මානවසිංහගේ දේශනයක් අසා ගීත ලියන්නට පෙලඹුණු සේකර | සිළුමිණ

මානවසිංහගේ දේශනයක් අසා ගීත ලියන්නට පෙලඹුණු සේකර

මහගම සේකරයන් ගීත රචනා කිරීමට පෙලඹුණේ ප්‍රබුද්ධ කවියකු හා ගීත රචකයකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනයකට සවන් දීමෙන් පසුව බව ඔහු තම ‘ගීත සංග්‍රහය‘ නම් ග්‍රන්ථයේ පෙරවදනෙහිලා කියා සිටී. ඔහුගේ රචනා කිහිපයක් ඇසුරෙන් ඒ ගැන විමසා බලමු.

ඈත එපිට දිගු මඩලේ

මහ කඳු වැටියක අසලේ

නිහඬ පිටියෙ වනන්තරේ

මහ කළුවර ගස් අතරේ

ඉහත සඳහන් මානවසිංහයන්ගේ කවිය බොහෝ දුරට මහගම සේකරයන්ගේ පහත සඳහන් රචනාව හා බොහෝ සමානකමක් දක්වන බව එය ගැන විමසීමේදී පැහැදිලි වේ.

අහසේ නිල් පැහැය උරා

මේඝ වලා කඩින් පෙරා

යමුනා ගඟ ඉහළ කොනේ

මල් බර නිල් උපුල් වෙනේ

ඉඳුනිල් මිණි කැට අතරේ

බැස යන සීතල වතුරේ

එතකුදු නොව, මානවසිංහයන් විසින් රචිත මේ වෙසක් බැති ගීය මහගම සේකයරන් විසින් රචිත පහත වෙසක් බැති ගීය සුසැදි අයුරුත් සැසඳීම ඉතා අගනේය.

සඳ මිදුලේ සමන් මලේ

වෙසක් ස‍ඳේ කැලුම් මැවේ

සාධු සමාධි ගුණ ගීතයකි විහාරේ

මානවසිංහයන් එදා ලියූ ඉහත මේ පදවැල්වලට සමීප වන අයුරින් මහගම සේකර නම් කවියා ලියන්නේ මෙසේය.

විහාර මළුවේ සඳකැන් දහරේ

අරලිය වදුලේ මල් පොකුරේ

පුහුල් පහන්වල ගොක් කොළ තොරණේ

සුදු සඳ රැස් එක සේ පැතිරේ

පන්සලේ, විහාරේ ගේ මළුවේ මල් සුවඳින්, පහන් ආලෝකයෙන් සුදු සඳරැස් දිලිසෙන බව කවියන් දෙදෙනා ම එක ආකාරයෙන්ම අපේ මතකයට නංවයි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සිංහල භාෂාවෙන් පමණක් නොව, පාලි හා සංස්කෘත යන භාෂාවන්ගෙන්ද පරිණතව, පෝෂණය වී සිටි බව ඔහු විසින් 2500 ශ්‍රී බුද්ධ ජයන්තිය උදෙසා රචනා කර විශාරද පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන ලද -

ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී

ගෝපි පීන පයෝධර මර්දන චඤ්චල කර යුග ශාලී

මුධර මදීරං න්යජ මඤ්ජිරං රිපුමිට කේලි සුලෝලම්

චල සබිඤඤ්ජං සති මිර පුඤ්ජං ශීලය නීලබවොලම්

සහ

පාතුර හෝසි බුද්ධ ජයන්ති

ධම්ම සමය උදපාදී

උට්ඨනථ නිසීදථ ධාජේථ ධම්මං

ආරභක නික්ඛමක චරක චාරිකං

යනාදි ගීත ගැන විමසීමේදී පැහැදිලි වේ. මහගම සේකරයන් ඒ අනුව යමින් පාලි භාෂාව පිළිබඳ උනන්දුවක්, විමසිල්ලක් දැක්වූ බව බෞද්ධ සාහිත්‍යයේ එන සුභා තෙරණියගේ කථා වස්තුව පාදක කොටගෙන ලියැවී, අමරදේවයන් විසින්ම ගායනා කරනු ලබන ‘ඔබේ දෑසයි ඔබේ දෑසයි‘ නම් ගීතය මඟින් ගම්‍ය වේ.

ඔබේ දෑසයි - ඔබේ දෑසයි

ඈත කඳු වැටි සේ නැමී ගිය

නීල දිගු ඇසි පියෙන් සෝබන

නීල උත්පල දිගටි දෑසයි

මීන චංචල කිඳුරු දෑසයි

සේකර විශ්ව සාහිත්‍යයේ ප්‍රචලිත රවින්ද්‍රනාත් තා‍ගෝර්, සරෝජිනි නායිදු, ඕමාර් ඛයියාම් බඳු විදෙස් කවීන්ගේ දාර්ශනික අර්ථවත් ගීථ ආභාසයට ගෙන එවන් අර්ථවත් සිංහල ගීත ලිවීය. ඊට උදාහරණ ලෙස ඕමාර් ඛායියාම්ගේ කවි පන්තියක් ඇසුරෙන් රචනා කරන ලද පහත ගීත දෙක දැක්විය හැකිය.

ගී පොතයි - මී විතයි

ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි

රත ලවන මී විතයි

මා පතන ගී පොතයි මී විතයි

ඔබ සතුයි...

අනෙක් ගීතය වන්නේ -

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ

මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි

සුරංගනාවියනේ

සුරා විතයි ගී පොතයි අතින් ගෙන

තුරු වදුලේ නිල් සෙවණැල්ලේ

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ

මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි

සුරංගනාවියනේ...

ඉහත දක්වන්නට යෙදුණු ගී දෙකම ඉතා අගනා සුගම අයුරින් ලියැවුණු ප්‍රේම ගීත වෙයි. ඇයගේ තුරුලේ සිටිනා විට ඊට වඩා ස්වර්ග රාජ්‍යයක් නැති බව ඔහු පුන-පුනා පවසයි. ඒ සඳහා ඔහු යොදාගන්නා බස් වහර ඉතා උචිතය; අ‍ගනේය.

ලොව පවත්නා තාක් කල් නොනැසී පවත්නා ධර්මතාවක් නම් ආදරයයි. එය මිනිසාට මෙන්ම සතා-සිවුපා ආදි සියලු සතුන්ටද ‍පොදු වූවකි. ආදරය පරම්පරාවෙන් පරාවට අලුත් වෙමින්, විකාශනය වෙමින් ඉදිරියටම ගමන් කරයි. ඒ අනුව ගීත රචකයෝත් නවක කවියෝත් අලුත් උපමා-උපමේය යොදා ආදරය ශෘංගාරය කැටි කොටගත් ගීත ලියති; ඒවා සුමධුර හඬින් ගායනා කරති. එහි ප්‍රතිවිරුද්ධ පැත්තද එසේමය. ඒ චමත්කාර සුන්දර ආදරය බිඳී ගිය විට, සුන් වූ විට ලියැවෙන අඳුරු වියෝව, වේදනාවද විවිධාකාර වෙයි. මෙහි පහත දැක්වෙන්නේ සේකරයන් ලියූ ආදරය සුන් වූ, බලාපොරොත්තු කඩ වූ වේදනාත්මක අන්තර්ගතයන් ඇති ගී දෙකක පදවැල්ය.

පාළු අඳුරු නිල් අහස මමයි

ඈත දිලෙන තනි තරුව ඇයයි

යුගයෙන් යුගයට හදවත් ඉල්ලන

බලාපොරොත්තුව පැතුම ඇයයි

අසාර වූ මහ පොළොව මමයි

ගලා බසින දිය දහර ඇයයි...

කැලෑව මැද කටු පඳුර මමයි

පිපී වැනෙන මල් පොකුර ඇයයි...

තම පෙම්වතිය පිළිබඳ තම හිතේ ඇති වන වේදනාත්මක හැඟීම් මේ රචනය මඟින් හඬගා කියයි. තමා පාළු අඳුරු නිල් අහසක් බවට පත් වූ විට එහි දිලෙන එකම ‘තනි තරුව’ වන්නේ ඇයයි. ඒ දිලිසි දිලිසි බැබළෙන තරුව ළඟට තමාට ළං වන්නට බැරි නම් ඔහුට ඇති වන වේදනාව කොතරම්ද? පාළුව තනිකම එවිට තම හදේ රජයන බව අමුතුවෙන් කිව යුතුද? කර්කෂ වියළී ගිය අසාර වූ පොළොව තමා නම් ඒ අසලින් ගලා බසින දිය දහර වන්නේ ඇයයි. ඒ දිය දහරින් දෝතක් ගන්නට තමන්ට හැකියාවක් නැත් නම්, කැලෑව මැද අකලට වියළී ගිය කටු පඳුරක් සේ වන්නේ තමන් නම් පිපී වැනෙන මල් පොකුරක් වූ ඇයගෙන් සිසිලසක්, සුවඳක් නැත් නම් ඒ ජීවිතයෙන් ඇති පලය කිම? ගීත රචකයා ඉතා චමත්කාරජනක අන්දමින් ඒ රූප මාලාව අප සිත් තුළ ජනිත කරවයි.

සිංහල බෞද්ධ අපට වෙසක් උත්සවය ඇරුණු කොට ඇති අත්‍යුකර්ෂවත්ම උත්සවය වන්නේ බක් මහට යෙදෙන සිංහල අවුරුද්දය. ගමත් සිංහල අවුරුද්දත් මතකයට නංවන පරිද්දෙන් මහගම සේකරයන් විසින් ලියන ලද අවුරුදු ගීතද සමූහයකි. ඉන් ප්‍රධාන තැනක් ගන්නා ගී දෙකක් ගැන මෙහිලා සඳහන් කරමි.

නීල කොබෙයි රෑන ඇදී - වී අහුලන ඉපනැල්ලේ

මාල ගිරවු පේළි ගැසීලා - නව අවුරුදු ගීත ගයනවා...

වක්කඩ ළඟ දිය සුළියේ - තිත්ත පැටවු කලබලයේ

ඒ තාලෙට වරල් සලාලා - නව අවුරුදු නැටුම් නටනවා...

ඔන්චිලි චිලි චිල්ල මලේ - වැල්ල දිගට නෙල්ලි කැලේ

ගසුයි වැලුයි මලින් පිරෙනවා - ගම්මානෙට අවුරුදු එනවා...

ගස්වැල් මලින් බර වෙයි. කුඹුරුවල දලු ලා වැඩී තිබෙන අස්වැන්නේ රස බැලීමට නීල කොබෙයියෝ රංචු පිටින් ඇදී එති. ඔවුන්ටද සිංහල අවුරුද්ද මහ අසිරියකි. ගස්වැල් මල් ගෙඩි ආදි පල බරින් පිරී-ඉතිරී ඇති බැවිනි. වක්කඩන් ඇද-හැලෙන වතුරේ දිය සුළියකි. ඒ දිය සුළියේ කැරකෙන තාලයට තිත්ත පැටවු කලබලයෙන් වරල් සලමින් දියේ එහේ මෙහේ දුවති. අවුරුදු සමයට ගම පුරා උන්සිලි බැ‍ඳෙති. ගැමිලියන් ගම දෙවනත් කරමින් උන්සිලි වාරම් කියමින් උන්සිලි පදිති. මේ සියල්ල සිදු වන්නේ අවුරුදු අසිරියෙන් මුළු ගමම අලංකාර වූ නිසාය.

වර්තමානයේ පොදුවේ බෞද්ධ අබෞද්ධ මුළු මහත් ජනතාවගේම ගෞරවාදරයට පත්වන්නකි ශ්‍රීපාද ස්ථානය. මේ සෙකර ඒ පිළිබඳ ලියා අමරදේවන් ගායනා කළ අගනා ගීතයයි.

සමනොළ සිරසේ - රන් කොත දිලිසේ

ලංකා නව මිණි රන් දෙරණේ

ලොව හැමගේ ආගම එතනැයි

ලොව හැමගේ ජාතිය එතනැයි

ලොව හැමගේ ලෝකය එතනැයි

ඒ සිරිපා ජය භූමියමයි

මෙලොවෙහි මෙයට වඩා වටිනා, අගනා උතුම් ස්ථානයක් නැතැයි ඔහු කියයි. සමනොළගිරි කඳු මුදුනේ සුදු සිරිපා සුවඳැති මල් පිපෙන, එහි ඇති සම කරුණා ගුණ මහිමය ගැන චමත්කාර අන්දමින් මින් පෙන්නුම් කර සිටී. ඒ සමනොළ සිරස පිහිටි ශ්‍රීපාද පද්මය ඔහු මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම භාර කරයි.

පටු අදහස්වලින් භේද-භින්න වී ආගම් වශයෙන්, ජාති වශයෙන්, කුල මල වශයෙන්, භාෂා වශයෙන් ඇන කොටාගනිති. එකාට එකා වෛර කරගනිති. අඬ දබර කර ගනිති. මිනී මරාගනිති. එහෙයින් එවැනි ඇන කොටා ගැනීම්, පටු අදහස් නැති උතුම් ස්වර්ණමය ලෝකයක් කරා අප සැම රැගෙන යන ලෙස එතුමා මෙම ගීත පද රචනයෙන් ආයාචනය කරයි.

පටු අදහස් නම් පවුරින්

ලෝකය කැබලිවලට නොබෙදී

ඥානය නිවහල් වී

බියෙන් තොරව හිස කෙළින් තබාගෙන

සිටිනට හැකි කොහිදෝ

ඒ-වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට

මාගේ දේශය අවදි කරනු මැන

පියාණනේ

එවන් ස්වර්ග රාජ්‍යයක් මතු-මත්තේ කවරදා හෝ ඇති වේ දෝ යි අපි ද බලාපොරොත්තු තබා සිටිමු.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.