ගමේ හිටිය කන්ඩ බැරි ලෙඩා | සිළුමිණ

ගමේ හිටිය කන්ඩ බැරි ලෙඩා

අනේ. ඉතිං අපි පුංචි සංදියෙ ..අහල පහල ගෙදරක බවලතියක් හිටි ගමං අසනීප වුණා කියලා ආරංචි වෙනවා .ඒත් බේත් ගේන්ඩ යන්නෙත් නෑ හොදට ඇවිදිනව..නානවා වෙනද වගේම තමයි.ඒ වුණාට ගමේ අනිත් බවලතියො එයාට කියන්නෙ..ලෙඩා..දුකා ..කන්ඩ බැරුව ඒකිට දොළදුක් කියලා..

ඕ. ඉතින් එතැන් පටන් ගමේ කොයිම ගෙදරකින් වුණත් ..හීල් දානයක් .කයියක් මඟුලක්, .කොයියං සුබ කටයුත්තක් වෙනවද අමුතු කෑමක්.,වෑංජනක් හැදුවද ,ගෙදර උන්ට කලිං හොදට තවලා ගත්ත කෙහෙල් අතු අග්ගසක බැදගත්තු සුවඳ ගහන කෑම එකක් ගිහින් දෙන්නෙ බොහෝම තංතෝසෙන්. සමහර වෙලාවට නෙළුම් කොලත් බත් එකක් ඔතලා දෙනවා.ලෙඩත්..බොහෝම පිරිතියෙන් කන්ඩ බෑ කීවට අපුුරුවට කනවා.එව්වාගෙම තමා ගහක හැදෙන අඹ ගැට,වෙරළු, සියඹලා,ඇඹරැල්ලා,දෙහි, පේර ගෙඩියක් ඇත්නං අර ලෙඩාට ගෙහුං දෙනවා.හැබැයි...අන්නාසි, පැපොල්..එහෙම ඔය කාලෙට කන්ට දෙන්ට නාකයිලු.

කොහොමින් හරි එවුන්දැ බැරි අමාරුවෙන් ඉන්න කොට ගමේ ඉන්න වින්නඹු අම්මා ඒ ගෙවල් පැත්තෙ යනව එනවා.උන්දැ අර ලෙඩාගේ නාරි දේහෙ දිහෑ බලාන ඉඳලා යන එන ගමනින් ටක්කෙටම කියනවනෙ..ඉපදෙන්ඩ ඉන්න කෙනා ගැන.මෙහෙම.."උඹ බය නැතුව ඉදිං කෙල්ලෙ..පත්තිනි දෙයි හාමුදුරුවන් ගේ පිහිටෙන් මෙදා සැරේ .ඉන්නෙ.......කියලා

බුදු අම්මෝ... උන්දෑ දන්න ජාති.මට හිතුණා එහෙම. වින්නඹු අම්මට නමවත් ලියා ගන්ඩ බැරුව..ඇඟිලි අත්සම තිබ්බට .මොකද හප්පා .උන්දෑ දන්න ගාථා..මන්තර ස්වල්පයක් නෙවේ. ගමේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක රාජකාරිය අකුරටම කොරන්නෙ අනේ කිසිම ලාබ පොරෝජනයක් බලාගෙන එහෙම නෙවෙයි, කොරන්ඩ ඕනෙම යුතුකමක් විදියටයි .

උන්දැ කන්ඩ බැරි ලෙඩා ගැන ආරංචි වෙච්ච ගමන්..ඒ ගෙදරට ගෙහුං.නමෝ විත්තියෙන් කොරන්නෙ දෙහි කෑල්ලක අතුල්ලලා කහ වතුරෙන් හෝදලා ගත්තු කඹ සතයක් ඇරගෙන සුදු රෙදි පටියක තියාගෙන බුදු පාන ළගට ගෙහුං පන්සිල් ඇන්න දෙයියන්ට කන්නලව් කරලා .ඕන්න මෑණියොයි ලැබෙන්ඩ ඉන්න දරු පැටියයි බාර කොරලා පඩුර ගැට ගහනවා. ඔයින් මෙයින් කාල වකවානුව සම්පුර්ණ වෙලා දරුවා ලැබෙන වෙලාවට අහල පහල තලත්තෑනි බවලතියො කීප දෙනෙකුත් හවුල් කොර ගෙන වින්නඹු අම්ම ඒ රාජකාරිය කොරන්නෙ බොහෝම සතුටෙන් වාගේම හරියට දේවකාරිය වාගෙම ආඩම්බරයකින්.

එතැන් පටන් ඒ ගෙදරට යන එන උන්නෙන් අඩුවක් නෑ.එතකොට යන්නෙ ලෙඩා බලන්ඩ වඩා...දරුවා බලන්ඩයි. යනිං ගමන් සිිනි, තේ කොළ,බුලත්, පුවක්,ඕඩි කොලොං කුප්පියක්,මොට්ටු කුප්පියක්,සබන් කැටයක්,පියරු ටිං එකක්,කිරි පබළු ඇට ටිකකින් හදාපු වළලු දෙකකුයි ඉණට දාන්ඩ පබළු වැලකුයි ,ගවුං සූට් පොඩියක් වගේ දෙයක් තමන්ට පුළුවන් හැටියට ඇන්න යන්ඩ අමතක කොරන්නෙ නෑ.

ඉතිං එහෙම ගියාම යන හැම කෙනාට ම අර දරු පැටියා දෙනව වඩා ගන්ඩ.ඒ ගමන් ඕං පුතේ කිරි අම්මා,සුුටි නැන්දා ,උඩහ ගෙදර ලොකු අම්මා නැහ්නං මොකාක් හරි නෑදෑ කොමක් කියලා පුංචි එකාට අදුන්නලා දෙනවා .අනේ ඒ කිරි සප්පයා මොනවා දන්නවද.කවුරු වඩා ගත්තත් කිසිම ඇස්වහක් කටවහක් වදින් නෑ නොදරුවාට.මොකද මාපොට ඇඟිල්ලෙන් අස්සන තිබ්බැහෙ නළලෙන් එකයි නෙවැ මොට්ටුව.

අනික් කාරණාව තමා පුංචි එකාට මාස තුන ගතවෙන කල් කෙහෙවත් ගමන් බිමන් ඇරන් යන්නෙත් නෑ.එහේමත් දරුවකුට තමා කලාතුරකින් ඉස්පිරිතාලෙ ඇන්න යන ලෙඩක් හැදුනෙ.හැමදාම උදේට නාවලා හවසට ඇග හෝදලා කිරිටික දිිලා නිදි කොරපුවම අපුුරුවට දරුව ඉන්නවනෙ.මොකද වෙනිවැල් ගැට,රත්මල්,හදුන් වගෙ අවුසද ජාති දාලා උණු කොරලා ගන්න වතුර ඇල්මරලා ඇන්න තමයි.නාවන්නෙ.ඒකට ගන්නෙ හොදට සුද්ද කොර ගත්තු හිල් පොල් කට්ටක්.බොහොම සිිරුවට දරුවා නාවන්නෙ "මයෙ පුතාට රත්නත්තරේ පිහිටයි " කියලා.දරුවා ඔය විදියට ඇති දැඩි වෙන අතරෙ..ඕං තුන්මාසෙ ගෙවෙන කොට අර පත්තිනි දෙයියන්ට වෙච්ච බාරේ නිදහස් කරන්ඩ එපායැ.ඒකට දින නියම කොරගෙන කිරිඅම්මාවරුන්ට පණිවිඩේ යවනවා.ඒකෙ මුලිකයා වින්නඹු අම්මා.උන්දැත් පෙරටු කොරගෙන ගෙදර වැඩිහිටි බවලතියක් යනවා බුලත් දිිලා වැදලා කිරිඅම්මා දානෙට වඩින්ඩ ආරාධනා කොරන්ට.

ඔන්න ඊට පස්සේ කිරිඅම්මා දානෙට යොදා ගත්තු දිනේට ඉස්සර දවසෙ රෑ අහල පහළ බවලතියොන්ට අප්පරමාණ රාජකාරි.නින්දක් නෑ.ඇයි පාන්දර කිරි අම්මාවරු වඩිනකොට සේරෝම කටයුතු නිසියාකාරව කෙරිලා තියෙන්ඩ එපායැ.කිරි අම්මලා ඇවිත් සියලුුම සෙත් සාන්ති කොරලා මෑණියනුත් දරුවත් ආරස්සා කොරලා දුන්නට දෙවියන්ටත් පිං දිිලා.බාරෙ නිදහස් කොරලා දිපු කැවිලි පෙවිලිත් ඇන්න ආපහු පිටත් වෙලා යන්නෙත් සියලු දෙනාටම ආසිරිවාද කොරලා.

ඉතිං මෙි සියලු කටයුතු ඔලට අනේ වින්නඹු අම්මට දැන් කාලේ වගෙ මිලක් නියම කොරලා නෑ දෙන්ඩ මෙච්චරයි කියලා.ඒත් උන්දෑ බොහොම උජාරුවෙන් කියන්නේ "මෙි ගමෙි පරාණ කිියක්, මගෙ අත් දෙකෙන් ගොඩදාලා තියෙනවද " කියලා .ලබන සංතෝසෙ එයින් ලැබෙන පින සල්ලි කෝටියක් දුන්නත් ගන්ඩ බෑ .ඒ ඇරෙන්ට සිංහල අවුරුද්දට අමතක නොකර චීත්ත පස් රියනකුයි.හැට්ට රෙදි කෑල්ලකුයි පත්තර කොලේක ඔතාගෙන ගෙහුං බුලත් අතක් එක්ක දිිලා දණගහලා වැදලා එන්ඩ කෙලෙහි ගුණ සලකන එක නං අමතක කරන්නෙත් නෑ කිසිම කෙනෙක්.උන්දැට හරි නම්ඹුවක් ඒක.ඔය විදියටයි වින්නඹු අම්මා කාටත්..වුවමනා වගේම කාගෙත්

හොද හිත දිනා ගෙන ගමට වැඩකර ගෙන ජීවත් වුණේ .ඒ වගේම එදා ගමේ හැම කෙනෙක් ම සහයෝගයෙන් ,උදව් පදව් කරගෙන එකමුතුවෙලා ජිිවත් වුණේ.

 මැණිකේ එක්නැග්

වොෂින්ටන් (ඩිි.සි)

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.