ඔලිම්පික් කමිටු සෑදලයට නගින අලුත් අසරුවා කවුරුද? | Page 2 | සිළුමිණ

ඔලිම්පික් කමිටු සෑදලයට නගින අලුත් අසරුවා කවුරුද?

 ඔලිම්පික් කමිටු නිලවරණය සඳහා දින වකවානු නියමවී තිබේ. ඒ අනුව පෙබරවාරි 23 වැනිදා අදාළ නිලවරණය පැවැත්වීමට තීරණයවී ඇත. ඒ අනුව ලබන මස 23 වැනිදා ශ්‍රී ලංකාවේ මහානුභාව සම්පන්න ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරය සඳහා පත්වන පුද්ගලයා කවුරුන්ද යන්න තීරණය කිරීමට නියමිතය. සභාපති ධූරය දරන්නා විසින් ආණ්ඩු කරවනු ඇතැයි සිතිය යුතු නිලවරණයට අනුව පත්වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ ඇත්තේ දැඩි කුතුහලයකි. එය රොහාන් ප්‍රනාන්දුට හිමිවන්නේද එසේත් නැතහොත් සුරේෂ් සුබ්‍රමනියම් හට හිමිවේවිද යන්න සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි. මෙම ලිපිය මගින් වර්ණිත වන්නේ ඔලිම්පික් නිලවරණයේදී සිදුවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි ලෙස අවබෝධ කරගැනීමට අවස්ථාව උදාකරදීමකි.

1937 වසරේ දී මුලින්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන ලද ජාතික ඔලිම්පික් කමිටුව දැන් මේ ගෙවා දමමින් ඇත්තේ 81 වැනි වසරය. එය මිනිස් ආයුෂෙන් ගණන් බලන්නේ නම් මහල්ලකුගේ අබල දුබල වයසකි. හරියටම කියන්නේ නම් සුවිශාල වයසැති වයෝවෘදයෙකි. එය ලෝක තලයේදී නම් 1894 ජූනි මාසයේ 23 වැනිදා උපත ලැබූ දැනට වයස අවුරුදු 123ක් වන දැවැන්ත ව්‍යාපාරයකි. එක අතකින් එම ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවසිය හැක්කේ එය අරටු බැසගත් කටයුත්තක් ලෙසය. ලෝකයේ රටවල් 105 ක්‍රියාකාරී සාමාජිකයන් වශයෙන් පවතින තවත් රටවල් 32ක් ගෞරවනීය සාමාජික රාජ්‍යයන් ලෙස සැලකුම් ලබයි. තවත් රාජ්‍යයන් දෙකක් සඳහා මෙම උදාර පිළිගැනීම ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබේ. ඒ අනුව සමස්තයක් වශයෙන් රටවල් 157ක් ඔලිම්පික් ව්‍යාපාරය හා සහජීවීව සාමාජිකත්වය හිමිකරගෙන සිටී. එවන් ශක්ති සම්පන්න අරටු බැසගත් ව්‍යාපාරයක දේශීය සන්නාම බාරකරුවන්නේ කවුරුන්ද යන්න ලබන මාසයේ 23 වැනිදා පැවැත්වීමට යෝජනාවී ඇත.

ඇත්තටම කවුද මේ සෑදලයට නගින්නෙ?

දැන් ගැටලුව ඇත්තේ මෙකී සෑදලයට නගින්න සුදුසුකම් සපුරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධවය. දැනට මේ සඳහා තරග වැදී ඇත්තේ විශ්‍රාම ගැනීමට නියමිත හේමසිරි ප්‍රනාන්දු සභාපතිවරයාගේ මිත්‍ර පාක්ෂික පාර්ශ්ව දෙකක් වීමද සුවිශේෂීය. මෙයට පෙර ඔලිම්පික් නිලවරණය ඉදිරියට පැමිණි අවස්ථාවේදී එහි සභාපතිත්වය වෙනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පාර්ශ්වයෙන් සටනට පිවිසෙන්නට අර ඇඳි රොහාන් ප්‍රනාන්දු මහතා මෙවරද ඉදිරි පෙළ සභාපති අපේක්ෂක තරගකරුවෙකි. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගමගේ බෑණා ලෙසින් ඔහු මෙවර නිලවරණයේදී වැඩි පිළිගැනීමක් හිමිකරගෙන ඇත. කෙසේ වෙතත් ඔහුම පවසන පරිද්දට අමාත්‍ය සරත් අමුණුගම මහතා ඔලිම්පික් කමිටු නිලවරණයේදී සිය බෑණාට උපකාර කරන්නට ඉදිරිපත් වන්නේ නැත. මේ අතර රොහාන් ප්‍රනාන්දු මහතාගේ සේවය ලබාගැනීමට ඔහුව නායකත්වයේ පෙරමුණේ තබා ඇත්තේ පසුගියවර නිලවරණයට තරග කළ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රතිවාදී කණ්ඩායමවීම කැපී පෙනෙයි. අප පෙරකීවාක් මෙන් එවකට වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයාවූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම මෙවර රොහාන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටීම දෛවයේ සරදමක් වැනිය. සුදුසු නැතැයි හෙළා දකිමින් සිටි අපේක්ෂකයකු දැන් සුදුස්සකුවී ඇති ආකාරය මෙම සිදුවීමත් සමඟින් කරළියට ගෙන එන්නේ හාස්‍ය යෝත්පාදක නාට්‍ය දර්ශනයකි. එසේ නැතහොත් විසුළු දර්ශනයක් ලෙසින් මෙම සිදුවීම බාහිර සිට දර්ශනය කරන්නවුන්ට හැඟීයාම වළකනු බැරිය.

මේ අතර වර්තමානයේ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ආශිර්වාදය ලබා නිලවරණයට තරග කරන්නේ ටෙනිස් සංගමයේ ප්‍රබලයකු ලෙස සැලකෙන සුරේෂ් සුබ්‍රමනියම් මහතාය. ඔහු ආසියානු ටෙනිස් ක්‍රීඩාව සමඟ මේ වනවිට වගකිව යුතු රාජකාරියක නිරතවී සිටියදී ඔලිම්පික් කමිටු සභාපතිධූරය දිනාගැනීම සඳහා ඉදිරිපත්ව සිටී. රටේ බොහෝ ප්‍රබල පුද්ගලයන් රැසක් සමඟ පෞද්ගලික සම්බන්ධතා ඇත්තකු ලෙස ප්‍රකට සුරේෂ් සුබ්‍රමනියම් රජුන් තනන්නකු ලෙසද ප්‍රකටය. ලෙහෙසියෙන් පරාජය වන සටනකට බැසීමට ඉදිරිපත් නොවන්නකු වශයෙන්ද ඔහුගේ නම ක්ෂේත්‍රය තුළ ස්ථාවරව තිබීමද විශේෂත්වයකි. ඔලිම්පික් නිලවරණ උත්ප්‍රාසය වනුයේ වත්මන් පරිපාලනය නව අසරුවකු තෝරාගැනීම සඳහා ගත් පළමු උත්සහයේ අසරුවා වූ රොහාන් ප්‍රනාන්දු ප්‍රතිවාදීන් දිනා ගැනීම හා ඒ වෙනුවට තවත් ශක්තිමත් ග්ලැඩියේටර් සටන්කරුවකු හේමසිරි පාර්ශ්වයට එක්ව සිටීමය.

මහා සටන් භූමියක්

මේ අනුව මෙවර ඔලිම්පික් නිලවරණය පැවැත්වෙන්නේ නම් එය මහා සටන් භූමියක සිදුවන්නකි. එසේ මෙසේ සටන්කරුවන් නොව මහා සටන්කරුවන් සටන් වදින්නකි. එය අතිශය උද්වේගකර හා උණුසුම් සහගත වනු ඇත. කිසිවකුටත් කලකට අමතක නොවනු ඇත. මෙහි යටි නූල්, උඩු නූල් පැටලී මහත් කලබගෑනියක් සිදුවීමටද ඉඩතිබේ. ඒ නිසා ඇතැම් පාර්ශ්ව හෝ පුද්ගලයන් උඩ ඇරීමට නියමිත සරුංගල් උඩ වෙනුවට යනු ඇත්තේ බිමය. එසේ නැතහොත් තමන්ගේ බලාපොරොත්තු සරුංගල් කූරියා ගසා, කොම්බු ගසා කැඩී බිඳී සුන්වී යාමට ඉඩ ඇත. නිසි පරිදි නිලවරණය පවත්වන්නේ නම් යැයි අප කීවේ එය පවත්වාවිද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතාර්ථ පැවැත්වීම තවමත් දුෂ්කරව පවතින්නක් වන හෙයිනි.

නිලවරණය තවමත් අවිනිශ්චිතද?

කෙටිම පිළිතුරනම් ඔව් යන්නය. නිලවරණය පැවැත්වීමට ඇති ප්‍රමුඛ අර්බුදය ක්‍රීඩා පනත හා ජාත්‍යන්තර ඔලිම්පික් පනත සමඟ ඇති ගැටලුවයැයි අවසානයේ කියන්නට ඉඩකඩ වැඩිය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ඔලිම්පික් නිලවරණයේදී දැන් හැසිරෙන්නට හා හසුරවන්නට උත්සහ කරන්නේ ගමේ චණ්ඩියකු මෙන්ය. ඒ සඳහා ඔහුව රූපාන්තරණය කරන්නට ඔලිම්පික් බලධාරීන්ද කැමතිය. ඔලිම්පික් බලධාරීන් සිටින්නේ හඞන්න බලාගෙන ඇහැට අනින්නාක් මෙනි. ඔලිම්පික් අසරුවා වෙන්නට තතනන අනෙක් කණ්ඩායමද එසේමය. කොතනින් හෝ අවශ්‍ය වන්නේ වරදක් පමණි. ඉන්පසු ඔවුන් සියල්ලෝම අඞන බබාලාය. ලේන්සු පෙට්ටි ගණන් ගෙන යායුත්තෝ එමටය. මෙහිදී ඔලිම්පික් නීතියේ බලවන්ත භාවය එළියට දමා ලුසේන් ගොස් ඔලිම්පික් නිලවරණය කල්දමාගන්නද නූතන බලධාරීන්ට හැකිය. ඊට නිමිති වන්නේ රාජ්‍යයික බලපෑමය. නිදහස්, නිවහල් ඔලිම්පික් සංකල්පයට රටක ක්‍රීඩා බලධාරීන් විසින් දේශපාලන මුෂ්ඨි ප්‍රහාරයක් ලබාදීමය. ඒ නිසා නිලවරණයේ පැවැත්ම අවිනිශ්චිතය. අනෙක් කාරණය වනුයේ එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන බොහෝ ක්‍රීඩා සංගම් නිලවරණ සම්බන්ධයෙන් නිර්මාණයවන ගැටලුය. එවිට එම සංගම් තමන්ගේ නව ඔලිම්පික් නියෝජිතයා වෙනම නම්කර එවිය යුතුය. එයද තත්ත්වය තවත් කල් අදිනු ඇත. එහෙයින් මෙවරද නිලවරණය තවමත් අවිනිශ්චිතය.

ඔලිම්පික් කමිටුව යනු

අවසන් වශයෙන් තවත් එක් දෙයක් කිවිය යුතුව ඇත. එනම් ඔලිම්පික් කමිටුව යනු ස්වාධීන ආයතනයක් බවය. එයත් එක්තරා ආකාරයකට තානාපති කාර්යාලයක් බඳුය. එය තුළ ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තරයටම පොදු නීතියකි. සාමාන්‍යයෙන් රටින් රටට ඒ ඒ රටවල පවතින නීතියේ අනුශාංගීය කාරණා එක් එක් තානාපති කාර්යාල තුළ ක්‍රියාත්මකය. නමුත් ඔලිම්පික් නීතිය අයිස්ලන්තයේත් එකය. අප්‍රිකාවේ මෙන්ම ආසියාවේත් එකය. ඔවුන්ගේ මූලික නිර්ණායකය වන්නේ රාජ්‍ය පාලනයෙන් ස්වායත්ත ස්වාධීන ආයතනයක් වශයෙන් පමණක් ඔලිම්පික් ආයතනය ක්‍රියාත්මක වියයුතු බවය. අනෙක ඔලිම්පික් කමිටුව පවත්වාගෙන යන්නට ඒ ඒ රාජ්‍යයන් විසින් මුදල් හදල් දෙන්නේද නැත. එවැනි මුදලක් ගන්නේද නැත. මුදල් ලැබෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙනි. ඒ අතින් බලන කල ඔලිම්පික් යනු අතින් කා හරක් බලාගන්නා රස්සාවක ජාත්‍යන්තර මුහුණුවරය. එය දේශීය ක්‍රීඩා සංගමයක නම් තරග සංචාරයකදීවත් පහසුකම් හිමිකරගෙන ආවරණය කරගන්නට ක්‍රීඩා අමාත්‍යංශ ප්‍රතිපාදන අපේක්ෂා කරන්නට සිදුවන නමුත් ඔලිම්පික් කමිටුවට එසේ නැත. එය තේරුම්ගන්නට හිටපු ආණ්ඩුවේ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාට බැරිවිය. එයින් සිදුවුණේ හා හූ ගා ඔලිම්පික් නිලවරණය වසර කීපයකට කුරුවල් කරගැනීමය.

දශක තුනක ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩා ඇමැති ලෙස සැලකිය යුතු එස්.බී දිසානයකට වඩා සාර්ථක වන්නට කියා තමන්ගේ හිතෛෂීන් දමා වැඩ අනාගැනීමය. වත්මන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට අප මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඔහු තරුණ හා දියුණුව අපේක්ෂා කරන ධනාත්මක ක්‍රීඩා ඇමැතිකෙනෙකු බව දන්නා හෙයිනි. තමන්ගේ කණ්ඩායමක් දමාගැනීමේ අරමුණක් දැන් ඔහු තුළ ඇතැයි අපි චෝදනා ඉදිරිපත් නොකළත් ඔලිම්පික් ගිනි අඟුර ඔහු දැන් අල්ලන්නට ඔන්න මෙන්න තැනකට පැමිණ ඇත්තේ අඩුවෙන් තොරවමය.

එහි අවසානය සිදුවන්නේ අත පිලිස්සී, රටේ ක්‍රීඩාව පිලිස්සීම හෝ ඔලිම්පික් නිලවරණය තවත් කාලයකට කල් යෑමය. එසේ නම් එය ලබන ක්‍රීඩා ඇමැති යටතේ බලමුද? දැන්ම අපට කියන්නට ඇත්තේ එයය. කෙසේ නමුත් සාගරයේ පාවෙන හිමපරයක් මෙන් සියල්ල නිහඞ බවනම් අවසන් වශයෙන් කිවයුතුව ඇත. නිහඞබව ගැඹුරු බව පමණක් නොව භීතියක්ද ගෙනහැර දක්වන බව මෙහිදී කියන්නට අවශ්‍යව ඇත්තේ එහෙයින්ය. සෑදලය සූදානම්ව ඇතැයි සිතුවාට එය තවම ඔලිම්පික් අශ්වයාගේ පිටට තබා බැඳ ඇත්ද යන්න සැක සහිත බව ඒ අනුව අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ එහෙයිනි.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments