ගම හදා රට හදන ඉණිමඟ පළාත්පාලන මැතිවරණය ද? | සිළුමිණ

ගම හදා රට හදන ඉණිමඟ පළාත්පාලන මැතිවරණය ද?

පළාත් පාලන මැතිවරණය කෙමෙන් කෙමෙන් ළංවෙමින් පැවතියද ඒ පිළිබඳව එතරම් උණුසුමක් හෝ කතා බහක් සාමාන්‍ය ජන සමාජය තුළ දක්නට නොමැත. හු‍ෙදකලාව පවත්වනු ලබන රැස්වීම් හැරුණු කොට උද්යෝගීමත් දේශපාලන මාතෘකාවක් බවට එය පත් වී නොමැත. 2015 ජනාධිපතිවරණය සේම ජනතාව නිහඬව සිදු වන සියල්ල දෙස එකත්පසව බලා සිටිති. එනිසා ඡන්දයේ දී කවර පක්ෂක් ජයග්‍රහාණය කරාවිදැයි අටුවාටීකා කීමට අපට නො හැකිය. එනමුත් සාමාන්‍ය දැනීමේ හැටියට නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිමි ඡන්ද පොදුජන පෙරමුණ හා බෙදී ගිය පසුව එක්සත් ජාතික පක්ෂය ගැටළුවකින් තොරව ජයග්‍රහණය කරනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ පාක්ෂිකයන් තුළ ඇති උභතෝකෝටිකය වන්නේ මෛත්‍රීද? මහින්ද? යන්නය. එහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිශ්චිත සාධකයක් ව පවතී. එසේ හෙයින් වඩා යහපත් මෛත්‍රී පාලනයද? මහින්ද පාලනයද? යන්න තීරණය කළ යුත්තේ එම පක්ෂයේ සාමාජිකයින්ය. බැලූ බැල්මට නම් වැඩි වාසි ඇත්තේ සන්දර්ශන මගින් සෙනඟ පෙන්වන මහින්ද රාජපක්ෂ මහතාට සේ පෙනුනද සත්‍ය නම් එය නොවේ. ඊට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතා ආකර්ෂණීය වී ඇත. එනිසා නිගමනය කළ හැක්කේ මෙම මැතිවරණයෙන් පසුවද යහපාලනය ගැටලුවකින් තොරව ඉදිරියට යන බව පමණය.

මෙම මැතිවරණය ගැන වඩා උනන්දුවක් දක්වන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් ගම සෑදීමට බලය ඉල්ලා සිටිති. තිස්සමහාරාම පළාත්පාලන ආයතනය හරහා කිසියම් සාධනීය විභවයක් ඔවුන් විසින් පෙන්වා තිබුණ ද එය ආකල්පමය වශයෙන් ජනතාව වෙත ගෙනයෑමට පසුගිය කාලය පුරා ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය ක්‍රියා කළ බවක් පෙනෙන්නට නැත. මෙනිසා කිසියම් ආකාරයක වාසි සහගත තත්ත්වයක් අපේක්ෂා කළද හිතන තරම් එය ජ.වි.පෙට පහසු වන්නේ නැත.

ඇත්තෙන්ම මෙම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ පරමාර්ථය කුමක් දැයි විමසුව හොත් සාමාන්‍ය ජනසමාජයේ මතය වන්නේ “ඕකුන් එන්නෙ අපිට ආදරේට නෙමෙයි.

මතක නැද්ද කලින් හිටපු එකා. අපි හිතන් හිටියේ සෙරෙප්පුදෙක දාගෙන ගමේගොඩේ ඇවිදලා කිසිම ලොකු කමක් නැතිව ගෙවල්වලට ගොඩවෙලා කහට එකක් එහෙම බීලා හිනාවෙලා යනකොට මිනිහ ගමට වැඩක් කරාවි කියලා. එත් ගියාට පස්සේ අපි ගැන බැලුවයෑ. කටවුට් දාපු එකාටයි, පොස්ටර් ගහන්න, කාර්යාල දාන්න, වැඩවලට සල්ලි වියදම් කරපු, යහනවහන දීපු මුදලාලිලාටයි,

උන්ගෙ පවුල්වල අයටයි තමයි කොළේ. ඒත් කියන්නෙ කොහොමද? ආවට පස්සෙ ගම සංවර්ධනය කරනව කියලා. බැළුවම හැමදාම රැවටිල තියෙන්නෙ අන්තිමට අපි. අවුරුදු හතරකට පහකට බලය දීලා බකන් නිලාගෙන ඉන්න තමයි හැමදාම අපිට වෙන්නේ. මොකා ආවත් එකයි. කවද මේ තත්ත්වය වෙනස් වෙයිද කියන්න දන්නෙ උඩ ඉන්න දෙයියො විතරයි”. සත්‍යයකි, ගම හැදීමට ඡන්දය ඉල්ලා සිටියද මේ දක්වා ගමට සිදු වූ යහපතක් නම් නැත. එසේ වී ඇත්නම් ඒ මහා පරිමාණව ආණ්ඩු විසින් සිදු කළ ඇතැම් කාර්යයන්වලදී ශේෂ වූ ඒවා පමණය. උදාහරණයක් ලෙස ප්‍රේමදාස යුගයේ කළ ‘උදාගම්’ පෙන්වාදිය හැකිය. ඉන් මෙපිට යමක් වූයේ නම් ඒ ඉතාම අතළොස්සකි. ඒ අනුව බලන කල නම් මේ පළාත් පාලන ආයතන යනු සුදු අලියෙකි. මෙමගින් අදහස් කරන්නේ මෙය අනුචිත බව කීම පමණක් නොවේ. ඒතුළින් ගමට වන යහපතක් ද නැති බවය.

එහෙත් දිළිඳුකම පිටු දැකීමේ අරමුණැතිව ගම ආර්ථිකමය වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරිමට එයට හැකියාවක් නැත්තේ නොවේ. ඒ සඳහා ප්‍රජා මූලික ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබේ.

මෙහිදී මූලික වශයෙන් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව” උපුටා දැක්විය හැකිය. ග්‍රාම රාජ්‍ය/ග්‍රාම සභා/ගම් සභා ආදී විවිධ නම්වලින් හඳුන්වන මෙම සංකල්පය ගැන අදහස් දැක්වූ මහජනයාගේ පොදු අදහස වූයේ හැකිතාක් පහළ මට්ටමට එනම් ගමට දේශපාලන බලය ලබා දිය යුතු බවය. පළාත් පාලන ආකෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු මෙම යෝජිත ඒකකයේ නමට ‘ග්‍රාම’ හෝ ‘ගම’ යන විශේෂණ පද යොදා ගෙන ඇත්තේ ද ඒ හේතුවෙනි. ගම් මට්ටමට දේශපාලන බලය ලබා දීම අවශ්‍යව ඇත්තේ ගම් මට්ටමේ පාලනයේ දුර්වලතා මග හරවා ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ව්‍යුහය තුළ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය සහතික කිරීමත් සඳහාය.

ගැමියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණ ළඟා කර ගැනීම සඳහා තීරණ ගැනීමේදී පුරවැසියන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය ලබා ගනිමින් ගම් මට්ටමේ කටයුතු කළමනාකරණය සඳහා වූ ස්වයං පාලන ආයතනික යන්ත්‍රණයක් ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීම යෝජිත පද්ධතියේ අරමුණ වේ. මෙවැනි නව දේශපාලන ව්‍යුහයක් අවශ්‍ය වී ඇත්තේ, සියලු මට්ටම්වල දේශපාලනඥයින් හා නිලධාරීන්ට බලය අවභාවිතා කිරීමට තුඩු දෙන පක්ෂ දේශපාලනයේ ඇති දූෂණය හා ප්‍රාදේශීය දේශපාලනයේ දැකිය හැකි අන්තවාදී දේශපාලනීකරණය හා නිලධාරිවාදය නිසාය.

තව ද, ග්‍රාමීය ආර්ථිකය තුළ අසාධාරණ වෙ‍ෙළඳ භාවිතයන් හා අතරමැදියන්ගේ සූරාකෑම ඉතා පුළුල් ලෙස දක්නට ලැබේ. සාමාන්‍ය ගැමියන්ගේ සමාජ ආර්ථික අවශ්‍යතා නොසලකා හරිමින් ගැමි ආර්ථිකය සූරා කෑමට දේශපාලනඥයෝ හා ප්‍රභූන් එක් වී ක්‍රියා කරති. එනිසා ග්‍රාමීය මට්ටමේ ආර්ථික සංවර්ධනයක් ඇති වන ආකාරයට සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය හා මාර්ග සංවර්ධනය වැනි සේවාවන් හා යටිතල පහසුකම් ලබා දෙන සංවර්ධන වැඩසටහන් ග්‍රාමීය මට්ටමේ ආරම්භ කිරීම හදිසි හා කාලීන අවශ්‍යතාවක්ව පවතී.

ගැමි ජනයාට ආර්ථික ප්‍රතිලාභ දීමට ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවාහනය, ගබඩා කිරීම හා සකස් කිරීම වැඩිදියුණු කරමින් හා අපතේ යෑම අඩු කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පුළුල් වෙළෙඳපොළකට අලෙවි කළ හැකි ආකාරයට, ගම පදනම් කර ගත් වෙ‍ෙළඳ ක්‍රමයක් සකස් කළ යුතුවේ.

හස්ත කර්මාන්ත වැනි දේ මත පදනම් වූ සාම්ප්‍රදායික ජීවිතයක් ගත කරමින්, පරිසරය ආරක්ෂා කර ගනිමින්, වනාන්තර හා පොදු භුක්තියට ඇති ඉඩම් වැනි ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ගම් වැසියන්ට ඔවුන්ගේ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ කටයුතුවල ක්‍රියාකාරී ලෙස නියැළීමට පුළුවන.

මේ නිසා ග්‍රාමීය මට්ටමේ පාලනය හා ආර්ථික කටයුතු කළමනාකරණය වැඩි දියුණු කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය හා යහපත ළඟා කර ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමට අර්ථාන්විත ලෙස දේශපාලනය බලය බෙදා හැරීම අත්‍යවශ්‍ය වේ.

සංවර්ධන දෘෂ්ටිකෝණයට අමතරව, පළාත් පාලනය සඳහා තවත් තර්කයක් වන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය භාවිතයේදී අසාර්ථක වී ඇත යන්නයි. පාර්ලිමේන්තුව හා අනෙකුත් ආයතනවලට පුරවැසියන් විසින් තම නියෝජිතයන් පත් කර ගන්නා නමුත් මැතිවරණ අතර කාලයේ ඔවුන් හුදු නරඹන්නන් බවට පත් වේ.

තමන් විසින් ම තෝරාගත් නියෝජිතයන්ට ප්‍රමාණවත් බලපෑමක් කිරීමට මහජනයාට හැකියාවක් නැත. පාලනකරණය හා සංවර්ධනය පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් ඡන්දදායකයන්ගේ අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් නොමැති හෙයින් ඡන්දදායකයන් තමන්ට ලබා දුන් වරම ගෙන හැර දක්වමින් නියෝජිතයෝ තමන්ගේ සිතැඟි පරිදි පාලනය ගෙන යති.

දේශපාලනඥයන් වගකියන බවට පත්කිරීමේ හැකියාවක් පුරවැසියන්ට නැති වී ගොසිනි. පවතින දේශපාලන පද්ධතියේ ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ ඡන්දදායකයන් ලබා දුන් වරම ඉටු කිරීමට තෝරා පත් කරගත් නියෝජිතයන් අසමත්වූ විට ඔවුන් ආපසු කැඳවීමේ හැකියාවක් නැති වීමය.

මහජනතාව ග්‍රාම රාජ්‍ය සංකල්පය දකින්නේ ගම් මට්ටමේ දේශපාලනය, පක්ෂ දේශපාලනයේ ඉතා හානි කර බලපෑමෙන් නිදහස් කර ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙසය. මෙහි මූලික සංවිධාන ව්‍යුහය වන්නේ මූලික ඒකකය වන ගමත්, ගම් කීපයක් ඇතුළත් වන ග්‍රාම නිලධාරි කොට්ඨාසයත්, එවැනි කොට්ඨාස ගණනාවකින් සමන්විත වන ග්‍රාම රාජ්‍යයත් ය.

පවතින ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා හෝ අලුතෙන් යෝජනා කර ඇති දිස්ත්‍රික් සභා හෝ අවසානයේ ජාතික මට්ටමේ සභාවක් හෝ පාර්ලිමේන්තුව සමග රටේ දේශපාලන ව්‍යුහයට ග්‍රාම රාජ්‍යය සම්බන්ධ කරන්නේ කෙසේ ද යන්න වෙනස් ආකාරයන්ගෙන් සංකල්ප ගත කර ඇත.

ඒ අනුව ග්‍රාම රාජ්‍යය දකින්නේ ප්‍රාදේශීය, දිස්ත්‍රික්ක හා ජාතික මට්ටමේ දේශපාලන ආයතනවලින් සමන්විත වන ස්තර තුනකින් යුතු ව්‍යුහයකින් පළාත් සභා විස්ථාපනය කිරීමේ මඟක් ලෙසය. තවත් විකල්ප මතයකට අනුව එය පවතින පළාත් පාලන පද්ධතිය තුළ ජනතා සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ ක්‍රමයක් වේ. මෙය සිදු වන්නේ ගැමියා ඡන්දදායකයා ලෙසත්, ගම මූලික ඒකකය ලෙසත්, සලකන සෘජු මැතිවරණ ක්‍රමයක් මගිනි.

එනිසා වත්මන් මැතිවරණ ක්‍රමය හරහා පවත් වනු ලබන මෙම මැතිවරණය මෙම ක්‍රියාවලිය ශක්තිමත් ලෙස ක්‍රියාවට නැංවිය හැකි පාලන ව්‍යූහයක් ලෙස නැවත සකස් කිරීම රජයේ අරමුණ බවට පත් විය යුතුය. එමගින් අපේක්ෂිත ඉලක්ක සපුරාගෙන ගමට පළාත්පාලන ඒකකයට දිස්ත්‍රික්කයට අවසානයේ මුළුමහත් රටටම ප්‍රතිඵලදායී පරිපාලන ඒකකයක් බවට මෙම පළාත්පාලන ආයතන පත් කළ යුතුය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.