සරත් හෙට්ටිආරච්චි පියතුමාගෙන් ග්‍රන්ථ හතරක්... | Page 2 | සිළුමිණ

සරත් හෙට්ටිආරච්චි පියතුමාගෙන් ග්‍රන්ථ හතරක්...

Multiple Myeloma නැමැති සුව කළ නොහැකි පිළිකා තත්ත්වයෙන් පසුවන දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා 2017 නත්තල වෙනුවෙන් ග්‍රන්ථ 4 ක් ශ්‍රී ලාංකේය පාඨකයන්ට හඳුන්වා දුන්නේ ය. පසුගිය කාලයේ පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ ‘පන්සිය පනස් ජාතක පොත සහ ගැටුම් නිරාකරණය‘ ග්‍රන්ථයේ පළමු මුද්‍රණයේ පිටපත් සියල්ල සම්පූර්ණයෙන් ම අලෙවි වූ අතර එහි දෙවැනි මුද්‍රණය මේ වන විට ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නැවත වතාවක් මුද්‍රණය කර ඇත. මීට අමතරව පර්යේෂණ ග්‍රන්ථයක් වූ ‘පුරාණ ආගම්, ජනප්‍රිය බුද්ධාගම සහ ශ්‍රී ලංකාවේ කිතුනු ආගම්‘ යන සමාජ විද්‍යාත්මක ග්‍රන්ථය නව ආරකින් යුතුව මුද්‍රණය විණි. එය ද ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් දෙසැම්බර් මස 25 වන දා, ශ්‍රී අමරපුර මහා සංඝසභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය, සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ පරිවෙණාධිපති මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානයේ සභාපති, සාහිත්‍ය චක්‍රවර්ති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපාණන්ට නත්තල වෙනුවෙන් පිළිගැන්වුණි.

මේ හැරුණුවිට සරත් හෙට්ටිආරච්චි පියතුමා තම ශිෂ්‍යාව වූ ද්විත්ව ශාස්ත්‍රපති ඉන්දිකා සංජීවනී ප්‍රනාන්දු මෙනෙවිය හා සමඟ එක්ව රචනා කළ ‘ජාතක පොතෙන් හා බයිබලයෙන් මතුවන ළමා කථා‘ ග්‍රන්ථය යොවුන් වියට පා තබන ගැටවර වයසේ සිටින යෞවන යෞවනියන් වෙනුවෙන්ම රචනා කර නව සංස්කරණයක් ලෙස එළිදැක්වීමට සූදානම් වෙයි.

‘නොහඳුනන ගැහැනිය‘ කෘතිය ද නව සංස්කරණ සහිත සමාජ විද්‍යාත්මක පර්යේෂණයකි. ඒ කෘතිය සිරගතවූ කතුන් පිළිබඳ ව කළ සිද්ධි අධ්‍යනයකි. බන්ධනාගාර කාන්තා අංශයේ රැඳවුම්කාරියන් සිරගතවීමට බලපෑ සමාජ, ආර්ථික හේතු කවරේද? යහපත් ලෙස ජීවත් වූ ඔවුන්ව මේ තත්ත්වයට ඇද දැමූ ඔවුන්ව ගොදුරු බවට පත්කර ගත්තේ කවරහුද? ඒ සඳහා බලපෑ සාධක මොනවාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ. ඉන්දිකා ප්‍රනාන්දු මෙනවියගේ සම කර්තෘත්වයද සහිතව මෙම ග්‍රන්ථය දැනට නිම වෙමින් පවතියි. මේ සියල්ල පිළිබඳ ව සාකච්ඡා කෙරෙන අතර ලෝකයේ විවිධ රටවල සිරගෙවල් හා ඒවාට ආවේණිකවූ පාලන ක්‍රම යහපත් හා අයහපත් ලක්ෂණ මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ. විශේෂයෙන් ම සිරගෙවල් පිළිබඳ ව අධ්‍යයනය කරන සියලු පාඨකයන්ට මෙය ඉතා වැදගත් කෘතියක් ලෙසටද හඳුන්වා දිය හැකිය.

ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සන්ධානය සහ ජාතික හා ආගමික සමගිය සඳහා වන ළමා පදනම මෙතෙක් ශ්‍රී ලාංකේය ජන සමාජයේ යහපත උදෙසා විශේෂයෙන්ම ජනවා‍ර්ගික හා ආගමික මිත්‍රත්වය වර්ධනය කිරීම උදෙසා කිසිදා විදේශයක හෝ අන්තර්ජාතික සංවිධානයක ආධාර නොලබා කළා වූ සේවය කොතෙක්ද යන්න මෙහිදී පාඨකයන්ට අවබෝධයක් ලැබේ. හුදෙක්ම NGO සංස්කෘතියෙන් මිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා, හින්දු කුරුක්කල්වරු, ඉස්ලාම් පූජකවරු හා කිතුනු පූජකවරු කළාවූ මහඟු කාර්ය භාරය මෙහිදී මොනවට සකස්කර ඇත.

විශේෂයෙන්ම මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ මහා සංඝරත්නයත් සරත් හෙට්ටිආරච්චි පියතුමා ඇතුළු පූජ්‍ය පක්ෂයත් කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. මූලස්ථානයේත්, මලාවි, යාපනය විශ්වවිද්‍යාලය, මඩු වැනි ස්ථානවල කළා වූ සුවිශේෂී ඓතිහාසික සාකච්ඡා ඇතුළත්වන මේ කෘතියේ එ් සඳහා ගුවනින්, මුහුදෙන් හා ගොඩබිම යුද්ධ ටැංකි ඇසුරු කරගෙන ගියාවූ බිහිසුණු ගමන්ද සඳහන් කර ඇත. මෙම ඓතිහාසික ග්‍රන්ථය සරත් හෙට්ටිආරච්චි පියතුමා නම් කර ඇත්තේ “වජිර හාමුදුරුවොයි මමයි” යනුවෙනි.

අප කවුරුත් හඳුනන ජාතික සහ ආගමික මිත්‍රත්වය සඳහා සුවිශාල සේවාවක් කළ විද්වතෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විෂය වෙනුවෙන් දර්ශනපති (M. Phil) උපාධිය ලබාගත් උන්වහන්සේ එම විශ්වවිද්‍යාලයෙන්ම සමාජීය විද්‍යාපති (Mssc) උපාධිය ලබාගත්තේය. එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශස්ත්‍රවේදි (B.A) ඉන්දියාවේ සෙරැම්පෝ විශ්වවිද්‍යාලයෙන් දේවධර්මවේදී උපාධියත් ලබා ඇත. 2011 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පූජකතුමාට ලැබෙන අග්‍රාමාත්‍ය සම්මානය ලැබූ එකම කිතුනු පූජකතුමාද එතුමාය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීණ රූපවාහිනි සේවය, ලක්හඬ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ලේක් හවුස් පුවත්පත්වල කිතුනු උපදේශකයෙකු ලෙස සේවා කළ එතුමා ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානු මණ්ඩලයේ සන්නිවේදන ඒකකයේ විධායක ලේකම් ලෙසත්, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ජනාධිපති උපදේශකවරයෙකු ලෙසත්, ජනාධිපති කාර්යාලයේ කිතුනු ආගමික කටයුතු අශයේ අංශ ප්‍රධානී ලෙසත් දීර්ඝ කාලයක් සේවා කළේය. නමුත් එතුමා ජනතා සුභ සිද්ධියට කැපවූවා මිසක තමන් පිළිබඳව සිතන්නට කාලය ගත නොකළේය. ඒ නිසාම එතුමා සෞඛ්‍ය අතින් පිරිහෙන්නට විය.

ග්‍රන්ථ 4 ක් එක් කතුවරයෙකු එක්වර රචනා කිරීම එක පැත්තකින් සුවිශේෂී කටයුත්තකි. නමුත් එකවර ග්‍රන්ථ හතරක් රචනා කළ තර්තෘවරු අප ඉතිහාසයේ තුළ නැත්තේ නොවේ. නමුත් මෙහි සුවිශේෂීත්වය නම් දරුණු රුධිර පිළිකාවකින් පෙළෙද්දීම විටෙක රෝහල්වලත් විටෙක තම නිවසේත් ප්‍රතිකාර ලබන අතර වාරයේ මේ ග්‍රන්ථ රචනා කිරීමයි. ඒ තරම් මානසික සහ අධ්‍යාත්මික ශක්තියක් එතුමාට තිබීම අප සැමට සපයන්නේ මහඟු ආදර්ශයකි. තවද ප්‍රතිකාර සඳහා වැයවන ලක්ෂ ගණනක මුදලට කුඩා හෝ ආධාරයක් සපයා ගැනීම මෙහි අනෙක් අරමුණ වේ. ගොඩගේ ප්‍රකාශනයක් ලෙස දොරට වැඩි මේ ග්‍රන්ථ මිලදී ගැනීම සඳහා හෝ සරත් පියතුමාගේ ප්‍රතිකාර සඳහා උපකාර කිරීමට කැමති කෙනෙකු වෙතොත් 071-8220910 අංකයට ඇමතීමට කාරුණිකවන මෙන් ඉල්ලා සිටියි. එතුමාගේ ප්‍රතිකාර සඳහා වන විශේෂ ගිණුම් අංකය 082000228733078 යන සෙලාන් බැංකුවේ බොරැල්ල ශාඛාවේ පවත්වාගෙන යන අතර කැමති අයෙකුට ඒ සඳහා දායකවීමට හැකි බව මහත් කරුණාවෙන් මතක් කරමු.

Comments