ජනේල හැරදමා දොරවල් අගුළු දමා වැසීම | සිළුමිණ

ජනේල හැරදමා දොරවල් අගුළු දමා වැසීම

සංසාර ගමන කෙළවරක් නැතිව දික්වන්නේ ජීවිතයට ඇබ්බැහිවීම නිසා යැයි කිසියම් දාර්ශනිකයෙකු විසින් කියා ඇත්දැයි මම නොදනිමි. කෙසේ වුවත් ඇබ්බැහිවීම යනු විචාරයකින් තොරව කරන කාර්යයකි. බීමට ඇබ්බැහිවීම උදාහරණයකි. එහි දී බීම ගැන එහි ඵල විපාක සිතීම සිතින් අත්හැරදමා ඇත. දුම්බීමට ඇබ්බැහිවීම ද එවැන්නකි. සිගරට්ටුව දකින විට අන්කිසිවක් නොපෙනේ. කුඩු ගසන්නට ඇබ්බැහිවීම තවත් උදාහරණයකි. එයට ඇබ්බැහිවූ විට තමන් මිනිසෙකු ද යන්න ද සහමුලින් අමතක වේ. ජීවිතය කුඩු සොයා යෑමක් පමණක් බවට පත්වේ.

කෙසේවුවත් මේ කවුරුත් දන්නා කවුරුත් කතාකරන ඇබ්බැහිවීම්ය. එයටත් වඩා දරුණු ඇබ්බැහිවීම් අප ජීවිත වෙලාගෙන ඇති බව සමහරවිට අපට නොපෙනේ. උදාහරණයක් වශයෙන් කුඩු භාවිතයට ඇබ්බැහිවීම පෙනේ. එහෙත් කුඩු නොගසා කුඩු වෙළඳාමට ඇබ්බැහිවීම නොපෙනේ.

එනම් කිසියම් ක්‍රමයකින් හෝ සල්ලි සෙවීමට ඇබ්බැහිවීම නොපෙනේ. කිසියම් ක්‍රමයකින් ම හෝ මුදල් ඉපැයීම අයහපත් නොවේ යනු අද සමාජයට කිඳා බැස ඇති ඇබ්බැහියකි.

එහි දරුණුකමනම් කුඩු භාවිතය මෙන් සියයට දෙක තුනකට නොව සමාජයෙන් සියයට පනහකට හැටකට වඩා මෙයට දරුණු ලෙස ඇබ්බැහි වී සිටීමයි. මෙවැනි බරපතල ඇබ්බැහි වීම් ගැන සමාජයේ සංවාදයක් නැත.එනම් කුඩු ගැන සංවාදයක් තිබුණත් කුඩුවලට වඩා භයානක දේ ගැන සංවාදයක් නැත. විවෘත යැයි කීවාට අපේ සමාජ එතරම් විවෘත නැත. කතා කළ යුතු ම දේ දොරගුළු දමා වසා තබා ඇත. මේ අද ලොව පුරා රජයන‘ගෝලීය විවෘතභාවය’කියාවුව ද නම් කළහැකිය.

එනම් සන්නිවේදන මාධ්‍ය භාවිතාවන්නේ කතා කළයුතු දේ වසා තැබීම උදෙසා යැයි ද කීමට සිදුවේ. එනම් අලෝකය තුළ දැඩි අන්ධකාරයක් තිබේ. අන්ධකාරයට අලෝකය තර්ජනයක් හෝ අභියෝගයක් වී නොපවතියි.

දැන්මේ කතාවෙන් යළිත් සරලව ඇබ්බැහිවීම ගැන කතා කළයුතුය. ෆෝන් පාවිච්චි කිරීමක් අද සිදු නොවේ. ඒ වෙනුවට ෆෝන්එකට ඇබ්බැහි වී ඇත. ටීවී එක ද එසේ ම ය.

දේශපාලනයවුව ද එසේ ම යැයි කීවාට වරදක් නැත. දේශපාලනයට දැඩි සේ ඇබ්බැහිවූවන් ඇත. එනම් කාගේ හෝ කිසියම් ම සැපතක් හෝ විපතක් තමාගේ වාසිය උදෙසා හරවා ගන්නේ කෙසේ ද යන්න ඔවුන් ට සැමවිටම කල්පනාවන එකම දෙයයි. එයින් පිට ජීවිතයක් ගැන නොදන්නා තරමට ඔවුහු‘දේශපාලනයට’ඇබ්බැහි වී සිටිති. සමාජයේ පවතින විපත් හෝ සැපත් ගැනඔවුන්ට නොපෙනේ. පෙනෙන්නේ ඒ ඕනෑම එකකින් ලද හැකි වාසියක් ඇත්නම් එය පමණි.

ඒ මට්ටමින් ම ජනතාව ටෙලිනාට්‍යවලට ද ඇබ්බැහි වී සිටිති. දැන් පවතින ටෙලිනාට්‍යවල ද අමුතු ස්වභාවයක් ඇත. එනම් ටෙලිනාට්‍ය නැරඹූ පසුව නිව්ස් බලන්නට ද සිතීමයි. ඒ සමඟ ම නිව්ස් නැරඹූ පසුව ටෙලිනාට්‍ය ද බලන්නට සිදුවේ.

ටෙලිනාට්‍යවල මෙන් ම ටෙලිනිව්ස්වල ද අද හදිසි අනතුරු සහ අතවර හොරකම් ආදිය ඉතා බහුලව පෙන්වනු ලැබේ. කොතරම් ද යත් වෙනස සොයාගැනීමට නොහැකි තරම්ය.

නිව්ස්එඩිට් කරන්නේ ටෙලිනාට්‍ය රචකයන්යැයි සිතෙන අතර ටෙලිනාට්‍ය රචනාකරන්නේ නිව්ස් එඩිට් කරන්නන් නොඑසේ නම් ප්‍රවෘත්තිසංස්කාරකවරුන් යැයි සිතෙන තරම්ය. ඒ තරමට ම ජනතාව නිව්ස් හා ටෙලිඩ‍්‍රාමාවලට ඇබ්බැහි වී සිටිති. ටෙලි තරු එක්වරම පොලිටිකල් තරු වූයේ ද මේ ඇබ්බැහිය නිසාය.

ඇබ්බැහිවීම් පිළිබඳ අනෙක් වැදගත් ම කරුණනම් ඇබ්බැහිවීම් අයහපත් නොව යහපත් යැයි සැලකීමය. අතිසුඛෝපභෝගී කාර්වලට ඇති ඇබ්බැහිය නරකක් යැයි දැන් කිසිවෙකුත් සිතන්නේනැත. ඉතා මිල අධික මෝටර් රථ පරිහරණය බොහෝ අයගේ ඇබ්බැහියක් වී ඇත. පිටරටින් ආනයනය කළ අතිසුඛෝපභෝගී නවීන මෝටර් රථයක් තමන්ගේ අනන්‍යතාව ද විශේෂතාව ද පෞරුෂය ද වටිනාකම ද වැදගත්කම ද බවට පත්කරගත් අය බොහෝය. කුඩු විකුණන අය ද එසේ කරන්නේ ඔවුන් කුඩුවලට කෙසේ වුවත් මෝටර්රථවලට ඇබ්බැහි වී ඇතිබැවිනි.

ඔවුන්ට ඒ ආසාවෙන් මිදීමට නොහැක. ඒනිසා කුඩු ජාවාරමකර හෝ ආසාකාරණ එක අත්පත් කරගැනීමටසිතති.

සිගරට්අරක්කු පමණක් ඇබ්බැහි වීම් යැයි සැලකීම රට ඇබ්බැහිකම්වලින් ගලවා ගැනීමට බාධාවකි. අනිත් අතට වරද ඇත්තේ සිගරට් හෝ අරක්කුවලට ද වඩාඇබ්බැහිවීම තුළය. වරද ඇත්තේ ෆෝන්එකේ හෝ ටීවී එකේ ද නොවේ. ඒවා ඇබ්බැහිවීම් බවට පත්කිරීම හා පත්කරගැනීම තුළය. සෑම දෙයක් ම අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය කළ ඇබ්බැහිවීමක් බවට පත්වේ. එහෙත් මේ ඇබ්බැහිවීම් පිළිබඳ ද්විවෘත සමාජසංවාදයක් නැත. ඒ තරමට සමාජය මේ ඇබ්බැහිවීම්වලට ඇබ්බැහිවී තිබේ.

අදහස්