සටන අමතක වූ වෘත්තිකයෝ | සිළුමිණ

සටන අමතක වූ වෘත්තිකයෝ

පේටන්ට් වතු යායේ එහා මෙහා ගිය බයිසිකල්කරුවෙකි. ඔහු කිරි එකතු කරමින් එහා ගියේ හිමිදිරි පාන්දරය. බොහෝදෙනා ඔහුට කිරි දීම පුරුද්දක් කර ගෙන තිබුණි. ඒ මගේ පාසල් නිවාඩු කාලය බව මට හොඳට මතකය. අම්මා කපන කිරි එකතු කිරීමට ඔහු නොවැරැදීම පැමිණියේය. අම්මා පමණක් නොව නිර්මා, මහේෂ්වරී මේ හැම කෙනකුම රබර් කිරි දුන්නේ ඔහුටය.

මට ඒ රබර් වතු යාය හොඳට හුරුපුරුදුය. කාලයක් රබර් කොළ වැටී මුළු යායම උදාසීනවෙයි. ඒ කාලයට අපි එහා මෙහා දුවමින් සෙල්ලම් කළෙමු. අපට රබර් වතු යාය ගැන තිබුණේ එතරම් සුන්දර මතකයකි. උදේ පාසල් යන අප සවස රබර් වතු යායට රැස් වුණේ අපේ රාජ්‍ය පිහිටුවිම සඳහාය. හැමදාම සෙල්ලමේ වෘත්තීය සමිති නායකයා මමය. මම වියළි රබර් කොටයක් උඩට නැඟ සහෝදරවරු අමතන ආකාරය ඉගෙනගත්තේ වේළු මාමාගෙනි.

සහෝදරවරුනි, මේ පාර වැටුප් වර්ධකයක් ලබාගන්න ඕනේ. නැත්නම් වතු අයිතිකාරයෝ ලබන අවුරුද්දෙත් ඒක මඟ හරිනවා. අපි එකා වගේ පෙළ ගැසෙන්න ඕනේ. අපි හිතන්නේ මේක අපේ අයිතිය කියලා. මං කියන්නේ අපි එකා වගේ ඉන්න ඕනේ. අපි එකාවගේ වැඩ කරන්න ඕනේ.

මම වේළු මාමා කතා කරන ආකාරයට අත පය වීසි කරමින් කතා කළෙමි. මාදා, විෂ්වා, දර්ගා හැමෝම හොරෙන් සිනාසුණහ. ඔවුහු මා නියම වෘත්තීය සමිති නායකයකු ලෙස හැඳින් වූහ. මම ද ඔවුන් කී ලෙසම රඟ පා පෙන් වුයෙමි.

කෝ කෝ.... වේළු මාමා ගේ අත යන්නේ මෙහෙමයි. මේ වගේ.....

දර්ගා මැද්දට පැන අත හදමින් කීවාය. දර්ගා කටකාරය. ලස්සනය. මුහුණ දිගටිය. වේගවත් ගමන ඇයට සුන්දරත්වයක් එක් කෙරුණි. නාට්‍යවලදී ඇය වීරවරිය වූවාය. ඇය හැම විටම සටන් කිරීමට කැමැත්තක් දැක්වූවාය. අප ඇය කියන දේම නොකළ අවස්ථාවලදී ඇය නිහඬ වූවාය.

මේක බැරි නම් අප්පා මං ආයේ කීන්නැහැ.

ඇය එසේ කියා අහක බලා ගත්තාය. සිනාසෙන විට වල ගැසෙන මුහුණ නිසා ඇගේ සුන්රදත්වය තවත් වැඩි වූවාය.

මොන දේ මොන විදිහට තිබුණත් හවස පහ වෙන විට අප රබර් වත්තට ආවේ සුපුරුදු පිළිවෙත කරගනෙ යාමටය. මගේ මතකයේ හැටියට ඒ ජූලි කලබල කාලයයි. වත්තේ ඇති වුණේ ලොකු කලබලයකි.

හැමෝම කඩිගුලක් ඇවිස්සුණා වගේ එහේ මෙහේ දුවමින් සිටියහ. වෙලා තියෙන දේ ගැන හරි වැටහීමක් මට නොතිබුණි. අම්මා තාත්තා එක්ක හලාවත එන්න සිද්ධ වුණේ ඒ සිදුවීම්වලින් පසුවයි. හලාවත පරිසරය නුහුරු වුණත් ඒ පරිසරයට මම ඉක්මනින්ම හුරු වුණෙමි.

කාලය ගෙවී ගියත් අපට ඒ පරිසර තත්ත්වය අනුව වෙනස් වෙන්න ඒ හැටි කාලයක් ගත නොවුණි. තාත්තා පටන්ගත්ත බිස්නස් එක සරුසාර වූයේ නොසිතන ලෙසය.

තාත්තා ඒ බිස්නස් එකට අයියාව ද සම්බන්ධ කර ගත්තේ වැඩ පුරුදු කිරීමේ අරමුණෙනි. මේ කාලය වන විට මම උසස් අධ්‍යාපනයේ නිරත වෙමින් සිටිය ද ලද මඳ ඉසිඹුවේ වුවද මට අපේ රබර් වත්ත මතක් වූයේ නිරායාසයෙනි.

උසස් අධ්‍යාපනය කෘෂිකර්මයෙන් කළ මට රබර් පිළිබඳ හැදෑරීමේ පර්යේෂණයක නිරත වීමට සිදු විය. බොහෝ විට නොයෙක් රබර්වතුවලට යාමට මට සිදු විය. එහි පස දේශගුණය, රබර් බීජ වර්ග පිළිබඳ මා කළ පර්යේෂණ සෑම දෙයක්ම අපේ කුඩා රබර් වත්ත සිහිපත් කෙරුණි.

මා කළ බොහෝ පර්යේෂණ සාර්ථක වූ අතර ඒවා ඩොලර් ගණනින් අලෙවි වෙද්දි මට මා සෙල්ලම් කළ රබර් වත්ත සිහිපත් විය. කුඩා කාලයට නැවත යාමට නොහැකි වුවත් ඒ මතකය මා ජීවත් කළේ නිරායාසයෙනි.

මගේ මතකයේ හැටියට එදා වැසි දවසකි. රාජකාරිය අකුරටම කිරීමට පුරුදු වූ මට දුර බැහැර යාමට සිදු වූයේ නොසිතූ ලෙසය. ඒ රබර් වතු යාය තිබුණේ රත්නපුර පළාතේය. බොහෝ රබර් ඉඩම් ගැලවෙමින් යන වකවානුවක අලුත් රබර් පැළ බෙදා දීමක් සඳහා එහි උත්සවයක් පැවැත් වුණි.

වර්ෂාව නොතකා බොහෝදෙනා ඒ උත්සවයට පැමිණ සිටියහ. තෙත බරිත වූ පොළව මත අඩිය තැබීම අපහසු වුවත් සෙමින් තෑබූ පාද පොළව මත එරී ගියේ නොවැළැක්විය හැකි ලෙසය.

තෙමී තෙතබරිත වූ කපු පුළුන් ගොඩක් මත්තේ අඩිය ගැසීම කෙතරම් අපහසු ද ඊටත් වඩා අපහසු බවක් මට දැනුණි. ඒ ගම් පළාතේ වෘත්තී සටන්කරුවෝ සිටිහ. ඔවුන් වැඩක් නැති දේ වෙනුවෙන් සටන් කරමින් සිටින බවක් මට පෙනුණි. ඇතැම් ඉල්ලීම සාධාරණය. එහෙත් ඇතැම් ඒවා පිළිබඳ ඔවුන්ට වැටහීමක් නොමැත.

අද බොහෝ වෘත්තීය සමිති නායකයන් මෙන් ඔවුන් ද වේගයෙන් කෑගැසුවා පමණි. කිසිදු දෙයක් සම්බන්ධයෙන් ඔවුන්ට ද දැක්මක් නොතිබුණි. විෂය පථය පිළිබඳ අවබෝධයක් ද නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ කැපී පෙනීමටය. කිසිදු දෙයක් නොකර කැපී පෙනුණ නායකත්වයක් වැඩක් නැත. අද බොහෝ වෘත්තිය සමිති නායකයන් ජනතාව මෙහෙයවන්නේ වැරැදි දිශාවන්ට බව මට සිතුණි.

පැළ බෙදා දීමෙන් පසුව තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණි. ලද ඉසිඹුව මට බොහෝ සෙයින් වටිනා දෙයකි.

මගේ සිතුවිලි විවිධ අවස්ථාවල සැරිසැරීය. එදා වේළු මාමා මෙන් අද වෘත්තීය සමිති නායකයන් නොවීම කනගාටුවකි. ඇත්තටම අද බඩ වඩා ගන්නා වෘත්තීය සමිති නායකයන්ට කැරැල්ල අමතකව ගොස්ය. ඔවුන් තමන්ගේ අරමුණ පොදු අරමුණ කරගනියි. රබර් කර්මාන්තයට යහපත් මඟ පෙන්වීමක් දෙන ලැදියාවක් ඇති පිරිසක් සිටීම් කෙතරම් හොඳ ද?

එදා වේළු මාමා අනුකරණය කිරීමට මා මෙන් බොහෝ දෙනකු උත්සාහ කළ බව මට මතකය. එහෙත් අද කුඩා ළමයින්ට අනුකරණය කිරීමට එවැන්නෙකු සිටිනවාද? බොහෝ අඟහිඟකම් ඇති අය වේළු මාමාගේ නිවසින් කෑවේ බිව්වේ සහෝදරත්වයෙනි.

කවදාවත් වේළු මාමාට සටන අමතක නොවීය. මගේ සිත අතීතයේ පියමං කළේය. එදා අපේ රබර් වත්තේ තිබූ රබර් කොළවල සද්දය පවා මගේ සවනට වැටුණි. එය එතරම්ය මිහිරිය. මගේ ඇස් යන්තමට පියවුණි.

මහත්තයාට මාව මතකද?

මං.....මං........

ඕ.....ඕ....

මොකද අමතක.

මේ මා දකින්නේ සැබෑවක් ද? කාලය කෙතරම් ගෙවී ගොස් ද? මේ ඔහුමද?

අදහස්