මොරගහකන්ද රජරටට දැනෙන හැටි | සිළුමිණ

මොරගහකන්ද රජරටට දැනෙන හැටි

මගේ දෙමවුපියෝ මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාර යේ පළමු පරම්පරාවට අයත් ජනපදිකයන් වූහ. එය හාපුරා කියා ආරම්භ වූයේ 1933 වසරේ අප්‍රේල් මාසයේ 29 වැනි දිනෙක පළමු ගස කැපීමෙන් සහ ප්‍රදේශ ගනනාවක සිට පැමිණි 300ක පමණ පිරිසක් කඳවුරු ගසා පදිංචි වීමෙනි. මින්නේරියේ ගොවි ජනපද ව්‍යාපාරයක් ස්ථාපනය කිරීමේ ප්‍රයත්න කිහිපයක් 1902, 1919 - 1920, 1932 වසරවල දී ද දරා ඇතත් ඒවා යා දී නැත. ඉදිරියට ගියේ 1933 ප්‍රයත්නයයි.

1958 වසරේ දී මින්නේරිය ගොවි ජනපදයේ උපත ලද මා හැ දී වැඩී පාසල් යන අවධියේ දී විටින් විට මහා දුක් ගින්දරකින් අප දෙමව්පියන් විඳවන අයුරු කුඩා මට අත්දකින්නට ලැබිණ. ‘මේ යලේ කුඹුරු කරන්ඩ වතුර දෙයිද?’ යන්න ඒ දුක් ගින්දරයි. මාස් වැසි හරි හැටියට ඇද නොවැටුණොත් ඊළඟට එන අප්‍රේල්, මැයි මාසවල දී ඒ ගින්දර පත්තු වෙනවාමය.

එය එසේ මෙසේ ගින්දරක් නොවේ. පවුලේ එකම ආදායම් මාර්ගය වූයේ වී ගොවිතැනයි. දරු පවුල රැක ගන්නට, ඔවුන්ට ලූනු ඇබිත්තක් සමඟ හෝ බත් ටිකක් දෙන්නට තිබූ එකම මාර්ගය වූයේ කුඹුර අස්සැද්දීමයි. අම්මා සහ තාත්තා නිවසේ ඉස්තෝප්පුවට වී, මේ පිළිබඳව කතා කරද් දී ඔවුන්ගේ මුහුණුවල තිබූ අසරණ - සරණක් නැති - පෙනුම මේ ලියද් දී පවා මට සිහි වේ. බාල සන්දියේ පටන් අධි සංවේ දී දරුවෙකුව සිටි මම ඔවුන් සේම ප්‍රශ්නයෙන් විඳෙව්වෙමි. මගේ විස්සෝපය ඔවුන්ටද තේරේ. ඔළුව අතගා ‘පුතේ උඹ ගිහිං සෙල්ලං කරහං’ කියා මා ඉවතට යවන්නට ඔවුහු තැත් කළ අයුරු මට අද සේ මතකය. අප නිවසට යන එන අයගේද එකම මාතෘකාව වූයේද එයමය. ඔවුන් එකතුව කරන කතාවලට මා සවන් දුන්නේ බයේ ගැහෙමිනි. ඒ බිය මා පිළිබඳව තිබූ බියක් නොවෙන බව දැන් වැටහේ. එය මාගේ අසරණ අම්මා සහ තාත්තා පිළිබඳව තිබූ බියකි. ‘මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැහිතෙල් ටිකක් බීල මැරිල යනව’ වැනි වදන් ඔවුන්ගේ මුවින් ඇතැම් විට පිටවීම ඒ බියට මුල් විය. ‘මෙහෙම ගියොත් දෙන්න එක්ක වහ වත් බොයිද දන්නෑ’ යි මට සිතුණු වාර අනන්තය.

එවැනි කාලවල දී පාස‍ෙල් අප මිතුරන් අතරද තිබූ ප්‍රධාන මාතෘකාව වූයේද එයයි. ‘නෑ ප්‍රශ්නයක් වෙන එකක් නෑ, වතුර දෙයි. සී.පී. ඇමතිතුමා එහෙම ඉන්නවනෙ’ යි කෙනෙක් කියයි. ඒ කතාවෙන් ඔහුගේ සිත මෙන්ම අපේ සිත්ද මඳක් සැනැහී යයි. එහෙත්, ‘අනෙ පලයං යන්ඩ, ඇමතිතුමා වතුර මවන්ඩයැ ආයෙ’ යි වඩා යථාර්ථවාදීව සිතන තවෙකෙකු කියද් දී සිත නැවතත් පෙර සේම අඳුරු ගුහාව තුළට රිංගා ගනී.

අප මිතුරන්ද මෙසේ මා සේම සිතීමෙන් එක් දෙයක් පැහැදිලි වේ. ඔවුන්ගේ ගෙවල්වලද වාතාවරණය එයම බවයි. එය එසේම වේ. මාස් වැහි කාළයේ දී වැව පිරී උතුරන්නට නොවැස්සොත් රජරට හැම තැන පුරා නියඟයේ භීතිය හොල්මන් කරයි.

අපේ මහ වැව් පිරෙන ප්‍රධාන ආකාර දෙකකි. එනම්, වැව ඉහත්තාවේ පිහිටි වනාන්තරයට වසින වැස්සෙන් සහ ඇළ මාර්ගවලින් ගෙන එන ජලය වශයෙනි. මේ ඇළ මාර්ග ඉතා වැදගත්ය. මක්නිසාද යත්, ඒවා මගින් අපට වැසි නොලැබෙන යල් කන්නයේ දී ද ජලය ලැබෙන හෙයිනි. එවැනි ප්‍රධාන ඇල මාර්ග දෙකක් අප දිස්ත්‍රික්කය තුළ තිබේ. අංගම්මැඩිල්ල ඇළ සහ ඇලහැර ඇල වේ. අංගම්මැඩිල්ල ඇළ පරාක්‍රම සමූද්‍රය පෝෂණය කරන අතර ඇලහැර ඇළ සෘජුවම වැව් දෙකක් පෝෂණය කරයි. එනම්, මින්නේරි වැව සහ ගිරිතලේ වැවයි. එහෙත්, මින්නේරි වැවට ලැබෙන ජලය ඊළඟට එතැනින් කවුඩුලූ සහ කන්තලේ වැව් කරාද යවනු ලැබේ. ඒ අනුව ඇලහැර ඇළ මගින් පෝෂණය වෙන මුළු වැව් සංඛ්‍යාව හතරකි.

රජරට අපට ‘අනේ වාසනාවයි’ කියා හරි හැටියට වැසි ලැබෙන්නේ මහ කන්නයේ දී, ඔක්තෝබරයේ සිට ජනවාරි අග දක්වා කාලසීමාවේදීය. නත්තල් කුණාටුද ඇතුළුව ඒ වැටෙන වැස්ස හරියට වැටුනොත් කාගෙ කාගේත් සිත්වල සතුටු මල් පිපේ. ‘මෙදා යල නං ගොඩ රජෝ’, ‘මින්නේර් දෙවි පිහිටයි, වැව ආයි ඇස්වහක් කටවහක් නෑ, පෙත්තටම පිරිල’, ‘වැව වාන් දාන්ඩ ඔන්න මෙන්න’ යි ආදී වශයෙන් කවුරුත් කතා වෙති. බුලත් විට කකා පල් හෑලි දෙසාබාමින් සතුට බෙදා හදා ගනිති.

මාස් කන්නයේ මහ වැසි ඇදවැටීම යල මහ දෙකටම ආශීර්වාදයක් වෙන්නේ එහෙමය. ඒ වැසි හේතුවෙන් එම (මහ) කන්නයේ ගොයම සිනා නගමින් හැදෙයි, වැඩෙයි, පීදෙයි. ඊට සමානුපාතිකවම ඒ වැසිවලින් වැව පිරේ. ඉතින් ඊළඟ යල ගැන බය හැක පහව ගොස් ගොවි සිත් සතන් පිබිදෙයි. වැස්ස වැඩි වී ඉඳ හිට ගංවතුරක් ඇති වුවද ඒවා ප්‍රශ්න නොවේ. වැදගත්ම දේ මහේ දී ඇති තරම් වහින එකයි.

ඇති තරම් වැසි නොලැබී, වැව පිරී ගියේ නැති නම් මඳක් සතුටුදායක විකල්පයක් තිබිණ. එනම්, කුඹුරෙන් අඩක් අස්සැද්දීමට ජලය ලබා දීමයි. ‘තියෙන හැටියට ඒකවත් මදෑ’ යි කියමින් උපේක්ෂා සහගතව තත්ත්වය භාර ගන්නට කවුරු කවුරුත් හිත් හදා ගනිත්.

අන්තිම අඩුවෙන් මාස් වැසි ලැබුණොත් ඇති වෙන තත්ත්වයද බොහෝ සෙයින් අසතුටුදායකය. එනම්, ‘බෙත්මය’ යි. එනම් ප්‍රධාන වාරි ඇලෙන් අඩකට පමණක් ජලය නිකුත් කිරීමය. එවිට සිය කුඹුරු එසේම තිබිය දී ඇළ දිගේ ඉහළට ඉහළට යන්නට කොයි කාටත් සිදු වේ. එය මහ එපා කරපු ඉළ යන වැඩකි. නගුල්, පෝරු ඈ සියල්ල කර තබා ගෙන, මහ දුර ගෙවා ගොස්, අනුන්ගේ කුඹුරුවල වාත වෙන්නට සිදු වේ. මහ? නිදිමරා ගෙන, නන්නාඳුනන ගොවීන් සමඟ ජලය වෙනුවෙන් මරා ගන්නට සිදු වේ.

තත්ත්වය එසේ තිබිය දී තමයි, ගොවි සිත් සනහා ලන, විශ්වාස කරන්නට පවා නොහැකි මහා සතුටුදායක ආරංචියක් දස දෙස පැතිර ගියේ. ‘මහවැලිය හරෝනවලු’, ‘මහවැලිය හරෝනවලු, ආරංචි නැද්ද?’ යන හාහෝව ගම්දනව් සිසාරා රැව් පිළිරැව් දුන්නේය.

‘ඔව්, ඔව්, පොල්ගොල්ලෙ මහ අමුණක් ගහල, එතන හැදෙන ජලාසෙ වතුර උමඟකින් උකුවෙල හරියට ගෙනැල්ල, සුදු ගඟ දිගේ ගෙනත් අඹන් ගඟට දාල, ගේනවළු ඇළහැර අමුණට, ආයි ඉතිං තව මොනවද? අපේ වැව් හතරම ගොඩ. ඇයි, තව කන්තලේ වැවත් ගොඩ. එහෙමම ක්‍රමේකට ගෙනියනවලූ අනුරාධපුරේ පැත්තටත්’ ආදී වශයෙන් තතු දත් වැඩිහිටියන් කියා සිටියහ.

ඇළහැර අමුණ අපේ එක් ගැලවුම්කාරයෙකි. එතැනින් ඇළහැර ඇලට පහත් වෙන ජලය දිගටම විත් දියබෙදුමේ දී දෙකට බෙ දී, ඇළවල් දෙකක් වෙයි. ඉන් එකක් ගිරිතලේ වැව කරා ජලය ගෙන යන අතර අනෙක මින්නේරි වැව කරා ජලය ගෙන යයි. මේ ඇල ගිරිතලේ වැව කරා දිවෙන ඇළට වඩා විශාලය. ඊට හේතු දෙකකි. මින්නේරි වැව වඩා විශාල වීම ඉන් පළමු හේතුවයි. දෙවැනි හේතුව නම් කවුඩුලූ සහ කන්තලේ වැව් දෙකට ජලය සපයන්නේද මින්නේරි වැවෙන් වීමයි. ඒ අතින් මින්නේරි වැව බෙදා හරින වැවක්ද වේ. රජ කාලයේ සිටම එය සැලසුම් කර තිබෙන්නේ එහෙමය.

එය 1965-70 රජයේ අවසාන සමය විය.

‘සී.පී. ඇමතිතුමා තමයි වැඩේ කර ගහගෙන යන්නෙ’.

ටෙන්ඩර් පටිපාටිය අවසන, පොල්ගොල්ල අමුණ, පොල්ගොල්ල-බෝවතැන්න උමග, බෝවතැන්න ජලවිදුළි බලාගාරය ආදී වශයෙන් වූ සමස්ත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාර වූයේ යුගොස්ලාවියාවේ, ‘ඉන්ග්‍රා’ සමාගමටය.

වැඩි කල් නොයා තිබූ රජය පෙරැළී, සිරිමාවෝ මැතිණියගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත් විය. එහෙත් මහවැලි ව්‍යාපෘතිය කෙස්ගහක හෝ වෙනසකින් තොරව ඉදිරි බැලීය. ‘ගංගා එන්නකෝ ගංගා - මා බලාන ඉද්දී මූදු ගියා ඔබ’ සහ ‘ගිරිකුළු විනිවිද නව මං හෙළි කොට - නව ලොවකට ඔබ ගලා බසී’ ආදී වශයෙන් වූ ප්‍රබුද්ධ ගී පදද බැඳුණි. ඒවා ගුවන්විදුළිය ඔස්සේ නිතර රැව් පිළිරැව් දුන්නේය. පාට, පක්ෂ භේදයෙන් තොරව කවුරු කවුරුත් හුරේ දැම්මාහ.

කඳුවැටි සිදුරු කොට උමං හාරා, වියළි කළාපය කරා මහවැලි ජලකඳ ප්‍රවිෂ්ට කර වීම - ඉතිහාසයේ ප්‍රථම වතාවට - එසේ සාක්ෂාත් වීය !

ඒ වෙද්දී මා සිටියේ වත්තේගම අපේ පුංචි අම්මා කෙනෙකුගේ නි‍ෙවසේ නැවතී සිට වලල ප්‍රාථමික විද්‍යාලයේ අට වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමිනි. උදෑසන පාසැල් බසයේ නැ‍ඟී යද්දී මා අනිවාර්යයෙන්ම දුටු දසුනක් වූයේ ‘ඉන්ග්‍රා’ නම සහ ලාංඡනය යෙදූ වෑන් රථ කඩිමුඩියේ ඒ මේ අත ගමන් කළ ආකාරයයි. ඒවා එසේ ගමන් කළේ පොල්ගොල්ල සහ බෝවතැන්න අතර ඉංජිනේරුවන් ඇතුළු නිළධාරීන් ප්‍රවාහනය කරන්නටය. එය විශේෂයෙන් අවශ්‍ය වූයේ උමග දෙපැත්තෙන් ම හෑරූ නිසාය.

එක් වාසනාවන්ත දවසක ඒ උමං දෙක එක තැනක දී හමු විය. දෙපස භාර මහ ඉංජිනේරුවන් දෙදෙනා දෙපස සිට අතට අත දී, පසුව ළං වී බදා වැළඳ ගත්තහ. පුවත්පත්වල පළ වූ එවැනි තොරතුරු එකළ මා කියවූයේ ඉමහත් වූ අභිරුචියෙනි.

සියල්ල යහපත් ලෙස අවසන් විය. උමග හේතු කොට ගෙන එක දිය උල්පතක් හෝ සිඳී ගියේ නැත. එකදු හෝ නාය යෑමක්ද නොවීය. සැලසුම සහ පෙර අධ්‍යයන ප්‍රශස්ත මට්ටමින් තිබිණ. වැඬේ හරියටම දැන සිටි යුගෝස්ලාවියන්කාරයෝ එකී සැලසුම අනුව වැඬේ ටක්කෙටම කර නම්බුපිට ආපසු ගියහ.

සැනසිළි සුසුම් හෙළමින් දෙකන්නය අස්වද්දන්නට අප දෙමාපියන් ඇතුළු රජරට ගොවි ජනතාවට ඉසුඹු ලබා දෙමින් කාලය ඉදිරියට ඇ දී ගියේය. පස්සෙන් පහු මහවැලි ගඟ හැරවීම පුරුද්දකට ගියා සේ වීය. කඩිනම් මහවැළිය ආවේය. වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරු ඔය ආදී වශයෙන් නව ජලාශ ඉදි විය. ගොවි ජනතාවට සැබැවින්ම හොඳ කලක් උදා විය. රජරට ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය දුරින්ම දුරුවන් වී ගියා සේ විය. එහෙත්, මොරගහකන්ද නැතුව බැරි විය.

සමෘද්ධිය වැඩි කල් අල්ලා සිටියේ නැත. නියං රකුසා නැවත එහෙන් මෙහෙන් එබිකම් කරන්නට විය. හේතු පැහැදිළිය. ජනගහනය වේගයෙන් වැඩි වේ, නව ජනපද ඇති වේ. පෙනෙන්නට තිබූ පිළිතුර වූයේ මොරගහකන්ද ජලාශයයි.

මොරගහකන්ද ජලාශය සමස්ත මහවැලි ව්‍යාපාරය යටතේ අවසාන වශයෙන් නිම කරන්නට නියමිතව තිබූ ජලාශය යි. එය විශාලතම ජලාශයද විය. එය වපසරිය අතින් පරාක්‍රම සමූද්‍රය මෙන් පස් ගුණයක් විය.

මොරගහකන්ද ජලාශය විශේෂයෙන්, රජරටට ප්‍රධාන ආකාර දෙකකින් වැදගත් වේ. එනම්,

1 අතිශය වියළි යලේ දී වැව්වලට ජලය සපයන්නට සහ

2 ධාරානිපාත වැසි වසින මාස් කන්නයේ දී පහත් බිම් ගංවතුරෙන් බේරා ගන්නටය.

මේ දෙකම අපට එකසේ වැදගත්ය. ජලාශය පිරෙන්නේ නකල්ස් කඳුවැටියේ නැගෙනහිර සහ ඊසාන බෑවුම්වලට වසින වැස්සෙනි. ඒවා අයත් වෙන්නේ රටේ තෙත් කළාපයටය. තෙත් කළාපයට මහ වැසි වසින්නේ නිරිත දිග මෝසම් සුළං වලිනි. එය අපට ගිනි ගහන්නට පායන යල සුළං කාලයයි. ඒ කාලයට මොරගහකන්දේ ජලය අපට එනවාය කියන්නේ වචනයෙන් කියා නිම කළ නොහැකි ආශීර්වාදයකි. එය හරියට ‘ඕවර්හෙඩ්’ ටැංකියක් ගෙදර තිබෙනවා හා සමානය.

ජලාශයේ දෙවැනි වැදගත්කම නම් රජරට ගංවතුරට පිළිසරණක් වීමයි. ඒ මෙසේය. කොච්චර කීවත් මාස් වැසි ඇද වැටෙන කාලයේ දී ඇති වෙන ගංවතුරද රජරටට තිබෙන බරපතළ ප්‍රශ්නයකි. සරණාගත කඳවුරු පවා තැන තැන ඇති කරන්නට සිදු වේ. ඒවා සතිය හමාර තිබිය යුතු අවස්ථාද හිඟ නැත. වසර තුන හතරකට පෙර මැදිරිගිරිය නගරය පවා අඩි කිහිපයකින් වැසී යන සේ ගංවතුර ගැලුවේය. සෝමාවතිය, සුංගාවිල, කිරිමැටිය ආදී ප්‍රදේශ ගංවතුරින් අධික ලෙස පීඩා විඳින ප්‍රදේශ වෙති. අනුරාධපුර දිස්ත්‍රික්කයේද එසේ ගංවතුරින් විඳවන ප්‍රදේශ තිබේ. ගංවතුර ගලන්නේ සාමාන්‍යයෙන් අපට මදි නොකියන්නට වැසි වසින මාස් හෝ ඊසාන දිග මෝසම් කාලයේදීය. එය රටටම වැසි වසින කාලයකි.

මොරගහකන්ද ජලාශය පිළිබඳ ගොවිජන මතය (විශාරදයන්ගේ නොවේ) දැන ගැනීම සඳහා යම් කාලයක් මම ගත කළෙමි. ඒ වෙන කිසිවක් නිසා නොව, මාද ගොවි පුතෙක් වෙන නිසාය. මගේ ගොවි දෙමවුපියන් කෘෂිවිද්‍යා උපාධිය හදාරන තෙක් මා ඉහළට යැව්වේ මේ රජරට පොළෝ මත්තේ නැහී නිසාය; මාද ගොවිතැනට අතිශයින් සම්බන්ධ නිසාය.

මුලින්ම කියන්නට තිබෙන්නේ මෙම ව්‍යාපෘතියට දොස් කියන කිසිවෙක් මට හමු නොවූ බවයි. ‘මොරගහකන්ද ජලාශෙ හැදුව කියන්නෙ අපිට දෙයියො බැලුව වගේ දෙයක්’ බව සාමාන්‍ය ගොවිජන මතය වේ. ‘මේ රජය කරපු ඔක්කොම ව්‍යාපෘති මොරගහකන්දට යටයි’, ‘මොරගහකන්ද ජලාශය තමයි ජනාධිපතිතුමා ඉතිහාස ගත වෙන තැන’ වැනි ප්‍රකාශද ඇතැම්හු කළහ. ‘ඇස්වහක් කටවහක් නෑ, පෙර රජ දරුවන්ට පස්සෙ මහ වැවක් අළුතිම්ම හැදුවෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා’ යි ද අයෙක් කියා සිටියේය.

මොරගහකන්ද ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා දැවැන්ත සහ නොසැලෙන උනන්දුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එදා තිබූ බව කවුරුත් දන්නා දෙයකි. එකී කටයුත්තේ දී එතුමන් මුහුණ දුන් බාධක, හිරිහැර, වෙට්ටු සහ කකුල් මාට්ටු අපමණ විය. ඒ සියල්ල මැඩ ගෙන, ගොවි ජනතාවට සෙත සදන තවත් මහ වැවක් දේශයට එකතු කිරීම එතුමන් කළ මහා පින්කමක් වේ.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.