බටහිර රටවල ආශ්චර්යය මුරුංගා | සිළුමිණ

බටහිර රටවල ආශ්චර්යය මුරුංගා

වර්තමානයේ බටහිර රටවල් ආශ්චර්යවත් වෘක්ෂය (Miracle tree) ලෙස හඳුන්වනු ලබන මුරුංගා (Moringa oleifera) මෙරට සුලභව දැකිය හැකි ශාකයකි. නූතන පර්යේෂණවලට අනුව මුරුංගා අත්‍යවශ්‍ය පෝෂක සංඝටකවලින් හෙබි ඖෂධීය වටිනාකමකින් යුක්ත වූවකි.මුරුංගා ආශ්‍රිත මෙරටටම ආවේණික සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුද විවිධ ප්‍රදේශයන්හී දක්නට ලැබේ.

මුරුංගා සුලභව දැකිය හැකි පානම ප්‍රදේශයේ සාම්ප්‍රදායිකව විවිධ ක්‍රමවලට මුරුංගා පිසිනු දැකිය හැකිය. මුරුංගා මිරිසට පිසීම එක් ක්‍රමයකි. එහිදී මුරුංගා කපා එය පොල් තෙලෙන් හොඳින් තම්බා ගනියි.පසුව එයට මිරිස් තුනපහ, ලුණු, කරපිංචා ආදී සියල්ලම එක් කර හොඳින් මිශ්‍ර කර පොල් කිරි සෑහෙන පමණ යොදා කකුළුවන් හෝ ඉස්සන් සමඟ හොදි සි‍ෙඳන තෙක් පිස ගනියි.

මුරුංගා ව්‍යාංජනයක් ලෙස මෙලෙසද සැකසිය හැකිය.එහිදී කපා ගත් මුරුංගා ජලයෙන් තම්බා එම ජලය පෙරා ඉවත් කර දැමීම සිදුවේ. පසුව වියළි මිරිස් කරල් ,කහ ,පොල්, රතු ලූණු සෑහෙන පමණ ගෙන එය ගලේ අඹරා ගැනේ. මෙම ඇඹරුම හා ලුණු ,කරපිංචා ආදිය සමඟ තැම්බූ මුරුංගා මිශ්‍ර කරයි.පසුව සිහින්ව ලියන ලද අමු අඹ හෝ සියඹලා ස්වල්පයක් එක් කර පිස ගනියි.

නොමේරූ මුරුංගා කරල් බෝංචි කරල් මෙන් කැඩීමට හැකිය . එවන් නොමේරූ මුරුංගා කරල් දිග කැබලි වලට කඩා ගනු ලබයි. පළමුව එය හොඳින් සෝදා මිටි කිරෙන් තම්බා ගැනේ. පසුව තුනපහ ,මිරිස් ,ලුණු ආදිය සෑහෙන පමණ එක් කර දිය කිරෙන් පිස ගැනේ. පසුව දෙහි ඇඹුල් ස්වල්පයක් හා උම්බලකඩ සෑහෙන පමණ එක් කිරීමෙන් එය වඩාත් රසවත් කර ගත හැකිය. මුරුංගා මැල්ලුම තවත් රසවත් ආහාරයකි.එහිදී මුරුංගා කපා පලු කර එහි මදය තේ හැන්දෙන් සූරා ගත යුතුය.මෙහිදී මුරුංගා ඇට සමඟ හෝ ඇට ඉවත් කර හෝ මදය සූරා ගැනීම කළ හැකිය.

සූර­ාගත් මුරුංගා මද ජලයෙන් සෝදා පෙරා ගනියි. ලියා ගත් අමුමිරිස් හා රතු ලූනුු , උම්බලකඩ, ලුණු සෑහෙන පමණ ගෙන මුරුංගා මද සමඟ අනා මිශ්‍ර කර ගැනේ. ඉන්පසු ජලය ස්වල්පයක් එක් කර මෙම මිශ්‍රණය තම්බා එයට පොල් හා කහ කුඩු සෑහෙන පමණ එක් කර මලවා ගනියි.මෙය කූනිස්සන් සමඟ තෙම්පරාදු කර රසය වැඩි කරගත හැකිය. ඉතාමත් ළපටි මුරුංගා කරල් සහ මුරුංගා මල්ද සෝදා තම්බා දිය මිරිකා හැර මුරුංගා මැල්ලුම පිළියෙල කරගන්නා ආකාරයටම පිස ගැනීමද සිදු කළ මුරුංගා පාණු හොද්ද රසවත් මෙන්ම පෝෂ්‍යදායි ආහාරයකි. කැබලිවලට කපා ගත් මුරුංගා කරල් , පුලුස්සා ගත් වියළි මිරිස් ආදිය මිශ්‍ර කර එය හීනටි හාල් සේදු වතුරෙන් හොද්දක් ලෙස පිස ගනියි. මෙයට කරවල කැබලි කිහිපයක් හා සියඹලා හෝ අමු අඹ කැබලි කිහිපයක් එක් කරගන්නේ නම් එහි රසය තවත් වැඩි වේ.

මුරුංගා කොළ මැල්ලුම පිස ගැනීමේදී ලියා ගත් රතු ලූනු ,කොච්චි හා සෑහෙන පමණ ලුණු වතුර ,ජලය ස්වල්පයක් හා එක් කර එය නටන තෙක් රත්කර ගනු ලැබේ. එවිට ඊට සිහින්ව ලියා ගත් මුරුංගා කොළ හා පොල් දමා හොඳින් මලවා ගැනීම සිදු කරයි.

තවද මේරු මුරුංගා කොළ ගැඹුරු තෙලේ බැද ගත් පසු එය රසවත් ආහාරයකි.මේ සමඟ වියළි මිරිස් කරල් ,ලියන ලද ලොකු ලූණු හා වැව් මාළු තෙලෙන් බැඳ ආහාරයට ගත හැකිය.

මෙවන් සාම්ප්‍රදායික ආහාර සමාජගත කරන්නේ නම් වර්තමානයේ පවතින ඒකාකාරී ආහාර රටාවෙන් මිදි රසවත් මෙන්ම වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට හුරු විය හැකිය. එය මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහාද බෙහෙවින් ඉවහල් වේ. .එමෙන්ම සංචාරක හෝටල් හරහා මෙම ආහාර සඳහා විදෙස් සංචාරක ආකර්ෂණයද ලබා ගත හැකිය.

 උමයංගනා පූජනී ගුණසේකර

 

 

Comments