ශාස්ත්‍රීය සංගී­ත­යට ඇලුම් කරන ඕස්ට්‍රේ­ලි­යාවේ වෙසෙන මහීෂ සහ ධනූෂ | Page 2 | සිළුමිණ

ශාස්ත්‍රීය සංගී­ත­යට ඇලුම් කරන ඕස්ට්‍රේ­ලි­යාවේ වෙසෙන මහීෂ සහ ධනූෂ

මෙරට වෙසෙන බොහෝ දෙනකුට අපේකම, ලාංකිකත්වය අමතකව යන කල විදේශයක ඉපිද විදේශයක ජීවත් වුවත් මාපිය උරුමයෙන් හිමි වූ ලාංකිකත්වය මෙන්ම මෙරට ශාස්ත්‍රීය, සුභාවිත සංගීතයට දැඩි සේ ඇලුම් කරන දරුවන් දෙදෙනෙක් ලෙස මහීෂ සහ ධනුෂ අයිය මලෝ හැඳින්විය හැකිය.

සිංගප්පූරුවේදී උපන් 18 හැවිරිදි මහීෂ ගමගේත්, 15 හැවිරිදි ධනුෂ ගමගේත් ජීවත් වනුයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේය.

ඕස්ට්‍රේලියාවට යන මෙරට කලාකරුවන්ගේ ප්‍රසංගවලදී නිතරම පාහේ සිය දක්ෂතා පෙන්නුම් කරන මේ දරුවන් දෙදෙනා සෑම විටම බොහෝ දෙනකුගේ ඇගැයීමට ලක්වේ. ඒ ලාංකේය පරිසරයෙන් පිටත ඉපදී, හැදී-වැඩෙමින් සිංහල බස හොඳින් හසුරුවමින් මෙරට සංගීතයට දක්වන ඇලුම්කම සේම හපන්කම් නිසාවෙනි.

තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය කටයුතු කරන ශාන්ත ගමගේ සහ ඉනෝකා ගමගේ යන අයගේ පුතුන් දෙදෙනා වන මහීෂ සහ ධනුෂ ඇතුළු සියලු දෙනා පසුගියදා ලංකාවට පැමිණි මොහොතේ අප කාර්යාලයට ද ගොඩ වැදුණේය. එහිදී මුලින්ම මහීෂ අප සමඟ කතාබහට එක්වූයේ මෙලෙසයි.

“ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයට මම හරිම ආසයි. ලැබෙන හැම අවස්ථාවේදීම සින්දු කීම, සංගීත භාණ්ඩ වාදනය තමයි මගේ විනෝදාංශය. මම මේ වන විට මගේම ගීත පහක් එළිදක්වා තියෙනවා. එහිදී මම, ‘මට මගේ නෑසියන්‘ කියන ගීතයට සුනිල් එදිරිසිංහ මහත්මයා සමඟ යුග ගායනයක් කරනවා. මෙවර ලංකාවේ සිටින කාලය තුළදී තවත් ගීත හතරක් එළිදක්වන්න සූදානම් වෙනවා. අපිට ඕස්ට්‍රේලියාවට එන ලංකාවේ සෑම ගායක ගායිකාවකගේම වගේ ප්‍රසංගවලට ගායනයෙන් වාදනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.“

මහීෂගේ ගීතවලට සංගීතයෙන්, පද රචනයෙන් දායක වී තිබෙන්නේ ද මෙරට සිටින ඉහළම ගණයේ විශිෂ්ට ශිල්පීන් පිරිසකි. රෝහණ වීරසිංහ, තරුපති මුණසිංහ, චන්ද්‍රදාස බෝගොඩ වැන්නන් සංගීතයෙන්ද පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, සුනිල් සරත් පෙරේරා, කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රී විජේසිංහ වැනි ප්‍රවීණයන්ගේ පද රචනාවන් මුමුණන්නට ද මහීෂට වාසනාව ලැබී තිබේ. මහීෂගේ අඩි පාරේ යන ධනුෂත් ගායනය, වාදනයට අයියා සේම දක්ෂයෙකි. ඒ ගැන ධනුෂ කියන්නෙ,

“අයියා නිසයි මටත් සංගීතය ගැන ආසාවක් ඇතිවුණේ. මමත් මේ වන විට මගේම ගීත දෙකක් එළිදක්වා තියෙනවා. මම ගොඩාක් ආසා වයලින් සහ කී බෝඩ් වාදනයටයි.“

ඔවුන් දෙදෙනා පිටරටක ඉපදී පිටරටක විසූවත් සිංහල බස හසුරුවන අයුරු හරිම අපූරුය. ඔවුන් දෙදෙනාගේ මේ සාර්ථක ගමන් මාර්ගවල ලොකුම ශක්තිය මවුපියන් බව පවසන මහීෂ සහ ධනුෂගෙන් පසු මා හැරුණේ ඔවුනගේ පියා ශාන්ත මහත්මා දෙසටයි.

“ඇත්තටම මේ දෙන්නා චූටි කාලේ ඉඳන්ම පුදුම ආසාවක් දක්වන්නෙ අපේ රටේ සුභාවිත, ශාස්ත්‍රීය ගීතවලට. ඒක කොහොම වුණාද කියලා මට හිතාගන්න බෑ. දෙන්නම චූටි කාලේ ඉඳලම රූපවාහිනියේ සින්දුවක්, සංගීත වැඩසටහනක් දැක්කොත් ඉබේම නටනවා. පස්සෙ මම හිතුවා ඒ දිනවල මෙල්බන්වල සිටි තරුපති මහත්මයා ළඟට යොමු කරනවා කියලා සංගීතය ඉගෙන ගන්න. එතුමා ළඟට අරගෙන යනකොට ලොකු පුතාට අවුරුදු 8යි. තරුපති මහතාගෙන් රාගධාරී සංගීතයයි දෙන්නා ඉගෙන ගත්තෙ. සාමාන්‍යයෙන් මගේ පොඩි පුතා ධනුෂට ඕනෑම ගීතයක් එක් වරක් ඇසූ විට වයලින් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ධනුෂට හොඳ හැකියාවක් තියෙනවා වයලින් සහ කී බෝඩ් වාදනයට.

අපේ රටේ සිටි විශිෂ්ට වයලින් වාදකයෙක් වන ඩී. ඩී. ගුණසේන මහත්මා වර්තමානයේ සිටින්නෙ මෙල්බන්වල. මම එතුමා ළඟට යොමු කළා මගේ දරුවෝ දෙන්නා වයලින් ඉගෙන ගන්න. ඒ වගේම අදටත් තරුපති මහත්මයා ලංකාවේ වාසය කළත් මේ දෙන්නට ස්කයිප් මඟින් ගුරුහරුකම් දෙමින් දැනුම ලබා දෙනවා.

දක්ෂතාව සහ උනන්දුව නිසාම ඉහළ දක්ෂතා පෙන්වන මහීෂ සහ ධනුෂට මෙල්බන්වල තිබෙන සෑම සිංහල ගීත ප්‍රසංගයකටම පාහේ ආරාධනා ලැබේ.

“ මෙරට කලාකරුවෙක් මෙල්බන්වල ප්‍රසංගයක් පැවැත්වුවහොත් දරුවෝ දෙන්නට ගීත ගයන්න බොහෝ විට අවස්ථාව ලැබෙනවා. ලංකාවෙන් පිටත ලාංකිකයන් වැඩිම පිරිසක් වාසය කරන්නෙ මෙල්බන්වල. වර්තමානයේ ඒ දෙන්නාගේ හැකියාවන් ගැන බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඇත්තටම මේ දෙන්නගේ වාසනාවට තමයි ඩී. ඩී ගුණසේන මහත්මා වැනි මෙරට පහළ වූ විශිෂ්ට ගණයේ වයලින් වාදකයෙක් හමුවුණේ.

2016 වසරේදී මෙල්බන්හි පැවැති Serendib Award සම්මාන උලෙළේදී Young Entertainer of the Year අනුශූරයා ද වූ මහීෂ විනෝදාංශයක් ලෙස සංගීතයට යොමු වූවත් සංගීත කටයුතුවල නියැළෙන අතරෙහිම වෘත්තියක් ලෙස වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට අදහස් කරමින් සිටී. ඒ සඳහා ඔහු මේ වර්ෂයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටී.

කෙසේ වුවත් මහීෂ සහ ධනුෂ දෙදෙනා සංගීතයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ද දක්වනුයේ උපන් හපන්කමක් බව ශාන්ත ගමගේ පවසා සිටින්නේය. ඒ ගැන මහීෂගේ පියා මෙසේ කීවේය.

“ලොකු පුතා මහීෂ මේ වන විට මෙල්බන් ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කරනවා. ඔහු මෙල්බන් ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ සංචාරය කර තිබෙනවා.

මහීෂ සහ ධනුෂ අවසාන වශයෙන් පවසා සිටියේ, සංගීතයෙන් ඉදිරියට යෑමට දිරිය දුන් සියලු දෙනාව ගෞරව පූර්වකව සිහිපත් කරන බවයි. 

Comments