සුදහ ගින්න නිවා­ගන්ට මස්කුඩු සම්බෝ­ලයි ඉරුං තැම්බු­මයි | සිළුමිණ

සුදහ ගින්න නිවා­ගන්ට මස්කුඩු සම්බෝ­ලයි ඉරුං තැම්බු­මයි

බින්තැන්නේ  ඇත්තන්ගේ කතා­බහ

ඉරුං ඇට තැම්බුම ද බින්තැන්නේ ඇත්තන්ගේ අහරකි. දියේ දමා පොඟවාගත් ඉරුං ඇට වගේ ලා දෙමෝලෙන් කොටා කුල්ලෙන් තූකර පිට පොත්ත ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන්නේ පාහින ලද ඉරුං ඇට ය. මේවායේ තද ගතියෙන් යුතු පොත්ත ඉවත් වී ඇත. කලින් සඳහන් කළ පරිදි කුල්ලෙන් කූ කර ගැනීමේදී කුල්ලේ ඉස්සරහට එන රැල් පිටි ඉරුං පිටි සඳහා වෙන්කර ගන්නා අතර, කුල්ලේ මැදට වෙන්ට ඇති හාට ගෙඩි තරම් වූ හෙවත් හාල් ඇට තරම් ඉරුං කැබලි ඉරුං බත් පිසීමට ගන්නා අතර කුල්ලේ මුල්ලට එක්වෙන ඉරුං මොළොක් හෙවත් ලොකු ඉරුං කැබලි වෙන්කර ඉරුං තැම්බුමට ගනියි.‍

තලප, පිරුම්, රොටී මෙන් ම ඉරුං තැම්බුම ද බින්තැන්නේ ඇත්තන්ගේ සා ගින්දර හෙවත් සුදහ ගින්න නිවා ගන්ට මකරෙට තිරිම්බන ආහාරයකි. කෙටු ඉරුං ඇට තැම්බෙන්ට බොහෝ වෙලාවක් ගත වෙයි. කලින් දින දියේ ලා ගත් ඉරුං පෙති ළිප තබා මඳ වේලාවකින් ලී මෑ ඇට, කව්පි, හෝ මෑ ඇට වැනි දෙයක් ද ඊට මුසු කර තම්බා කෑමට ගැනීම බින්තැන්නේ සිරිතකි. පැටා බැටුන් ඉරුං තැම්බුමට තැකය. සාගින්දර, සුදහ ගින්න කියන්නේ බඩ ගින්නටය, කුස ගින්නට ය. මකරෙ යනු බඩ ය. මකරෙට හිරිම්බවනවා කියන්නේ බඩට කෑම ය. බින්තැන්නේ ඇත්තන් උදරය හෙවත් ‘බඩ’ මකරයට උපමා කරන්නේ බඩට කොතරම් කෑවත් තවත් ටික වේලාවකින් නැවතත් බඩ ගිනි වෙන නිසා වෙනි. බඩට ද මකරෙට මෙන් ම ඇතිවීමක් පිරීමක් ඇති නොවෙන බැවින් මකරේ යැයි බඩට නම් කිරීමත් ආහාර බුදීම හිරිම්බීම යනුවෙන් වැහැරීමට බින්තැන්නේ වැසියෝ පුරුදුව සිටිති. කූතයි යනු කෑදරකම ය.

මස්කුඩු සම්බෝලය

මස්කුඩු සම්බෝලයක් හෝ ලුණු කුඩුත් සමඟ ඉරුං තැම්බුම කෑමට ගනියි‍. මස්කුඩු සම්බෝලය හදන්නේ වියළි දඩමස් වනේලා කොච්චි මිරිස්, ලුණු මිශ්‍ර කර දෙහි යුෂ කලවන් කර ගැනීමෙනි. මේ ආහාරය ඉතා රුචිකර වුව ද බර ආහාරයකි. එහෙත් හේන් කෙටීම වැනි කය වෙහෙසා වැඩ කරන බින්තැන්නේ ඇත්තනට මෙය කදිමට ගැළපේ. ඉරුං ඇට තැම්බුමට එක් කෙරූ මෑ ඇට වර්ග නිසාත්, මස්කුඩු සම්බෝලය නිසාත් මෙය සමබල අහරක් බවට පත්වෙයි.

තේ කහට

ඉරුං ඇට තම්බා කෑමෙන් පසු ඇතැමෙක් තේ වතුරු පස්සාගෙන බොති. පාස්සනවා කියන්නේ වතුරු උතුරුවා ගැනීමට ය. වතුරට වතුරු කියා බහු වචන ස්වරූප ගන්වා ඇති බින්තැන්නේ ඇත්තන් ‘අඩ දියතත්තේ හින්දා මයෙ බොටුව කරවිලා...’

මයි වගුරු හැළිය ඕ ගාලා මොල්ලි දාන එකේ කහට කුඩු දාලා කහට පෙතක් පෙරං ගාප! යැයි කියන්නේ මගේ උගුර කට වේළිලා දිය තිබහයි. ඔය වතුරු හැළියේ වතුරු බුබුළු දමමින් උතුරනවා. තේ කුඩු ටිකක් දමා තේ වතුර ටිකක් වත්කරලා දියත්... යැයි කීමට ය.

බින්තැන්නේ ඇත්තන් තේ වත්කරන්නේ වතුරු පාස්සාගෙන ය. ගෙදර ඉන්න අයට ඇති වෙන්ට ළිපේ තබන වතුරු හැළිය බුබුළු දමමින් උතුරණ විට තේ කුඩු දමා ළිපෙන් බාගෙන ඇල් දිය ටිකක් අතට ගෙ උතුරණ වතුරට ඉගියි. එවිට තේ කොළ ටික හෙමින් හෙමින් හැළියේ පතුළට බා වෙයි. ටික වේලාවකදී තේ කුඩු සියල්ලම මුට්ටියේ යටටම පාත්වී කහට වතුර පැහැදිලිව දක්නට ලැබෙයි.

එම අවස්ථාවේදී තේ මුට්ටිය ඇලන්තේමින් වෙනත් භාජනයකට කහට වතුරු හෙවත් තේ වතුරු ටික හෙමින් වත්කර ගනියි. මෙය තේ පෙරා ගැනීම ය‍. තේ පෙරීම සඳහා තේ ගොටුවක් හෝ තේ පෙරණයක් භාවිත නොකර, ළිප තබන වතුරු මුට්ටියටම තේ කුඩු දමා තේ පාස්සා ගැනීමේ සරල ක්‍රමය වියලි කලාපයේ හේන් ගොවියන් මෙන් ම උතුරු මැද පළාතේ ද පවතින බව දක්නට ඇත.

උතුරණ වතුරු හැළියට තේ කුඩු දැමීමෙන් පසු ඇල් දිය ටිකක් අතට ගෙන ඉසීමෙන් හැළියෙන් පිටතට වතුරු උතුරා යාම වළකින අතර, තැම්බුණු තේ කොළ ද හැළියේ පතුලට බාවෙයි හෙවත් පාත් වෙයි. තේ කුඩු වලට කහට කුඩු කියන ඔවුන් කහට පෙතක් කියන්නේ තේ ටිකක් ය. 

  සඳ­රු­වන් ලොකුගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.