නට­මින් ගොයම් කැපීම හා ගොයම් කප­මින් නැටීම | සිළුමිණ

නට­මින් ගොයම් කැපීම හා ගොයම් කප­මින් නැටීම

‘ඇයි නාට්‍ය කරන්නේ’ කියා ඇතැම් විට මම මගෙන් ම විමසමි. ගමේ ජීවත්වන කාලයේ මම ඇත්තටම ගොවිතැන් කටයුතුවලින් ද කලාවෙන් තරම් ම සතුටක් ලැබුවෙමි. මිනිස්සු කලාව කරන්නේ ඉන් වින්දනයක් අපේක්ෂාවෙනි. ගොවිතැන ද එසේ ම ය.

එදවස නම් කෙත හා වේදිකාව අතර එතරම් වෙනසක් දකින්නට නොලැබිණි. අද වේදිකාවේ දක්නට ලැබෙන නැටුම් ගැයුම් බොහොමයක් එදා කෙතේ දී නැතිනම් කුඹුරේ දී දකින්නටත් අසන්නටත් ලැබිණි.

අප පුංචි කාලය වන විටත් කවි කියමින් ගොයම් කැපීම අතුරුදහන් වෙමින් පැවතිණි. මට එවැන්නක් දකින්නට ලැබුණේ ජීවිතේ එක් වරක් ම පමණි.

ඇත්තටම ගොයම් කැපීමේ දී සිදුවන්නේ නිකම් ම කවි කීම පමණක් නොවේ කවි කියමින් අඩව්වක් ද අල්ලමින් ගොයම කැපීම සිදුවේ. මට ඒ අවස්ථාවේ එය ඇදහීමට නොහැකි තරම් ලස්සන විය. එනම් එය ගොයම් කැපීම නමැති නිෂ්පාදන ක්‍රියාවලිය ද සමඟ සිදුවන නාට්‍යයක් විය.

අද බොහෝ විට කලාව නාට්‍යය සමඟ සිදුවන්නේ සිතිවිලි හා වින්දන ක්‍රියාවලියක් පමණි.

එදවස නාට්‍යය නැටුම් කවි සමඟ නිෂ්පාදන ක්‍රියාවලියක් ද සිදුවිය. එය එක්තරා අන්දමකට ආශ්චර්යයකි. කෙටියෙන් කියන්නේ නම් නැටුමත් සමඟ ම ගොයම් කැපීම ද සිදුවේ. නැතිනම් ගොයම් කැපීම සමඟ නැටුමත් සිදුවේ. මේ ගැන සිත තබාගැනීම වැදගත්ය. එනම් ජීවිතයේ සෑම අවස්ථාවක් ම වින්දනීය හා අර්ථවත් මොහොතක් බවට පත්කරගැනීමයි. එය ජීවිතයට හොඳ පාඩමකි.

ඉගෙනගන්නා කාලයේ ගමේ ඉන්නා කාලයේ ගොයම් කවි කියමින් ගොයම් කැපීමට නොදැන සිටිය ද ගොයම් කැපීමෙන් හා කුඹුරු වැඩ මඟින් යම් සෞන්දර්යාත්මක වින්දනයක් ද ලැබූවෙමු.

උස් කඳු මුදුනක වාඩි වී සොබා සෞන්දර්යය විඳීමට වඩා සොබා සෞන්දර්යය සමඟ එක්වීමක් මහ අව්වේ වෙලේ වැඩ කරද්දී සිදුවෙතැයි මට සිතේ.

වරින් වර මඳනල හමා යන්නේ වැඩ කිරීමට ආශීර්වාද කරන්නාක් මෙනි. තද අව්ව ඇතැම්විට කටුක වුව ද තද සීතලයේ මෙන් ම තද අව්වේ ද කිව නොහැකි ආකාරයේ යම් සතුටක් තිබිණි. කෙසේ හෝ තාපසයෙක් නොවන්නේ නම් සොබා සෞන්දර්යය සමඟ එක්විය හැකි හොඳම ක්‍රමය ගොවිතැන බව කිව හැකිය.

එහෙත් අද නගරයේ ජීවත්වන මට ගොවිතැන් කිරීමට අවස්ථාවක් නැත. පර්චස් දහයේ එතරම් ඉ‍ඩක් ද නැත. නාගරික ඇතැම් ගෙවතු වගා ගොවියන් පර්චස් දහයට වඩා කුඩා ඉඩ තුළ වුව ද සාර්ථකව ගොවිතැන් කරන ආකාරය මම දැක ඇත්තෙමි. එහෙත් අවසනාවකට මට එතරම් හැකියාවක් නැත.

ගමේ සිටිද්දි නිදහසේ කෙතේ හා වත්ත පිටියේ ගොවිතැන් වැඩකටයුතු කළ මට පර්චස් දහයේ ගොවිතැන එතරම් හුරු නැත. මා නාට්‍යවලට මෙතරම් මහන්සි ‍වන්නේ ඒ නිසාය. කෙතේ කමතේ සෞන්දර්යය උදෙසා දැඟලූ දැඟලිල්ල අද නගරයේ සිටින මා කරන්නේ නාට්‍ය වේදිකාව තුළය. එය ගමේ ගොවිතැන තරම් ම අර්ථවත් යැයි කීම ද ඇතැම් විටක අපහසුය. එහෙත් දැනට මට වෙනත් කළ හැකි දෙයක් නැත.

උදයසිරි 

අදහස්