හොරා හොරා! අපි ද හොරා? | සිළුමිණ

හොරා හොරා! අපි ද හොරා?

 මහබැංකුවේ සිදු වූවායැයි කියන බැඳුම්කර අක්‍රමිකතාව සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂා කිරීමට පත් කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමත් සමග ඔහු සමාජය හමුවේ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය බරපතළ හා ඉලක්ක කර ගත් ප්‍රකාශයක් නොවුණද දේශපාලන ලෝකයේ සංවාදයක් නිර්මාණය කිරීමට එය සමත්ව තිබේ. ඒ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් සඳහා පාර්ලිමේන්තුව කැඳවුවද එම පාර්ලිමේන්තු සැසියද අසාර්ථකව අවසන් විය.

පාර්ලිමේන්තු සැසියේදී එකසත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේ මහින්ද රාජපක්ෂට නැවතත් වටයකින් හොරකු ලෙස කිරුළු පළඳීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විමතික කණ්ඩායමද උත්සාහ ගත්තේ රනිල් වික්‍රමසිංහ හොරකු ලෙස හංවඩු ගසමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංගල මැතිවරණ රැළිය අනුරාධපුරයේදී අමතමින් 'පික්පොකට්' කතාවක් උදාහරණයට ගනිමින් “අන්න හොරා” යැයි පැවසීය. ඒ අනුව සම්මුතික ආණ්ඩුවේ පාර්ශ්වයන් දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකම ආකාරයකින් එහෙත් දෙපැත්තක සිට ඇඟ බේරා ගැනීමේ දේශපාලන ක්‍රීඩාව අරඹා තිබේ. හොරකම් හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සම්මුතික ආණ්ඩුවට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එකිනෙක පාර්ශ්වයන්ට ඇඟිල්ල දිගු කර තම වගකීමෙන් ගැලවීමට කිසිම පාර්ශ්වයකට නොහැකිය. ආණ්ඩුවකට එරෙහිව චෝදනා එල්ල වන්නේ නම් වෙස්මිනිස්ටර් ක්‍රමයේ අමාත්‍ය මණ්ඩලය ඊට සාමූහිකව වගකිව යුතුය. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක ළදරු උත්සාහයක යෙදෙන්නේ එල්ල වන චෝදනාවලින් සාමූහික වගකීමෙන් ගැලවී එකිනෙක පාර්ශ්වයන්ට ඒවා යොමු කර සැනසී සිටීමටය. මේ උත්සාහය නිර්ලජ්ජී බව කිව යුතුව ඇත්තේ රාජ්‍ය පාලනයේ මූලික මූලධර්මයන්ට පවා එය එකඟ නොවන බැවිනි.

මේ අතර සම්මුතික ආණ්ඩුවේ ඇමතිවරයකු වන සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අනුරාධපුර රැලියේදී ඍජුවම කියා සිටියේ තම පක්ෂය සටන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කරන්නේ නම් එකට ආණ්ඩු කරන්නේ මොන පදනමකින්ද යන්න ගැටලුකාරිය. අවම වශයෙන් තමන් ආණ්ඩු කරන දේශපාලන පදනමේ අවම එකඟතාව තුළ හෝ සම්මුතිකව වැඩ කිරීමට නොහැකි දේශපාලකයන් 'සම්මුතික දේශපාලනයක්' ගැන කතා කිරීම තක්කඩිකමක් බව හැඟේ.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්එම් මරික්කාර් හා බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි වැනි නවක මන්ත්‍රීවරුන්ද ආවේගයෙන් ප්‍රකාශ කරන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. ඔවුන් දෙදෙනාටද සම්මුතික ආණ්ඩුවක දේශපාලනය තේරුම් ගැනීමට හා ඉවසීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව හැඟේ.ඒ අනුව ඒ ඉල්ලා සිටින්නේ දේශපාලන දියවළේ ඇතිතරම් දියබුං ගැසීමට නිදහස ඇති තමන්ගේ වූ තනිකර ආණ්ඩුවකි.

ප්‍රධාන පක්ෂ දෙකේම බොහෝ පිරිස් අවිඥානකව කැමැත්තක් දක්වන්නේ තමන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටය. එහි යටි අරමුණු ඉතා සරලව අවබෝධ කර ගත හැකි අතර, ඒවා ළද බොළඳ බවට සැකයක් නැත. එහෙත් එමගින් ප්‍රකාශමාන වන්නේ සම්මුතික ආණ්ඩු සංස්කෘතියට දෙපාර්ශ්වයේම දේශපාලකයන්ගේ ඇති නුහුරු නුපුරුදු අකැමැත්තයි. මෙතෙක් ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද මේ ළාබාල දේශපාලන ක්‍රීඩාවෙන් මිදී වගකිවයුතු හා ප්‍රශස්ත දේශපාලකයන් ලෙස හැසුරුණි. එහෙත් මැතිවරණ අවකාශය තුළ ඔවුන්ද පක්ෂ දේශපාලනයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතී.

ඇත්ත කතාව වන්නේ හොරකම්, දූෂණ හා වංචා සම්බන්ධයෙන් ආණ්ඩු කරන සියලු පක්ෂ වගකීමට යටත් වන බව ය. ඒ අනුව තම පක්ෂ නිවැරැදි යැයි කියමින් අත සෝදා ගැනීමට ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් නොහැකිය. ඔවුන් රාෂ්ඨ පාලනයේ පරිණතයන් ලෙස කළ යුතුව ඇත්තේ එල්ල වන චෝදනා පෙරලා එකිනෙකාට යොමු කරමින් වගකීමෙන් ගැලවීමට නොවේ. ඔවුන් කළ යුතුව ඇත්තේ වංචා, දූෂණ හා හොරකම් ජාතික ප්‍රශ්නයක් ලෙස දකිමින් හා තේරුම් ගනිමින් ඒවා වැළැක්වීමට පුළුල් ක්‍රමවේදයක් සකස් කිරීමයි. ඔවුන්ට ඒ සඳහා ඇත්ත වුවමනාවක් තිබේ නම් සංවිධිත යන්ත්‍රණයක් සකස් කර චෝදනාවන්ට මුහුණ දිය හැකිය.

2015 ජනාධිපතිවරණයේ දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එල්ල වූ බරපතළ චෝදනාව වූයේද වංචා, දූෂණ හා හොරකම්ය. එම චෝදනාව ප්‍රබල එකක් වූ බැවින් සමාජයේ මධ්‍යම පාන්තික ඡන්ද ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට පක්ෂව ලැබීමටද එය හේතුවක් විය. ජනාධිපතිවරණය අවසන් වී වසර තුනක් ගෙවී ගිය පසුද මහින්ද රාජපක්ෂට චෝදනා පමණක් එල්ල කර රඟමඬල වසා දැමීමට අග්‍රාමාත්‍යවරයාට සිදු වීම අභාග්‍ය සම්පන්නය. යහපාලනය ගෙන ඒමට සම්මුතික ආණ්ඩුවක් පිහිටුවා වසර තුනක් ගිය පසුත් රාජපක්ෂ ආණ්ඩුවේ චෝදනාලාභීන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු නොකිරීම ලජ්ජා සහගතය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කටයුතු කිරීමට සම්මුතික ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුණා නම් ඒ චෝදනා සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට සාම්ප්‍රදායික, ගතානුගතික හා ඕලාරික විමර්ශන රාමුව යොදා ගන්නේ නැත. එසේ නම් ඒ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් පිහිටුවා වෙනම අධිකරණයක් මගින් යුක්තිය පසිඳලන්නට හොඳටම ඉඩකඩක් තිබිණි. ඒත් එසේ සිදු නොවීය. ඒ අනුව යුක්තිය පසිඳලීමේ ඉබිගමන තුළ 'හොරා හොරා! කවුද හොරා?' කියමින් ෆැන්ටසිමය ආස්වාදයක් ලබමින් සියල්ලෝ බලා සිටිති.

මේ ක්‍රියාවලිය තුළ හොඳටම පැහැදිලි වන්නේ හොරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගෙන ඔවුන්ට දඬුවම් දීමට සම්මුතික ආණ්ඩුවට හෝ ඒකාබද්ධ විපක්ෂයට හෝ අවශ්‍ය නැති බවකි. සියල්ලන් කටයුතු කරන්නේ චෝදනාව එල්ල කරමින් සමාජය රවටා ඡන්දය ලබා ගැනීමට මිස සත්භාවයකින් කටයුතු කර යහපාලනය ස්ථාපිත කළ හැකි යන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීමට නොවේ. එවැන්නක් අවශ්‍ය වූවා නම් ශක්තිමත් පදනමකින් කටයුතු කර පසුගිය ආණ්ඩුවේ චෝදනාලාභීන්ට දඬුවම් පැමිණවීමට වසර තුනක් හොඳටම ප්‍රමාණවත්ය. එසේම සම්මුතික ආණ්ඩුවෙන් ඒ ක්‍රියාව නොවන්නේ නම් තමන් අනාගතයේ බලයට පත් වී යහපාලනය නිර්මාණය කරන යන්ත්‍රණය මෙන්න මේක යැයි කීමට ඒකාබද්ධ විපක්ෂය සමත් විය යුතුය. එහෙත් සම්මුතික ආණ්ඩුව පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයද ඒ සම්බන්ධයෙන් කන් බිහිරි කරවන නිඬතාවක සිටී.

මේ තත්ත්වය තුළ සම්මුතික ආණ්ඩුවේ අර්බුදයක් ඇති වේදෝයි ඇති ඩවන සැකය සාධාරණය, තාර්කිකය. ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන බලවේග එකිනෙකාට චෝදනා කරමින් සිටින විට බාහිර බලවේග ශක්තිමත් වන අතර, රාජ්‍යයේ ගමනටද එය බලපාන්නේ ඍණාත්මක ලෙසය; එසේම 2015 ජනවාරි 08 වන දා ශක්තිමත් වූ මහජන අභිලාශයන් ඉක්මවා යෑමකි. ජනාධිපතිවරණයේදී එක්රොක් වූ දේශපාලන බලවේග මහන්සි වූයේ චෝදනා එල්ල කරමින් අලුත් දේශපාලන ක්‍රීඩාවක යෙදීමට නොවේ. ඔවුන්ට අවශ්‍ය වූයේ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා විධිමත් පරිදි වරදකරුවන්ට දඬුවම් පැමිණවීමටය; එසේම යළි එවැනි වැරදි නොවන ලෙස ශක්තිමත් යන්ත්‍රණයක් සකස් කිරීමය. එහෙත් වසර තුනක් ගෙවී ගිය මොහොතකද සිදුව ඇත්තේ ඒ කිසිවක් නැතිව එකිනෙකාට චෝදනා එල්ල කර ෆැන්ටසිමය ආස්වාදයක් ලබා ගැනීමටය.

රට පැමිණ ඇත්තේ තීරණාත්මක මොහොතකටය. රාජපක්ෂ දේශපාලනය සමාජය විසින් පරාජය කළේ යළි විකල්පයක් ලෙස එයම තෝරා ගන්නට නොවේ. යළි රාජපක්ෂ දේශපාලනයට ඉල්ලුමක් ලැබුණ හොත් ආණ්ඩුවේ අවිඥානකය විසින් ඊට මඟ පාදනු ලැබීමේ වරද විචාරශීලීව සොයා බලන්නට හෝ සංවේදී ජන කොටසක් ලාංකික සමාජයේ ඉතුරු නොවන බව සහතිකය.

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් නියෝජනය කරන දේශපාලන බලවේග දෙක මේ මොහොත තුළ පරිස්සම් විය යුත්තේ ඒ වරද නොකිරීමටය.

කේ. ජී. පිලිප් ශාන්ත

අදහස්