසින් දෙන එළිය මිදුලේ මල් පෙති සිඹී
පුදු මයකි ලොව නොදුටු සතුට ඒ තුළ තිබී
මුදු සුමුදු නළ කැරැළි ළයට හෙමි­හිට සිඹී

සරත් සමයේ නැගෙන සුදු වලා කැටිය සේ
ලිහිල් වෙයි හද­වතේ පැතුම් මල් පෙති මෙසේ
සවන් දොර­ටුව වැසූ විහඟ ගීයක රසේ
සොඳුරු ඔබේ මුව විතින් ගලන රිද්මෙක ඇසේ

කටු අකුල මත පවා සුවඳ මල් පීදිලා
කතර ගිනි­යම මැදත් උල්ප­තක් මතුවෙලා
නෙතඟ කඳු­ලෙන් උපන් පැතුම ගොස් නැවතිලා
දෙතොල මී විත උඩත් මදු මලක් හිනැහිලා

නොමැත මිණි මුතු බරණ සත් මහල් පුරවන්න
පයට පාවඩ හිසට උඩු වියන් එල්ලෙන්න
අතට දැසි දසුන් නැති නමුදු සුර සැප දෙන්න
අපට එන­මුත් හැකිය සතුට ළඟ හිනැහෙන්න

සත් රුවන් දැසි දසුන් බුමු­තු­රුණු උඩු වියන්
මක් කර­න්නද සොඳුරු සැක බියෙන් ළඟ තියන්
හිස් අතින් ආ නමුදු පැල්ප­තක සුව සොයන්
මත් කර­න්නම් සිතම මිහිරි කවි­යක් කියන්

ඔබගෙ හිත මා සතුය, හිත මගේ ඔබ සතුය
ණයට උග­සට තබා නොමැත අප­ටම නතුය
දෙහිත දෙහි­තක් නොවේ එක හිතින් ආ අතුය
කුමට මිණි මුතු තවත් අපේ හිත් එක මුතුය

හිතට ආ හැම රිදුම රිදු­ම­කැයි නොතැ වෙමු
අපට පොදු ලොවෙක අද ලද දෙයින් සැනසෙමු
අතට එන සුළු දෙයින් ‍තවෙකෙ­කුට දිරි දෙමු
අදට වැඩි­යෙන් ටිකක් හෙට දවසෙ හිනැහෙමු

සිරි පති­රගේ


මරු සන්නිය

මරු අබි­යස
අනා­ථව
අස­ර­ණව
අජූ­තව
මියෙන්ට
සිහි­නෙ­නුදු
නොප­තමි...

මරුද
මරු වික­ලෙන්
දොඩ­වන
මොහො­තක
සන්සුන්ව
මියෙන්ට
රිසි­යෙමි

තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ



මගේ නොවූ මගේ දුයි­ෂෙන් වෙත

එක් සොඳුරු හීන­යක් දුර­කින්
මැව්වේ මං නිබ­ඳව නුඹ නමින්
දකි­න­විට සුවි­සල් පොප්ල­රුන්
සිහි­වුණේ නුඹ­මයි මට නිතින්

වෙන්ව යන ‍මොහොතෙදී නුඹ­ගෙන්
හඬා වැල­පුණි ළසෝ තැවු­ලින්
බැස එන්න සිතු­ණද දුම්රි­යෙන්
නොපි­ළි­ග­නි­තැයි සිතුවෙ බිය­කින්

පතන බව කීවද ලිපි­ය­කින්
නැහැ ලැබුණෙ පිළි­තු­රක් නුඹ­ගෙන්
වැර­දි­කා­රිය මමයි සිත­මින්
දැවේ හද­වත පසු­තැ­වී­මෙන්

තරු ඇදු­රු­තුම - දුයි­ෂෙන්
අහි­මිවූ පූරුවේ පව­කින්
නුඹට ගැතිවූ විසල් හැඟු­මින්
මඟ බලමි යළි එතැයි සිත­මින්...

නඳුනි අංජලී පෙරේරා


මතක සැම­රුම්

දිනය එක්ද­හස් නව­සිය අනූ නව­යක් වූ ජූලි මස විසි­පස් වැනි ඉරු දින අප­ර­භා­ග­යයි. ස්ථානය ගොත­ටුව මහා විද්‍යා­ලීය ප්‍රධාන ශාලා­වයි. කාර­ණාව, මගේ “සඳ­ව­තීට සඳ විම­නක්” කෙටි කතා සංග්‍ර­හය සහ “මැටි කැටය” ළමා සාහිත්‍ය කෘතිය ජනගත වීම ද මවෙත පිරි­නැ­මුණු සමස්ත ලංකා සාම­වි­නි­සුරු පදවි ප්‍රාප්තිය ද නිමිති කොට­ගෙන පැවැත්වූ උත්ස­ව­යයි. එදින මහා­චාර්ය විනි විතා­රණ ශුරීන් ප්‍රධාන දේශ­ක­යා­ණන් ලෙස සහ­භාගි වූ උත්සව සභාව නියෝ­ජ­නය කර­මින් මහා සංඝ රත්නය, දේශ­පා­න­ඥ­යන්, රාජ්‍ය නිළ­ධා­රීන්, කලාකරු­වන්, කවි කිවි­ඳ­යන්, සිසු දරු දැරි­යන් මෙන්ම ප්‍රදේ­ශ­වා­සීක් බොහෝ දෙනෙක පැමිණ සිටි­යහ.


බත්ත­ර­මුල්ල ශිල්ප කලා රංග නිකේ­ත­නයේ ගුණ සමරු පද­නම සංවි­ධා­නය කළ මෙම උත්සව සභාව රස ගැන්වී­මට එදින සහ­භාගි ව සිටි සේන ගණේවත්ත, දැනට අප අත­රින් වියෝ වී සිටින ටියු­ඩර් ප්‍රේමචන්ද්‍ර කවියා ඇර­යුම් ලබා තිබුණ ද උත්සව සභාව අත­ර­තුර එතු­මාට නිව­සින් ලැබුණ හදිසි දුර­ක­ථන පණි­වි­ඩ­යක් නිසා සංවි­ධා­ය­ක­යන් දැනු­වත් කළ එතුමා ‍වෙනත් කිසි­වෙ­කුට නොදැ­නෙන පරිදි නික්මී ගොස් තිබුණි. න්‍යාය පත්‍ර­යට ඇතු­ළත්ව තිබූ ටියු­ඩර් ප්‍රේම­චන්ද්‍ර කවි­යාගේ අව­ස්ථාව සංවි­ධා­ය­ක­යන් විසින් හද­ිස්සි­යේම ලබා දුන්නේ එකල ප්‍රකට තරුණ කිවි­යෙකු වූ සේන ගණේ­ව­ත්ත­ටය. ඒ අව­ස්ථා­වට ඉදි­රි­පත් වෙමින් සේන ගණේ­ව­ත්ත කිවි­ඳුන් තම ගැඹුරු ලයා­න්විත ස්වර­යෙන් හිටි­ව­නම ගැයු මේ කවි කිහි­පය උත්සව සභාව අම­න්දා­න­න්ද­යට පත්කි­රී­මට සමත් විය.

සට­හන - ප්‍රේම­සිරි කාරි­ය­ව­සම්


කහ­වත රස­ඳනි තැව­රුණ නයන කොනේ
රහ­ත­න්ව­රුන් මෙන් සංවර ගතිය පෙනේ
නිර­තු­රු­වම සැමට දක්­වන කුළුණු ගුනේ
අව­සර අපට ගරු­තර හාමු­දු­රු­වනේ

වැඩ­ස­ට­හ­නට මා ඇත බව නැහැ දන්නේ
අඩු­පා­ඩු­වකි මම මෙත­නදි පුර­වන්නේ
හිත­වත් ප්‍රේම­සි­රි­ගෙනි මෙය විම­සන්නේ
හිටි හැටි­යේම ටියු­ඩර් කොයි­බද පැන්නේ

නව පර­පුරේ ලේඛ­ක­යන් අත­රඑ ඉඳ
කාරි­ය­ව­සම් කිවි­යා­ණන් ලියන ලද
තව පොත් දෙකක් මෙහි අට­වන වරට අද
දැය වෙත පිදෙය එය කොත­රම් වටි­න­වද

මිනිසා මිනි­සාට සිදු­කළ යුතු සේවේ
කාරි­ය­ව­ස­ම්ලට නැත අම­තක වූවේ
යුතු­කම හමුවේ කව­දත් නැත පිටු පෑවේ
මේ වැනි වැඩට තව දහි­රිය ලැබු­ණාවේ

හැම කෙනෙ­කු­ටම බැරි වැඩ කට­යුතු මේවා
යුග මෙහෙ­වර පිණිස ඔහු දායක වූවා
මිය යන්නට කලින් ඉටු­කර සිය සේවා
සිය වැනි පොතත් ඔහු සුර­තින් ලිය­වේවා

සේන ගනේ­ව­ත්ත­

 

අදහස්