ගල්ලෙන බිඳලා ලෙන්දොර අරින්න කලින් තේරුම් ගන්න... | සිළුමිණ

ගල්ලෙන බිඳලා ලෙන්දොර අරින්න කලින් තේරුම් ගන්න...

 තාරුණ්‍යය කියන්නේ ශරීරය දලු ලා ලියලන කාලයක්. එවිට සිරුරේ අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම්වලට අනුකූලව බාහිරින් සිදුවන වෙනස්කම් නිසා තමයි, අපි කියන නා දලු වැනි දෙතොල්, උඩ බලා යදින තිසර තන, වැව් ඉවුර හා සම පුළුල් උරය, මහමෙර වැනි අත් ගොබ වගේම බටහිර ඌරුවට අනුව ‘සෙක්සි පෙනුම’ ඇති වන්නේ. මේ කාලයේදී මුලින්ම තමන්ගේ ශරීරය පිළිබඳව සිත් බැඳීම සිදු වනවා. මට මගේ යාළුවාට වඩා රැවුල තිබේද?, මට මගේ යෙහෙළියට වඩා පපුව තිබේද ආදියෙන් සහ අලුතෙන් පිබිදුණු හැඟීම්වලින් කුල්මත් වෙමින් තමන්ගේ තිබුණු දාරුමය හැඟීම් ඉවතලා වෙනස්ම කෙනෙක් බවට පත් වන්නට පටන් ගන්නවා. වැඩිහිටියන් සමඟ ගැටීම සහ ඇතැම්විට විනාශය ඇරැඹෙන්නේ මෙතැනින්. නිසි ආකාරව හැඟීම් පාලනය කර නොගැනීම සහ විශේෂයෙන් ඊට වැඩිහිටියන්ගේ සහයෝගය නොලැබීම නිසා අඩු වයසින්ම පිරිමි සහ ගැහැණු ළමයි අනාචාරයේ යෑම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම්, වැරදි ඇසුරට පත්වීම ආදිය නිසා තාපසාරාමයට වැටණු ගිරවුන් පවා පියඹා ගොස් සොරුන් අතර සිටි ගිරවුන් හා එක්වන්නට ද ඉඩකඩ තිබෙනවා. තරුණ අසහනය හුදෙක් ලිංගිකත්වය ම නොවෙයි. තමන්ගේ සිරුර තුළ ඇතිවන විශාල වෙනස දරා ගැනීමට නොහැකි කම හෙවත් මෙතෙක් කල් තිබූ සහනශීලී බවින් මිදීමෙන් ඇතිවන ක්ෂණික වෙනස නිසා ඇතිවන වෙනසයි මින් කියැවෙන්නේ. ඉතින් මේ පරිණාමය නිසි ආකාරව පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඉන් ‘වෙනස සැප’ වන්නේ නැහැ.

කුඩා කාලයේ සැපවත්ව සිට එක්වරම දත් මෝදුවීම නිසා එතෙක් පැවති සහනය නැතිව ගොස් අසහනයක් ඇති වෙනවා. ඕනෑ නම් අපට එයට ‘ළදරු අසහනය’ යැයි ලේබලයක් ද ගැසිය හැකියි. නමුත් මේ අතදරු කාලයේදී අතට අහුවන හැමදේම දරුවා හපන්නට පටන්ගනිද්දී ඊට රබර් සෙල්ලම් බඩුවක් ලබා දී, විවිධ ගොඩ ප්‍රතිකර්ම කරමින් දරුවා සනහමින් බොහොම ළඟින්, ආදරයෙන් සිට ඊට උපකාරී වන්නට දෙමවුපියන් සහ අනෙකුත් වැඩිහිටියන් සහාය වෙනවා. ඊට පස්සේ මඳක් වැඩිවියට පැමිණීමේදී ඒ මෝදුවූ කිරිදත් සෙලවෙන්නට පටන් ගෙන වැටෙද්දී ඒ වේදනාවට සහාය වෙමින් “ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ” කියලා ජීව විද්‍යාවෙන් සිත් සැනැහීම අවස්ථානුකූලව යුතු නොවන හෙයින් මනෝ විද්‍යාවටම ඉඩදී දරුවන්ව නළවනවා. ඉතින් මේ කරපු දේවල් පසුකාලීනව නොකිරීම නිසා, ඒ ඇතිවුණු වෙනස්කම් ගැන හරි හැටි තේරුම් නොගත් නිසා තමයි දරුවන් වැරදි ප්‍රතිචාර, තීරණ ලබාගන්නේ. නමුත් එය සමාජ ගත වන්නේ තරුණයන් සතු රෝග තත්ත්වයක් උඩුදිවීමක් ලෙසයි.

ගූග්ල් සමාගම විසින් තම සෙවුම් යන්ත්‍රය භාවිත කරමින් කරන ලද සෙවීම්වලට අදාළ විශ්ලේෂණයන් ප්‍රසිද්ධියේම ඕනෑම කෙනෙකුට බලාගැනීමට Google Trends නමින් සේවාවක් පවත්වාගෙන යනවා. ඔවුන් එසේ ඉඩ සලසා ඇත්තේ රටක් අපවාදයට නැගීමට නොව, වෙළෙඳ දැන්වීම් පළ කරන්නන්ට ඔවුන්ට සුදුසු කීවර්ඩ්ස් සොයා ගැනීම පහසු කරවීම සහ තවත් වාසි අරමුණු කරගෙනයි. ඉතින් මෙහි සෙක්ස් යන වචනය යොදා බැලූ විට පෙන්වන එකම දේ නම්, සංස්කෘතිය සහ ආගම දහම අතින් ඉතා ඉහළ මට්ටමක සිටින දකුණු ආසියාතික රටවල් සියල්ලෙහිම පාහේ සෙක්ස් යන වචනය වැඩිපුර සොයා ඇති බව යි. ඒ වගේම යූටියුබ් ඇප් එකේ Trending වීඩියෝ හෙවත් ලංකාවේ අය වැඩිපුරම බලන වීඩියෝවල හැමදාම තිබෙන්නේ දැනුමට යමක් එක් කරගන්නා විද්‍යාත්මක කරුණු අඩංගු ඒවා නොවෙයි. පසුගියදාත් එක්තරා නිළියකගේ ස්ථන ග්‍රන්ථීන් හෙවත් දරුවන්ට කිරි දෙන්නට තිබෙන ඉන්ද්‍රීයයන් නිසි ලෙස ඇඳුම නොඇඳීම නිසා පිටතට පැමිණීම ගැන වීඩියෝවක් අංක එකට පැමිණ තිබුණා. ඒ අනුව මින් කරුණු දෙකක් පැහැදිලි වෙනවා. එකක්, අපේ අය රාගාන්විත දේවල් සොයන්නට ඒ අදාළ ඉංග්‍රීසි වචනය දන්නේ නැහැ. අනෙක, සංස්කෘතිය විසින් විරුද්ධ ලිංගිකයන් මත යොදා තිබෙන මනස් සලෙළුන් විවර කර බලන්නට ඇති ආශාව පරිගණකය හරහා කරගන්නට මාන බලන බව පෙනී යනවා. මේ නිසා ඒවා තුළින් ගොස් තමන්ගේ සිතේ තිබෙන රාගික හැඟීම් වෙනත් කෙනෙක් ක්‍රියාවෙහි යෙදෙන ආකාරය දෙස දෑස් දල්වා බලා සිට ඒවාට තමාව ආරෝපණය කරගෙන ආශාවන් සමනය කරගන්නට පටන් ගන්නවා. කාලය ගතවත්ම මේවා තමන්ට අත්හදා බලන්නට සිත් දෙනවා. ඉතින් එයට වන්දි ගෙවන්නේ පිවිතුරු ප්‍රේමය වෙනුවෙන් තමන්ගේ සිල් පුදදී දරුවෙක් සමඟ තනිවන යුවතියක්. එහෙමත් නැත්නම් චිත්‍රපටවල දුම්බොන, මත්පැන් දර්ශන කුඩා කල සිටම දැක, ඒවා අත්හදා බලන්නට ගොස් ඇබ්බැහි වුණු බේබද්දෙක්.

අතීත සමාජයේ මෙන්ම තවමත් ගැමි පරිසරයේදී දරුවන්ට බැණ වදිද්දී වැඩිහිටියන් අතින් නිතැතින්ම “උඹලා හරියට නොහැදුවොත් රට්ටු බනින්නේ අපිට!” යැයි කියැවෙනවා. අසභ්‍ය බැණීම්වලදීත් අම්මා මතක් කොට බැණීම සිදු කෙරෙනවා. මෙය පිටින් බැලූවිට දරුවන්ගේ වැරදිවලට දෙමව්පියන් පලිදැයි අසන්නට සිතුණත්, දරුවන් ඒ දේවල්වලට යොමු වන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් බව නිසා, නිසි මඟ පෙන්වීමක් නොලැබීයෑමෙනුයි. ආර්ථික මූලික සමාජයක අල්ලපු ගෙදර කාර් දෙකක් තිබේ නම් අපි පහක් ගත යුතුයැයි අමනෝඥ ඉලක්ක ඇති කරගෙන සල්ලි පස්සේම දුවමින් පියා පමණක් නොව, මවත් කාර්යබහුලවී ඇති නිසා මිරිස් තුනපහට අම්මගේ අතින් ඉවෙන බත් කටක රස නොදන්නා දරුවන් තමන්ගේ අනිකුත් රස අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ද ඔවුන් ගෙදර නැති අතරතුරේයි. නමුත් මෙයට විසඳුම වන්නේ නිවසට පරිගණකයක්, අන්තර්ජාලය හෝ දරුවාට දුරකථනයක් ලබා දීමෙන් වැළකී සිටීම නොවෙයි. පරිගණක නැති කාලයේ පවා අසැබි සඟරාවන් හරහා, සීයා විසි කළ බීඩි කොටය හරහා වැරදි මාවතට පිවිසුණු අය ඕනෑ තරම් සිටියා. නමුත් මේ සෑම කාලයකම ඒ අයට නොලැබුණු එකම දේ හොඳ මඟ පෙන්වීමකුයි. ‍

ෆේස්බුක් අකවුන්ට් එකක් තිබුණාට, සෙල්ෆියක් ඉන්ස්ටග්‍රෑම් දැම්මාට කොල්ලෙක්, කෙල්ලෙක් මහා වැරැද්දක් කළා වන්නේ නැහැ. නමුත් ඒවා හරහා ඔවුන් වෙත පැමිණෙන නිසි මඟ පෙන්වීමක් නොලැබුණු අයගෙන් ප්‍රවේශම්වීමට දරුවන් දැනුවත් කළ යුතුයි. තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක ඒවායෙන් ඉවත්ව ගල් යුගයේ තබා දරුවන් හදනවාට වඩා මිටියක් අතට දී අත තලාගන්නේ නැතිව ගල් ලෙන බිඳ, ලෙන් දොර හරින්නට ඔවුන්ට කියා දුන්නොත් ඔවුන් ඔබවත් රැගෙන නව මංපෙත් කරා යමින් හොඳ පුරවැසියන් බවට පත්වේවි. එවිට මියුසික් වීඩියෝ හරහා ගැහැණුන්ගේ අඟ පසඟ පෙන්වමින් තරුණ පරපුරෙන් වීඩියෝ හිට්ස් ලබා ගන්නට උත්සුක වන්නන්ටත්, තරුණ හැඟීම් උද්දීපනය කොට තමන්ගේ ඇඳුම් ව්‍යාපාරයේ මඩිය තර කරගන්නට මාන බලන වානිජකරණයටත් අවස්ථාවක් ලැබෙන එකක් නැහැ.

තඹරු විජේසේකර 

අදහස්