වසර 35කට පසු කෙප්පපිලව් ජනතාව යළි ගම් බිම්වලට | සිළුමිණ

වසර 35කට පසු කෙප්පපිලව් ජනතාව යළි ගම් බිම්වලට

 අපි ගෙයක් දොරක් හදා ගන්නෙ බොහෝ විට ජීවත් වෙනකල්ම එහි වාසය කරන්නයි. කලාතුරකින් ඒ වාසය වෙනස් කරන්න වෙන අවස්ථාත් තියෙනවා. ඒත් මේ රටේ තිස් අවුරුද්දක් පුරා පැවතුණු යුද්ධය නිසා තම ගම බිම් නිවාස අහිමි වූ ජනතාව දැඩි අපහසුතාවන්ට පත් වූ බවත් අපට අලුත් කතාවක් නෙමෙයි.

ඝන වනාන්තරයෙන් වටවුණු මුලතිව් ප්‍රදේශයේ තම උපන් ගම් බිම් අත හැර ගිය අයට යළිත් තම නිවාස ගේ දොරවලට යන්න තරමක බාධාවක් තිබුණා. ඒ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හා අනුබද්ධිත ප්‍රදේශය ආරක්ෂක කලාපයක් ලෙසින් පැවතුණු නිසයි.

මේ නිසා බොහෝ අයට තම තමන්ගේ ඉඩකඩම් වෙනුවට වෙනත් ස්ථානවල දිවි ගෙවන්නට සිදු වුණා. යුද්ධයෙන් පසුව වුණත් නන්දිකඩාල් කලපුවේ කෙළවරට වන්නට වඩ්ඩුවාකල් පාලමෙන් මෙපිටට වන්නට හමුදා ආරක්ෂක කලාපයක් ක්‍රියාත්මක වුණු නිසා ඒ ප්‍රදේශයේ ජනතාවට ගැටලු රැසකට මුහුණ පාන්නට වුණා. කෙප්පපිලව් පාසල අසලින් වැටී තිබූ මාර්ගය වෙනුවට සැලකිය යුතු දුරක් ගෙවමින් තම ගමන් බිමන් අවශ්‍යතා සපුරා ගන්නට ඔවුන්ට සිදු වුණා. මේ නිසා ඔවුන්ට විශාල කරදර බාධකවලට මුහුණ පාන්නට සිදු වුණා. මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ඉවත් කළ යුතු බවට ඇතැම් දේශපාලඥයින් විසින් වරින් වර පවසන ලද්දේ මේ ජනතාව ගැනම සිතා නොවුණත් ඒ ජනතාවට තම දෛනික කටයුතුවලදී පවා දැඩි දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදු වුණා. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබුණා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි හමුදා සේනාංක ස්ථානගත කිරීම් සිදුකළ යුතු බවට යුද හමුදාපතිවරයා මෙන්ම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් විසින් කටයුතු කර තිබුණා. එම නිසා මුලතිව් වෙරළට සමීප කෙප්පපිලව් ප්‍රදේශයට අයත් භූමි භාගය යළි නිදහස් කිරීම අපහසු තත්ත්වයක පැවතුණා.

මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් ඇමැතිවරයා විසින් වරින්වර පෙන්වා දීමෙන් පසු මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනුවෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් එම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව ආරක්ෂක අංශ සහ රජය විසින් සොයා බැලුවා.

ඒ අනුව මේ ඉඩම් ජනතාවට ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙක් පසුගිය කාලය පුරාම කරුණු සොය බලනු ලැබුවා. ඒ අනුව ආරක්ෂායට කිසිදු ආකාරයක තර්ජනයක් නොවන අයුරින් මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ මුලතිව් ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 133.34 ක භුමිය සහ දේපල එහි මුල් අයිතිකරුවන් වෙත භාර දීමට පසුගියදා කටයුතු කෙරුණා.

භූමියේ අයිතිය හිමිකාරිත්වය ලබා දුන්නා පමණක් නොවේ යුද්ධය නිසා විනාශ වි ගිය මේ ජනතාවගේ නිවාස යළි සාදාදීමටද යුද හමුදාව මුල් වී කටයුතු කර තිබෙනවා.

එම නිවාස වලට යළි පිය මනින සියලු ජනතාවට අවශ්‍ය කටයුතු මොනවාදැයි සොයා බලා කටයුතු කර ඔවුන්ගේ අවශ්‍යතා සියල්ල සපුරා ලීමටද යුද හමුදාව විසින් කටයුතු කළා. මේ කටයුතු සිදු කෙළේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ මූලිකත්වයෙන් හා ඔහුගේ උපදෙස් මතයි.

ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ වෙනුවෙන් මේ කාර්යය සිදු කිරීම උදෙසා ආරක්ෂක සේනා මුලස්ථාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රදීප්.එස් ද සිල්වා මහතා පියවර ගත්තා. ඒ මහතා විසින් එම ඉඩම් සහ නිවාස හිමි අයිතිකරුවන් සාදරයෙන් පිළිගෙන ඔවුන්ගේ ඉඩම් සහ දේපල පිහිටා තිබු කෙප්පපිලවු ප්‍රදේශය වෙත රැගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන්නා. නිවාසයන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ප්‍රවාහනයට අවශ්‍ය සියලු ප්‍රවාහන පහසුකම් මෙන්ම ඔවුන්ට තම එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම්ද මෙහිදී සලසා දිම විශේෂත්වයක් ගත්තා.

එපමණක් නොවේ මේ සියලු ජනතාවට ප්‍රණීත ආහාර පානවලින් සංග්‍රහ කිරිමටද පියවර ගෙන තිබුණා.

අවසන් සටන පැවැති කාලවකවානුවේදී මෙන්ම වසර 30ක් පුරා යුද්ධය පැවැති කාල වකවානුවේදී විනාශ වී ගිය තම නිවාස දෙස බලමින් හූල්ලමින් සිටි මේ ජනතාවට හිසට වහලක් තනා දීමටද මේ වන විට සියලු පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ ජනතාව යුද්ධ හමුදාවට තම ප්‍රශංසාව පළ කළා.

යුද හමුදාව උතුරෙන් ඉවත් කිරීමට ඇතැම් දේශපාලඥයන් විසින් උත්සාහ දරමින් සිටියත් තමන්ට අහිමි වූ නිවාස යළි සාදා දෙන්නට එම ජනතාව ඉල්ලා සිටි විට දේශපාලඥයන් ඒ පැත්තවත් බැලුවේ නැහැ. මේ නිවාසයන් වැඩි ප්‍රමාණයකට හැනි පැමිණ තිබුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාර නිසා බවද මේ ජනතාවම හොඳාකාරවම දන්නවා. කෙසේ හෝ වේවා තමන්ට හිසට සෙවණක් තනා දෙන්නට ආරක්ෂක හමුදාව විසින් ගන්නා උත්සාහයට මේ සියලු ජනතාවගේ ප්‍රණාමය හිමි වුණා. ඒ වගේම තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් සහාය දෙන්නටත් මේ ජනතාව විසින් පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ට අවශ්‍ය තම තමන්ගේ නිවාසවල පදිංචිව සාමාන්‍ය දිවිය සාමයෙන් ගත කිරීමට මිස දේශපාඥයන්ගේ උදවු උපකාර ලබා ගන්නට නොවේ.

යාමට ඒමට නොහැකි වූ වයෝවෘද්ධ අයට යුද හමුදාවේ පිපිට ලබා දුන්නේ අවසන් සටනේ මානුෂීය මෙහෙවර යුද හමුදාව විසින් සිදු කළ ආකාරයටමයි.

මේ ආකාරයට සාමය හා සංහිඳියාව දිගින් දිගටම ඇති කරලන්නට රජය විසින් උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල ජනතාවට දක්වන සැලකිල්ලකි මේ. තම ඉඩම් ගෙවල් යළි හිමිවන ජනතාවගෙන් ලැබෙන්නා වූ ප්‍රතිචාරද ඉතා ඉහළ මට්ටමක තිබෙන බවද ඉතා පැහැදිලියි.

එහෙත් ජනතාවගේ එම හඬ යටපත් කරමින් දේශපාලඥයන්ගේ හඬ මතු වීම සැබැවින්ම කනාගාටුදායකය.

ආරක්ෂක අංශ සමඟ සතුටින් කුලුපගව තේ පැන් සංග්‍රහ භුක්ති විඳිමින් ආහාර ගන්නා මේ ජනතාව කියා පාන්නේ සමඟියේ අගය බෙදී යන්නට නොව සමඟිව එක් වන්නට බවයි.

එහෙත් උතුරේ කටමැට දොඩවන ඇතැම් දේශපාලඥයන්ට අවශ්‍ය වන්නේ රට වෙන් කරලන්නට මිස සාමය රජකරවන්නට නොවේ.

තමන් උපන් ගම්බිම්වලට යළි ගමන් කළ මේ ජනතාවගේ මුවින් නැඟුණු සිනහව අපට කියා පෑවේ දහස් ගණනක් බලාපොරොත්තු යළි උපන් බවකි.

ඒ සිනහ ඒ අයුරින්ම පවත්වා ගත හැක්කේ සාමය අප රටේ හැමදා පැවතුණහොත් පමණි.

එපමණක් නොවේ කාලාන්තරයක් ආරක්ෂක හේතූන් මත තිස්සේ වසා දමා තිබූ කෙප්පපිලව් පාසල අසලින් දිවෙන මුලතිව් - පුදුකුඩුඉරිප්පු මාර්ගයද මේ වන විට සාමාන්‍ය ජනතාවගේ ගමන් පහසුව සඳහා විවෘත කර ඇති අතර මේ වන විට බස් රථ ධාවනයටද අවසර ලබා දී තිබෙනවා.

ආක්ෂක හමුදා සේනාංක දෙපස තිබියදී ඒ මැද්දෙන් ජනතාවට ගමන් කිරිමට අවසර ලබා දී ඇත්තේ සමඟිය මෙන්ම සාමය ඇති බව පෙන්වා දෙමිනි. ඒ තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම පිණිස එම මාර්ගයද යුද හමුදාවෙන් තනා නිමකර දී ඇත්තේද ජනතාවගේ හත සුව පිණිසය. ඒ හිත හොඳකම දිගටම වර්ධනය කර ගැනීමට අප පියවර ගත යුතු වේ.

තාරක වික්‍රමසේකර

අදහස්