පටිච්චසමුප්පාදය හා සසර | සිළුමිණ

පටිච්චසමුප්පාදය හා සසර

 තථාගත දර්ශනයේ දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණය නම් කිසිදු අන්තයක් හෝ දෘෂ්ටියක් භජනය නොකරමින් සැබෑ සත්‍යය කවරක් ද යන්න දැක්වීම ය. ඒ බව කච්චානගොත්ත සූත්‍රයේ දක්වා ඇත.

‘සබ්බමත්ථිති ඛො කච්චාන අයමෙකො අන්තො.
සබ්බං නත්‍ථීති අයං දුතියො අන්තො.
එතෙ තෙ කච්චාන උභො අන්තො
අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති.’
(සංයුත්ත නිකාය, අභිසමය සංයුත්තය, කච්චාන ගොත්ත සූත්‍රය, 28 පිටු.)

මැදුම් පිළිවෙත

සියල්ල ඇත යන මෙය එක් අන්තයකි. සියල්ල නැත යන්න දෙවැනි අන්තය යි. මේ කිසිදු අන්තයක් භජනය නොකරමින් තථාගත තෙමේ මැදුම් පිළිවෙතින් ධර්මය දේශනා කරන බව මින් ගම්‍ය වේ. එම මැදුම් පිළිවෙත පටිච්චසමුප්පාදය නම් වේ. මෙහි දී අප විග්‍රහ කිරීමට උත්සහ දරනුයේ පටිච්චසමුප්පාදයේ දැක්වෙන කරුණු පිළිබඳ නොව පටිච්චසමුප්පාදයේ වැදගත්කමත්, එය සසර හා සම්බන්ධ වන ආකාරයත් පිළිබඳව යි. සසර දුකින් මිදීමේ අභිලාශයෙන් කටයුතු කරන සියලු දෙනා විසින් මැනවින් දැනගත යුතු ධර්මතා කොටසක් වශයෙන් පටිච්චසමුප්පාදය හැඳින්විය හැකිය. එහෙත් පටිච්චසමුප්පාදය දැකීම එතරම් පහසු නොවන බව දත යුතු ය. ධර්මයේ දැක්වෙන ඉතා ගැඹුරු විවරණයක් ලෙස පටිච්චසමුප්පාදය දැක්විය හැකිය. මහා බෝධිසත්ත්වයන් හා ප්‍රත්‍යෙක බෝධිසත්ත්වයන් (පසේ බුදු) හැර ලොව අන් කිසිවෙකුට ද ස්වශක්තියෙන් මෙම පටිච්චසමුප්පාදය තේරුම් ගැනීමට නොහැකි බව මහානිදාන සූත්‍ර අට්ඨකතාවේ දක්වා ඇත. ‘‘ඨපෙත්වා පන ද්වේ බෝධිසත්තෙ අඤ්ඤේ සත්තා අත්තනො ධම්මතාය පච්චයාකාරං උජුං කාතුං සමත්ථා නාම නත්ථි.’’ පටිච්චසමුප්පාදය දැකීමේ දුෂ්කර බව මෙම පාඨයෙන් මනාව දක්වා තිබේ.

ලොව වසන සත්ත්වයින් මෙසේ මහත් මුළා වූ බවට පත්ව සිටිනුයේ මෙම ධර්මතාවය අවබෝධ නොවීමෙනි. සංසාරික ජීවිතය තුළ අපායා දී දුර්ගති ලෝකයන්ගෙන් සමන්විත මෙම සසර ඉක්මවීමට නොහැකිව අවුල් බවට පත් වී තිබෙනුයේ මෙම ධර්මය නොදැකීමෙනි. විවිධ දෘෂ්ටි මතවාදයන්ට හසුව මහත් විපතට පත් වී ඇත්තේ ද සත්‍යය ස්වභාවය නොදන්නා හෙයිනි. සසර යනු මහත් අවුල් ජාලයකි. සත්ත්වයෝ ඒ තුළ පැටලී එය ඉක්මවා නොහැකිව අප්‍රමාණ දුක්ඛයකට බඳුන් වී සිටිති. ඒ සියල්ලෙන් මිදිය හැකි එක ම මාර්ගය නම් පටිච්චසමුප්පාදය මනා කොට දැක ගැනීම ය. සියලු දුක්ඛයන් හට ගැනීමේ හේතුව මෙම ධර්මයන් නොදැනීමය. අවිද්‍යාවෙන් යුක්තව සිටින සත්ත්වයා හට දුක් හටගනුයේ කෙසේ ද යන්න පහත පාඨයෙන් දත හැකි ය.

දුක් හටගැනීම

‘‘මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුණු කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි කර්මා දී අරමුණෙහි විඥානය පැවැත්ම වේ. අරමුණෙහි විඥානයේ පැවැත්ම ඇති කල්හි ච්‍යුතිය හා උපපත්තිය වේ. ච්‍යුතිඋපපත්ති ඇති කල්හි මත්තෙහි ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ දුක් රැසේ හට ගැන්ම වේ.

(සංයුත්ත නිකාය, අභිසමය සංයුත්තය, තෙවැනි චෙතනා සූත්‍රය, 105 පිටු.)

දුක් හටගන්නා ආකාරය බුදුරදුන් විසින් මනාව පෙන්වා දුන් අයුරු ඉහත පාඨයෙන් දත හැකි ය. පටිච්චසමුප්පාදා දී ගැඹුරු ධර්ම කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය වැදගත් ය. පටිච්චසමුප්පාදය පිළිබඳ දක්වන තැන්හි බොහෝ දෙනා පටිච්චසමුප්පාදය වශයෙන් දකිනුයේ එහි දක්වන ලද අංග දොළොස පිළිබඳව යි. අවිද්‍යා, සංකාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී අංගයන් පිළිබඳව ය. මෙම කරුණු ගැන දැන ගැනීමෙන් පමණක් පටිච්චසමුප්පාදය පිළිබඳ දැනීම සම්පූර්ණ නොවේ. පටිච්චසමුප්පාදයේ දත යුතු කරුණු බොහෝ ඇත. අංග දොළස, සන්ධි තුන, සංග්‍රහ සතර, ආකාර විස්ස, වෘත්ත තුන, මූල දෙක ආදී වශයෙන් විවිධ ප්‍රභේදයන් යටතේ පටිච්චසමුප්පාදය පිළිබඳ දත යුතු ය. එම ධර්මයන් පිළිබඳ පූර්ණ දැනීමක් ඇති කල්හි ම සංසාර චක්‍රය කෙබඳු ද යන්න සහ ඒ තුළ සත්ත්වයෙක් හෝ පුද්ගලයකුගේ සම්බන්ධයක් නොමැතිව හේතු ප්‍රත්‍යයන්ට අනුව පවත්නා ආකාරය පිළිබඳ පැහැදිලි වූ නිරවුල් අවබෝධයක් ලැබේ. ජීවිතය සම්බන්ධ විවිධ ගැටලු පැන නඟින්නේ ධර්මතාවයන් පිළිබඳ මනා වැටහීමක් ඇති නොවූ විට ය.

යම් කලෙක හේතු ප්‍රත්‍යයන්ගේ පැවැත්ම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති වුවහොත් එම සියලු ගැටලු මඟහැරී යයි. සත්ත්වයාගේ දුක පිළිබඳ ආත්ම දෘෂ්ටියෙන් ගැනීම ද සිදු වනුයේ පටිච්චසමුප්පාදය නොදන්නා හෙයිනි. දුක තමා විසින් කරන ලද්දක් ද? (සයං කතං දුක්ඛං) යන පැනය ඇති වනුයේ එහෙයිනි. දුක යනු තමා විසින් කරන ලද්දක් නොවන බව දත යුතු ය.

විවිධ දෘෂ්ටි

මෙසේ පවසන කල්හි ඇතිවන අනෙක් ගැටලුව නම් දුක අනුන් විසින් කරන ලද්දක් ද යන්න ය. (පරං කතං දුක්ඛං) එයට පිළිතුර වන්නේ දුක අනුන් විසින් කරන ලද්දක් ද නොවන බව ය. එසේ නම් දුක තමා විසින් සහ අනුන් විසින් යන දෙපිරිස ම විසින් කරන ලද්දක් ද යන්න ය. (සයං කතං ච පරං කතං ච දුක්ඛං) එය ද වැරදි මතයකි. එවිට නගන තවත් ප්‍රශ්නයක් නම් දුක අනුන් විසින් හා තමන් විසින් නොකර ඉබේ හටගත්තක් ද යන්න ය. (අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්‍ඛං)

එය එසේ ද නොවන බව බුදුරදුන්ගේ අදහස යි. එසේ නම් මෙම දුක යන ගැටලුව ජීවිතය තුළ හටගත්තේ කවර අයුරින් ද යන්න ධර්මය තුළ මනාව විග්‍රහ කොට තිබේ. සංයුත්ත නිකායේ අචේලකස්සප සූත්‍රයේ මෙම කරුණු විග්‍රහ කර යි. මුල දී ම යමෙක් තමා කරයි තමාම විඳියි යන දෘෂ්ටිය ඇති කල්හි මෙවැනි අදහස් පහළ වේ. දුක තමා විසින් කරන ලද්දක් ය යන්න පැවසීමෙන් ශාස්වත දෘෂ්ටියට වැටේ. අනෙකෙක් කෙරයි, අනෙකෙක් විඳියි යන දෘෂ්ටිය ප්‍රථමයෙන් ම ඇති වූ කල්හි දුක අනුන් විසින් කරන ලද්දක්ය යන්න පැන නඟියි. එය උච්ජේද දෘෂ්ටිය භජනය කිරීමකි. (සො කරොති සො පටිසංවෙදියතීති ඛො කස්සප, ආදිතො සතො සයං කතං දුක්ඛන්ති ඉති වදං සස්සතං එතං පරෙති...)

මෙම ගැටලු හමුවේ බුදුරදුන් පැහැදිලි කරන ලද්දේ අවිද්‍යාදි හේතුන් මඟින් සත්ත්වයාගේ දුක කවර අයුරින් පැන නඟින්නේ ද යන්න පටිච්චසමුප්පාදය ඇසුරින් කරුණු විග්‍රහ කිරීම ය. පටිච්චසමුප්පාදය යනු බුදුරදුන් විසින් අලුතින් ලෝකයට ඇති කරන ලද්දක් නොව සැබෑ ලෙස ම ලොව තුළ විද්‍යමාන සත්‍යය ස්වභාවය යි. බුදුරදුන් විසින් එම සත්‍යය තම නුවණින් ම අවබෝධ කොට ලෝකයට දේශනා කරන ලදි. එම සත්‍යය අවබෝධ කිරීම සඳහා ගැඹුරු ඥානයක් අවශ්‍ය වේ. කරුණු නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහා භාවිත කළ සන්තානයක් අවැසි ය. නිදසුනක් ලෙස එය මෙසේ දැක්විය හැක. අවිජ්ජා පච්චයා සංකාරා යැයි දක්වන තැන සංස්කාර යනු කවරක් ද? සංක්‍ෂිප්තයෙන් පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනෙඤ්ජාභිසංකාර යන කරුණු තුන දක්ව යි.

සිත් දහනවය

එහෙත් මෙම කරුණු තුන දැනීමෙන් පමණක් මේ පිළිබඳ අවබෝධය සම්පූර්ණ නොවේ. පුඤ්ඤාභිසංඛාර යනු කුසල සිත් අට (08) හා රූපාවචර කුසල සිත් පස (05) ය. අපුඤ්ඤාභිසංකාර යනු අකුසල සිත් දොළස (12) යි. ආනෙඤ්ජාභිසංකාර යනු අරූපාවචර කුසල සිත් සතර (04) ය. මෙම කරුණු පිළිබඳව ද පැහැදිලි අවබෝධයක් තිබිය යුතු ය. එසේ වූ කල්හි පසුව පැවසෙන කරුණු මැනවින් දත හැකි ය. සංකාර පච්චයා විඤ්ඤාණං යන තැන්හි විඤ්ඤාණ යනු කවරක් ද? මෙහි දී විඤ්ඤාණය වශයෙන් දක්වනුයේ ප්‍රතිසන්ධි කෘත්‍ය සිදු කරන සිත් දහනවය (19) පිළිබඳව ය. පූර්ව භවය සහ වර්තමාන භවය හා සම්බන්ධ වනුයේ මෙම ප්‍රතිසන්ධි විඤ්ඤාණයෙනි. පටිච්චසමුප්පාදයේ දැක්වෙන සන්ධි තුනෙහි හේතු ඵල සන්ධිය ඇතිවනුයේ සංඛාර පච්චයා විඤ්ඤාණ යන තැන්හිය. එනම් සංඛාර හා විඤ්ඤාණ යන අංග දෙකෙන් සංඛාර යනු පූර්ව භවයට අයත් කර්මයන් ය. විඤ්ඤාණ යනු එහි විපාකයන් ය. මෙහි විඤ්ඤාණ ලෙස ගැනෙනුයේ ප්‍රතිසන්ධි කෘත්‍යය සිදු කරන සිත් 19 පමණක්ය යනුවෙන් ඉහත විග්‍රහ කළේ එහෙයිනි. විඤ්ඤාණය වර්තමාන භවයට අයත් ය. පූර්ව කර්ම හේතුවෙන් වර්තමාන භවය සකස් වන්නේ කවර අයුරින් ද යන්න විග්‍රහ කළ හැකි වන්නේ මෙසේ මෙම කරුණු පිළිබඳ නිරවුල් අවබෝධයක් ඇති විට ය.

සත්ත්ව හා පුද්ගල පැවත්මකින් හෝ වෙනත් දෘෂ්ටියකට හසු නොවී හේතු ප්‍රත්‍යයන්ගේ පැවැත්මට අනුරූපීව ජීවිත පැවැත්ම හටගෙන ඇති ආකාරය සහ එක් භවයකින් අවසන් නොවී ජීවිත පැවැත්ම සසර දිගින් දිගට පවත්නේ කවර හේතූන් නිසාද යන්න පැහැදිලිව දැක්විය හැකි වන්නේ පටිච්චසමුප්පාදය ඇසුරිනි. කරුණු මෙසේ හෙයින් අප සියලු දෙනා විසින් නිරවුල්ව අවබෝධ කළ යුතු පටිච්චසමුප්පාදය පිළිබඳ කරුණු දීර්ඝ වශයෙන් ඉදිරි ලිපි මගින් දක්වනු ලැබේ. පහසු ක්‍රම මඟින් මෙම ධර්මයන් අවබෝධ කළ නොහැකි ය.

ප්‍රීති සමාධිය

බොහෝ පිරිසක් ධර්මය සොයා ගිය ද ගැඹුරු කරුණු පවසන විට මන්දෝත්සාහී වීම සමාජය තුළ ප්‍රකට කරුණකි. එයට හේතුව සන්තානය භාවිත නොකිරීම සහ වීර්යය මඳකම ය. සසර දුකින් මිදීමේ උත්සහයෙන් කටයුතු කරන සියලු දෙනා මෙම කරුණු පිළිබඳ කිසිදු විමතියක් ඇති නොවන පරිදි තම ඥානය පිරිසුදු කොටගත යුතු ය. තම ඥානයට අනුව බොහෝ දෙනා තමාට රිසි පරිදි පටිච්චසමුප්පාදය විග්‍රහ කරන අයුරු පෙනේ. එසේ මුළාබවට පත් නොවී සෑම විටම සෑම කරුණක් පිළිබඳවම මනා වැටහීමකින් යුක්තව එය සිදු වන අයුරු නුවණින් දකිමින් ම මෙම කරුණු විග්‍රහ කළ යුතු ය. එවිට කිසිදු තැනක වැරදීමක් ඇති නොවේ. ධර්මයන්ගේ සත්‍ය ලක්‍ෂණය තම නුවණින් දකින කල්හි ධර්මය පිළිබඳ ප්‍රීතියක් හටගෙන එයින් තම සිත ඉක්මනින් ම සමාධියට එළඹීමට ද කරුණු සකස් වේ. සමාධියට ආසන්නත ම කරුණ වන්නේ ප්‍රීතිය යි. කරුණු මෙසේ හෙයින් බෞද්ධ දර්ශනයෙහි ගැඹුරු හා උසස් විග්‍රහයක් වන පටිච්චසමුප්පාදය නිරවුල්ව අවබෝධ කිරීමට උත්සහවත් විය යුතු ය.

ලබන සතියේ... අවිජ්ජා පච්චයා සංඛාරා

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.