පාර්ලිමන්ට් ජෝක් | සිළුමිණ

පාර්ලිමන්ට් ජෝක්

ඉරිදා - ඇලෝසියස් පවුල

ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ “ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් බැඳුම්කර වාර්තාවේ සඳහන් බව” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටීමය.

“හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වන බව” ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. කවුරුන් වැරදි කළ ද තරාතිරම නොබලා නෛතික පියවර ගැනීමට කටයුතු කිරීම ගැන රටේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිවන්ත විය යුතුය.

සඳුදා - අැයි මාධ්‍ය බයද?

ජනවාරි 07 වෙනිදා බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් මහින්දගෙන් ජනමාධ්‍ය කිසිවක් නො අසන්නේ තවමත් ඔහුට බිය වී සිටින නිසාදැයි කියය. “දැන් මාධ්‍යවලට තියෙන්නේ බිලියන 10,000 ක් ආපහු කවද්ද හම්බවෙන්නේ කියලා මහින්ද රාජපක්‍ෂගෙන් ගිහින් අහන්න. ඒ ප්‍රශ්නෙ අහන්නේ නැත්නම් මට හැම වේදිකාවකදීම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා, ‘ඇයි මාධ්‍ය බයද’ කියලා අහන්න”.

එසේම තවදුරටත් කරුණු දැක් වූ අගමැතිවරයා “බැඳුම්කරය ගැන පාර්ලිමේන්තු පරීක්ෂණයෙන් පසු ජනාධිපතිතුමා කිව්වා, ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕන කියලා. ඒ කොමිසම පත් කිරීමට පෙර මට ඒ ගැන කරුණු පැහැදිලි කළා. මම ඒ කරුණුවලට එකඟ වුණා. කොමිසම ක්‍රියාත්මක වුණා. මමයි ඇමැතිවරු තුන්දෙනෙකුයි ගොස් සාක්ෂිත් දුන්නා. මෙය මීට පෙර ලංකාවේ නොකරපු දෙයක්. දැන් කොමිසම් වාර්තාවත් පැමිණ තිබෙනවා. එයත් නීතිපතිට යවා තිබෙනවා. දැන් නීතිපතිට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉඩ දීලා තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය. ඉතින් අපි ඒ ගැන නීතිපතිවරයාගේ නිර්දේශය කුමක්දැයි බලා සිටිමු.

සඳුඳා - උප්පැන්නය කාටද?

ජනාධිපති පදවි ප්‍රාප්තියේ තෙවර්ෂ පූර්ණය සනිටුහන් කරමින් ජනවාරි 8 වෙනිදා එළඹියේ ය. එහි දී සිදු වූ සුවිශේෂිතම සිදු වීම වන්නේ මොරගහකන්ද ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වීමය. ජනපතිවරයකුට මෙවැනි මහඟු ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරමින් සිය වර්ෂ පූර්ණය සමරන්නේ නම් මේ රට කෙතරම් සෞභාග්‍යමත් රටක් වනු ඇතිද? එහෙත් පසු ගිය කාලයේ අප දුටුවේ කෝටිගණනින් ජනතා මුදල් කාබාසිනියා කරමින් සිදු කරන මහේශාක්‍ය උත්සවය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ “බාධා එල්ල නොවුණා නම් මීට වසර පහකට පෙර මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ දියවර මුදා හැරීමට අවස්ථාව තිබූ බවය”.

“මේ ව්‍යාපෘතියට මුල්ගල තැබුවේ 2007 වසරේ ජනවාරි මාසයේ 25 වැනිදා. 2007 ජනවාරි 25 මුල්ගල් තියලා මම මහා බලාපොරොත්තු ඇතිව කොළඹට ගියා. ඊට පහුවෙනිදා මට අරලිය ගහ මන්දිරයෙන් එන්න කිව්වා. මහවැලිය වෙන කෙනෙක්ට දෙනවා කියලා කිව්වා. මුල්ගල තියලා තියපු රජරට ජනතාව වෙනුවෙන් මා මේ කාර්ය කළ යුතු යැයි කීවා.”

“නැහැ මේ අමාත්‍යාංශය වෙනස් කරනවා. මහවැලි අමාත්‍යාංශය වෙනත් අයකුට දෙන බව එවකට හිටපු නායකතුමා කිව්වා. එදා ඒ විදියට බාධා එල්ල නොවුණා නම් මේ කෙත්වතු අස්වද්දන්න තිබ්බේ, මේ ඇළ දොළ පුරවන්න තිබුණේ මීට වසර පහකට කලින්. රජරටට සංවර්ධනය ඇති කරන්න තිබ්බේ මීට වසර පහකට කලින් බව කිව යුතුයි. එෙහම වුණා නම් ඔබ අද මුහුණ පාන නියඟය මීට අවුරුදු පහකට කලින් අවසන් කරන්න තිබ්බා. තමුන්නාන්සේලාගේ වැව් අමුණු, ජලාශ පුරවන්න තිබුණා” ඒ රාජපක්ෂ රෙජිමයේ ආශ්චර්යයේ තරමය. ජනතාවාදී නායකත්වයේ තරමය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා “ අද මොරගහකන්දේ ජලාශයට උප්පැන්න සහතික ලියන්න බොහෝ අය උත්සාහ දරමින් සිටිනවා. මම 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වුණ ගමන්ම ආචාර්ය කුලසිංහ සමඟ ඔය කැලෑව අස්සේ රිංගුවේ. ගල් කඳුවලින් මහා ගස්වලින් ගිහිල්ලා වේල්ල බඳින්නේ මෙතැනින් කියලා ආචාර්ය කුලසිංහ මහතා එදා මට පෙන්නුවා. ඒවගේම ජලයෙන් යට වෙන්නේ මේ මේ ප්‍රදේශ කියලා ආචාර්ය කුලසිංහ මාව දැනුවත් කළා. ඔහුගේ නමින් ජලාශය නම් කළේ ඒ නිසයි”. සැබෑ නායකයකුගේ යුතුකම විය යුත්තේ එයයි. නැතිව තමන් බැබලීම නොවේ. බැසිල් රාජපක්ෂ මහතා පවසන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම යොදා නැත්තේ කනත්තකට පමණය.

සඳුදා - යුක්තිය කෝ?

ජනවාරි 08 වෙනිදා උණුසුම් කළ අනෙක් මාතෘකාව වූයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. ඔහු ඝාතනය වී පසුගිය 08 වෙනිදාට වසර නවයක් ගතවී තිබිණි. මේ සඳහා පවුලේ ඥාතීන් සහ හිතවතුන් සහභාගි වූ අතර දේශපාලඥයින්ද සහභාගි වී ඇත. එහිදී ලසන්තගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග එවූ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එම පවුලේ සාමාජිකාවක ප්‍රකාශ කර සිටියේ “දේශපාලනය සමඟ සම්බන්ධතාවයක් නැති අපරාධකරුවන් විසින් මිනීමැරුමක් සිදු කළ විට එය ඉතා ඉක්මනින් විභාග කර වසර කිහිපයක් ඇතුළත දඬුවම් පමුණුවන බවත්, එනමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට තවමත් නීතිය අපොහොසත් වීම ගැටළු සහගත බවයි. මේ හේතුවෙන් ඊට වගකිව යුතු ප්‍රධාන සැකකරු හෝ සැකකරුවන්ට අනාගතයේදී මේ රටේ ජනාධිපති හෝ අගමැති පදවියට වුවත් තේරී පත් වීමට හැකි බව” ඇය ප්‍රකාශ කර සිටියාය.

අඟහරුවාදා - වගකීමක් නෑ

පසුගිය 9වෙනිදා පුවත් පත් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “තමාගේ රුව යොදාගෙන දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු වගකීමක් නැති බව” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබුණි.

විවිධ දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද දේශපාලන කටයුතු සඳහා තම රුව යොදාගෙන ඇති බවත් ඒ සඳහා තමාගේ අකමැත්තක් හෝ විරෝධතාවයක් ප්‍රකාශ කර නැති බවත්, දන්වා ඇති රාජපක්ෂ මහතා එවැනි නීත්‍යනුකූල නොවන අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව මැතිවරණ කොමිෂම නීත්‍යනුකූලව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර ඇත.

තමන්ගේ රුව අනීතික අන්දමින් කිසිවකු විසින් යොදා ගැනීමට ඔහු ඍජුව මැදිහත් නොවී ඊට මැතිවරණ කොමිසමේ සභාපතිට පියවර ගන්නා ලෙස පැවසීම හාස්‍ය ජනකය.

බදාදා - නීතිය ‘නවන’ ෙපාලීසිය

ජනවාරි මස 10වෙනිදා එළඹියේ පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය ගැන තවත් ප්‍රශ්නාර්ථයක් මතු කරන පුවතක් සමගිනි.

‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’ යන කියමන සිහි ගන්වන කතා රැසක් පසුගිය කාලයේ පොලිස් දෙපාර්ථමේන්තුව පැත්තෙන් ඇසෙන්නට විය. එලෙස තොරතුරු අනාවරණය වූ පසු ඇතැම් සිදු වීම් පිළිබඳව සොයා බලා එම වැරදි නිවැරදි කර ගැනීමට උත්සාහ ගෙන තිබීම ප්‍රශංසා කටයුතුය.

ශ්‍රීලංකා පොලීසියේ සිටින වැඩි දෙනෙක් හොරු, වංචාකාරයින් හෝ අල්ලස් ගන්නන් නොවෙති. නීතිය ‘නවන’ පිරිස් සිටින්නේ අතලොස්සක් පමණි. මහජනයා සමඟ සුහදව ඔවුන්ට ගෞරවාන්විතව සලකන අභිමානවත් පොලිස් සේවාවක් ඇති කිරීමට නම් නීතිය ‘නවන’ පොලිසියේ සුළුතරය හෙළිදරව් කළ යුතුමය.

පොලිස්පතිවරයා නිලධාරියාගේ කමිසයෙන් අදින අයුරුත් ඔහුට පහර දීමට උත්සාහ කරන අයුරුත් එම වීඩියෝවේ පැහැදිලිවම සඳහන් වූ අතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස්පතිවරයාගේ හැසිරීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, පොලිස්පති නියමය අනුව නියමිත වේලාවේ භාවනාව නොකිරීම නිසා එම සිද්ධිය ඇති වූ බවයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා විමර්ශනයක් කරවන ලෙස නීත්‍යනුකූලව රාජකාරි කරන පොලිස් නිලධාරීහු මෙන්ම නීතිය කෙරෙහි විශ්වාසය තබන උදවිය ද පොලිස් කොමිෂන් සභාවෙන් සහ පොලිසිය බාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිති.

බදාදා - නිල් ඔසරිය

බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය තම දේශපාලන බංකොළොත් බව වසා ගැනීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ලේ තැවරුණු සාටකයත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නිල් ඔසරියත් දිගින් දිගටම භාවිතා කරමින් සිටින බවය.

එබැවින් එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන බවද කීය.

එහෙත් විමතියට කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂයේ සාමාජිකයකු නොවීමය.

බ්‍රහස්පතින්දා - පාර්ලිමන්ට් ජෝක්

ජනවාරි 11වෙනිදා සියලුම පුවත්පත් වාර්තා කර තිබුණේ පාර්ලිමේන්තුවට කළු පැල්ලමක් එක්කල ගුටිකෙළිය සම්බන්ධවයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජනවාරි 10 වෙනිදා පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද ඇති විය.

ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත් වී තිබුණි.

ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

මේ අතර විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අතර නැවතත් විපක්ෂනායක වරයා සිය විශේෂ ප්‍රකාශය සිදු කිරීමට උත්සාහ කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය පාමින් සභාගැබින් පිටව ගියේය.

අග්‍රාමාත්‍යවරයාගේ කතාව හරහා තම නායකයාගේ හා කණ්ඩායමේ කැරැට්ටුව එළියට පැමිණීම වළකා ගැනීම මෙම විරෝධතාවයේ මූලික අරමුණ වී තිබුණි. ග්‍රෝත්‍රික භාවයෙන් මිදී සංවාදය මඟින් ගැටුම සමතයකට පත් කරගත් මානවයා මෙතරම් දිගු ගමණක් පැමිණ ඇතිද ශ්‍රී ලංකාව නම් දූපතේ නායකයින් මානව පරිනාමයේ මුල් අවශ්ථාව නියොජනය කරන තත්ත්වයට පත්ව ඇත් නම් අපට ඒ ගැන නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබේ.

සිකුරාදා - පහද? හයද?

12වෙනිදා සියලු පුවත්පත්වල ප්‍රධාන මාතෘකාව වූයේ ජනාධිපතිවරයාගේ ධූරකාලය කොතෙක්දැයි විමැසීම සම්බන්ධයෙනි.

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයක් දක්වා පවත්වාගෙන යාහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණට දැනුම් දී තිබේ. 2015 වසරේ ජනාධිපතිවයා එම ධූරයට පත්වන විට වසර හයක කාලයක් ව්‍යවස්ථානු කූලව ජනාධිපතිවරයාට හිමි විය. පසුව පාර්ලිමේන්තුවේදී සම්මත කළ 19වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකට අවම කර තිබුණද වත්මන් ජනාධිපතිවරයාට පත් වී ඇත්තේ එම සංශෝධනයට පෙර හෙයින් එම සංශෝධනය අදාළ නොවන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව 2021 දක්වා සිය ධූරයෙහි රැඳී සිටීමට ජනාධිපතිවරයාට අවශ්ථාව හමිවන බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

බැඳුම් කර සිද්ධිය හා අනෙකුත් වංචා, දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් ලිපිගොණු 34ක් ජනාධිපතිවරයාට ලබා දී ඇති මොහොතක එම කටයුතු නිසියාකාරව සිදු කර වරද කරුවන්ට දඩුවම් පැමිණවීම සඳහා එතුමට සිය ධූරකාලය අත්‍යවශ්‍ය සාධකයකි. එනිසා තවත් වසර තුනක කාලයක් ඒ සඳහා හිමිව තිබීම සාධාරණය අපේක්ෂා කරන ජනතාවගේ ප්‍රශාදයට හේතු වී තිබේ.

එළඹෙන පෙබරවාරි මාසයේ මුල සිට රථවාහන වැරදි සිදු කරන පුද්ගලයින්ට එරෙහිව ලබාදෙන දඩකොළය නිවසටම යැවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව නීතිය හා සාමය භාර දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයට ස්වයංක්‍රීය කැමරා පද්ධතියක් ආශ්‍රෙයන් ලබාගන්නා දත්ත භාවිතා කරමින් ඉදිරියෙදී මාර්ගවල නීතිය කඩවන අන්දමින් හැසිරෙන රියදුරන්ගේ නිවෙස්වලට දඩකොළය ලැබෙනු ඇත. මෙය ඇත්තෙන්ම කාලෝචිත වඩා නිවැරදි පියවරක් බව පෙන්වාදිය යුතුය. මන්ද ඇතැම් පුද්ගලයින් සිය තරාතිරම පෙන්නා පොලීසියට තර්ජනය කර පලායන අතර, ඇතම් අවස්ථාවල පොලිස් නිළධාරීන්ගේ නොමනා ක්‍රියාවන්ට රියදුරන් ගොදුරුවේ. මෙනිසා මේ දෙපක්ෂයටම සාධාරණ ලෙස මෙවැනි අවස්ථා නිර්මාණය වීම වඩා සාධනීය වේ.

රසික කොටුදුරගේ

Comments