රජයෙන් තරුණයන්ට 75%ක පොලී සහන | සිළුමිණ

රජයෙන් තරුණයන්ට 75%ක පොලී සහන

 තරුණ ව්‍යවසායකයින් සදහා යෝජනා ක්‍රම 15ක් යටතේ රුපියල් මිලියන 60,000 ක මූල්‍යාධාර පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ වී තිබේ.එහිදී තරුණයන්ට කාන්තාවන්ට සහ විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට ස්වකීය ව්‍යාපාර ඇරඹීමට සියයට 75% ක පොලී සහනයක් රජයෙන් හිමිවෙයි.

මේ අනුව ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මාසයේදී අරඹන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යාවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

මෙම වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබා දෙයි. මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එම පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර තිබේ.

අපනයනය ඉලක්ක කරගෙන ආර්ථිකය පුළුල් කිරීම තුළින් නව රැකියා බිහිකිරීමේ රජයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු බැංකුවල සහාය අපේක්ෂා කරන බව ඇමතිවරයා සදහන් කළේය.

ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වයද ලබාගැනීමේ අරමුණින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහනට එක්වන කාන්තාවන්ට ණය ලබාදීමේදී 75% ක පොලී සහනයට අමතරව තවත් 10% ක අතිරික්ත පොලී සහනයක්ද, විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන්හට 15% ක අතිරික්ත පොලී සහනයක්ද රජය විසින් භාණ්ඩාගාර ඇපකර සමගින් ලබාදීමට තීරණය කර තිබේ.

කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි, අවම වශයෙන් කොටස්කරුවන් 10 දෙනෙකුගෙන් සමන්විතව එක් කොටස්කරුවෙකුගෙන් රු. 10,000 ක අවම ප්‍රාග්ධනය සමඟ ආරම්භ කරනු ලබන සමාගම් වලට මූල්‍ය නොවන තාක්ෂණික පහසුකම්ද රජය විසින් ලබාදෙනු ලැබේ. එවන් සමාගම්වලින් කල්බදු ක්‍රමයට ලබාගනු ලබන යන්ත්‍රසූත්‍රවල කල්බදු පිරිවැයෙන් 75% ක් රජය විසින් දරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය ඇපකරයද භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත නිකුත් කරනු ලැබේ.

රැකියා දස ලක්ෂයක් බිහිකිරීම හා ඒක පුද්ගල ආදායම වැඩිකොට අපනයනය දිරිමත් කිරීම ප්‍රධාන අරමුණු කොටගෙන මාර්තු මස ආරම්භ කිරීමට යෝජිත රජයේ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමටද සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීහු එකග වී තිබේ.

Comments